මම බෙහෙත් බොන්නේ ඔයා ගස් නැග්ගොත් විතරයි කියලා අලියෙක් කිව්වලු
සාමාන්‍යයෙන් රෝග විනිශ්චයකදී වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය රෝගියා සමඟ කතාබහ කරන්නේ අසුන්ගෙනය. ඇතැම් අවස්ථාවකදී සිටගැනීමටද සිදුවේ. බොහෝවිට අවශ්‍ය ඖෂධ සඳහන් බෙහෙත් තුණ්ඩුව දී රෝගියා පිටත්කර හැරීමට හැකිය. සතුන්ගේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීම ඊට වෙනස් වේ. ඔවුන්ට අදහස් ප්‍රකාශ කළ නොහැකිය. එනිසා රෝගය හඳුනාගැනීමට මෙන්ම ප්‍රතිකාර කිරීමටද වෛද්‍යවරයාට වෙනත් ක්‍රමවේද අනුගමනය කිරීමට සිදුවේ. එහෙත් ගසකට නැගී ප්‍රතිකාර ලබාදීම පිළිබඳ ඔබ අසා තිබේද? ඒවා අපට ආගන්තුක වුවද පශු වෛද්‍යවරුන්ට බොහෝවිට එවැනි අත්දැකීම් ඇත.
වර්ෂ 1990 දී මහාචාර්ය අශෝක දංගොල්ල එවැනි අත්දැකීමකට මුහුණ දුන්නේය. මාතලේ ප්‍රදේශයේ පෞද්ගලික අලි හිමියකුගේ අලියෙකුට මළ බද්ධය ඇතිවිය. ඔහු ඒ බව දැනුම් දුන්නේ මහාචාර්ය කුරුවිටටයි. එහෙත් තමාට මාතලේ පැමිණිය නොහැකි බව ඔහු අලි හිමියාට දැනුම් දුන්නේය. නේවාසික ප්‍රතිකාර සඳහා අලියා රෝහල්ගත කරන ලෙස හිමිකරුට දැනුම් දී ඇත්තේ ඒ අනුවයි. මහාචාර්ය කුරුවිට ඒ බව සිය ගෝලයාට දැන්වීය. රෝහල්ගත වන අලි ලෙඩාට දිනපතා ප්‍රතිකාර කිරීම තමාට පැවරෙන බව ගෝලයා ඒ අනුව තේරුම් ගත්තේය.
එදිනම සවස් වරුව වනවිට රෝගියා එවකට නව පශු ශික්ෂණ රෝහලට හිමිකරු විසින් රැගෙන එන ලදි. අලියෙකුට නේවාසික ප්‍රතිකාර ලබාදීම සඳහා එහි වූයේ එකම ස්ථානයක් පමණි. ඒ, හොඳින් වැඩුණු අඹ ගසකි. සමහර ලෙඩ්ඩු නාහෙට නාහන ගති ඇත්තෝය. කිසි ලෙසකින් මෙල්ල කළ නොහැකිය. මේ ලෙඩාද එවැන්නෙකි. බිම නිදාගැනීම අලි රෝගියා ප්‍රතික්ෂේප කළේය. එසේ වූවාට බෙහෙත් කිරීම අත්හැර දැමිය හැකිද? විකල්පයකට යායුතුය. ඊට සුදුසුම දේ අසල අඹ ගසට නැගීමයි. මහාචාර්ය දංගොල්ල අඹ ගසේ නැගී අලියාට ප්‍රතිකාර ලබා දුන්නේය. ප්‍රතිකාර දිනකට දෙවරකි. එනිසා මහාචාර්යවරයාගේ දෛනික අංග අතරට දෙවරක් අඹ ගසේ නැගීමද ඇතුළත් විය.
මහාචාර්ය අශෝක දංගොල්ල උදෑසන 5 වෙද්දී අවදි වෙයි. ඖෂධ වර්ග සියල්ල රැගෙන අඹ ගසට නගී. අලි ලෙඩාට බෙහෙත් ලබාදෙයි. පශු වෛද්‍ය සිසුන් පැමිණි විට ප්‍රතිකාර ලබාදීම ඔවුන්ට පවරයි. සවස්වරුවේ නැවත අඹ ගසට නැගී අලියාට ප්‍රතිකාර කරයි. ඒ දින කිහිපය පුරා මහාචාර්ය දංගොල්ලට මේ ක්‍රියාවලියේ නිරත වීමට සිදුවිය. එය එතරම් පහසු කටයුත්තක් නොවේ. එහෙත් එවකට තරුණ වියේ පසු වූ මහාචාර්ය දංගොල්ලට එය අභියෝගාත්මක විය. එමෙන්ම විනෝදයක්ද ගෙන ආවේය.
කෙතරම් විනෝදජනක වුවද වෙහෙසකාරී බව වැඩි වනවිට ඇතැම් කටයුතු දිගටම සිදු කිරීම අපහසුය. එනිසා මේ කර්තව්‍යය අහවර වන දවස ගැන මහාචාර්ය දංගොල්ල කල්පනා කරමින් සිටියේය. දිනක් ඔහු අවදි වනවිටම ඇත්ගොව්වා දුවගෙන පැමිණියේය. ශුභාරංචියකි. ඒ, අලියා මළපහ කළ බව දැනුම්දීමයි. එය ඇසූ මහාචාර්ය දංගොල්ල මහත් සතුටට පත් වූයේය. අලියා සුවපත් වීම ඊට එක් හේතුවකි. වඩා වැදගත් කාරණය නම් ඉන්පසු ගස් බඩ ගෑමට සිදු නොවීමයි.
තොරතුරු – මහාචාර්ය අශෝක දංගොල්ල (පේරාදෙණිය විශ්ව විද්‍යාලය)
රෂ්නිකා ලියනගේ