ඇත්ගොව්වා උඩින් යද්දී සරම ඊට පිටිපස්සෙන් ගිහින්
මද කිපී ඇති අලියෙකුට ප්‍රතිකාර කිරීම සාමාන්‍ය අලියෙකුට ප්‍රතිකාර කිරීමට වඩා අසීරුය. පශු වෛද්‍යවරුන් ඊට පිවිසෙන්නේම අවදානම දරා ගනිමිනි. මද කිපී දින කිහිපයකට පසු බෙල්ල සහ බඩ යට ඉදිමීමක් ඇති වූ පිරිමි සතෙකි. එම අලියාට ප්‍රතිකාර ලබාදෙන්නැයි අලි හිමියා මහාචාර්ය අශෝක දංගොල්ලගෙන් ඉල්ලීය. මෙම රෝගී තත්ත්වය අරුමයක් නොවන බව පශු වෛද්‍යවරු දනිති. මද කිපුණු කාලයේදී අලි ඇත්තු සාමාන්‍ය පරිදි ජලය සහ ආහාර පරිභෝජනය නොකරති. එවිට රක්තහීනතාවය සහ ප්‍රෝටීන හීනතාවය ඇතිවේ. මෙම තරුණ අලියාගේ රෝගී තත්ත්වයට හේතුව වී තිබුණේද එයයි.
මහාචාර්ය අශෝක දංගොල්ල රෝගී අලියා කුඩා කාලයේ සිටම ඉතා හොඳින් හඳුනයි. වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට යාමේදී එය ඔහුගේ සිතට පහසුවක් ගෙන දුන්නේය. ඇත්ගොව්වා නවකයෙකි. එහෙත් දැකපුරුද්ද, පලපුරුද්ද සහ කළපුරුද්ද ඇති මහාචාර්යවරයා අභියෝගය භාරගත්තේය.
ඇත්ගොව්වාගේ සහාය ද ඇතිව අලි ලෙඩාට ප්‍රතිකාර ලබාදීමට මහාචාර්ය දංගොල්ල සූදානම් විය. ඖෂධ සියල්ල සකසා අවසන්ය. ඉතිරිව ඇත්තේ ඒවා රෝගියාට ලබාදීම පමණි. ඇතැම් ඖෂධ අලියාගේ කනෙහි ඇති ශිරාවකටම ලබාදිය යුතුය. ඒ සඳහා අලියා බිම නිදි කරවීම අවශ්‍ය වේ. අලියා නිදි කරවන ලෙස ඇත්ගොව්වාට උපදෙස් නිකුත් කෙරුණේ එබැවිනි. ඊට පෙර සතියේ මද කිපී සිටි තරුණ අලියා නවක ඇත්ගොව්වාට සවන්දීමේ සූදානමක් නැත. අලියා සිටියේ රෝගී වූවාට කිසිසේත් බිම නොදියමියි යන තිර අදිටනිනි. ඇත්ගොව්වාට කිසිවක් කර කියාගත නොහැකිය. මහාචාර්ය දංගොල්ල තත්ත්වය තේරුම් ගත්තේය. එනිසා අලියා සිටගෙන සිටියදීම ඖෂධ ලබාදීමට ඔහු තීරණය කළේය.
හෙණ්ඩුවද රැගෙන අලියා රැකගන්නා ලෙස අලි බලන්නාට මහාචාර්යවරයා උපදෙස් දුන්නේය. පසුව ඖෂධ සහිත සිරින්ජරය රැගෙන අලියාගේ කනට විදීමට හෙතෙම උත්සාහ කළේය. එය අලියාට ගෙන ආවේ මහත් වේදනාවකි. ඉන් රෝගියා දැඩි සේ කෝපයට පත්විය. ක්ෂණිකව ඔහු සිය කෝපය මුදාහැරියේ ඇත්ගොව්වා මතිනි. ඇත්ගොව්වාට හොඬින් පහරකි. අලි බලන්නා තමාට ඉහළින් විසි වී ගිය බවක් මහාචාර්ය දංගොල්ලට වැටහිණ. ඔහුගේ සරමද ඊට පසුපසින් පියඹා ගිය බවක් පෙනිණි.
මේ සියල්ල අතරතුර නිවැරදි සිහියට එළැඹෙන විට තමා බිම වැතිර සිටින බව මහාචාර්ය දංගොල්ලට අවබෝධ විය. ගතවූයේ මද වේලාවකි. අලියා නළල තම පපුවට තබා තද කිරීමට උත්සාහ කරන බවක් ඔහුට වැටහුණි. කුමක් කරන්නේද යන්න ඔහුට සිහියක් නැත. කෙසේ වෙතත් වාසනාව මහාචාර්යවරයා සමඟිනි. ඔහු හිසින් තද නොකර අලියා ඉවත් විය. ඇතැම්විට මේ මට බෙහෙත් කරන්න ආපු දොස්තර නොවේදැයි ඔහුට සිතුණා විය හැකිය. සියලු දෙවි දේවතාවන්ට පින් දෙමින් මහාචාර්ය දංගොල්ල නැගී සිටියේය. ඇත්ගොව්වාටද කතා කළේය. අනතුරුව බෙහෙත් කිරීම පසෙකලා ගෙදර ගියේ දිවි ගලවා ගැනීම ගැන ප්‍රීතියෙනි.
තොරතුරු – මහාචාර්ය අශෝක දංගොල්ල (පේරාදෙණිය විශ්වවිද්‍යාලය)
රෂ්නිකා ලියනගේ