හොරාට කසිප්පු බී හෙමීට වැවට බහින අලි බේබද්දා
ගල්ගමුවේ ‘තනි දළයා’ නොහොත් ‘චණ්ඩි’ අමුතුම හාදයෙකි. වම් දළය පමණක් හිමි චන්ඩිට තැනක් නොතැනක්, රැයක් දවාලක් අදාළම නැත. ගල්ගමුව, ඇහැටුවැව ප්‍රදේශවල සැරිසරන හෙතෙම හිතෙන ඕනෑම තැනක, ඕනෑම වෙලාවක පෙනී සිටී. එනිසා එය ප්‍රදේශවාසීන්ටද සුපුරුදු දසුනකි. ගෙවල් කඩා බිඳදැමීමට නම් දරා සිටියද ජීවිත හානි සිදුකළ බවට චෝදනා චණ්ඩිට නැත.
‘‘මෙයා මිනිස්සුන්ව බය කරනවා විතරයි. ගහන්න වගේ ගියත් ආපහු අතෑරලා දාලා යනවා. හැබැයි ගෙවල්වලට නම් පනිනවා.’’
එසේ කීවේ පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේය.
චණ්ඩිගේ හැම වැඩක්ම අමුතුය. මිනිසුන්ටද බිය නැත. එනිසා මහ දවාලේද මාර්ගයේ සැරිසැරීම ඔහුගේ පුරුද්දකි. මේ ගැන විවිධ අවස්ථාවල චණ්ඩි චෝදනාවට ලක්විය. එනිසා අවස්ථා තුනකදීම ඔහුට ස්ථාන මාරුවීම්ද ලැබිණ. ඒ හැම වාරයකම හෙතෙම සියලු බැමි බිඳ යළි සුපුරුදු වාසස්ථානයටම පැමිණියේය. හෙතෙම බැමි ලිහීමේද උපන් සමතෙකි. චණ්ඩි ගැන හොඳින් දන්නා අය පවසන්නේ විදුලි කම්බි කඩා දැමීමට ඔහු තනි දළය අපූරු මෙවලමක් ලෙස යොදාගන්නා බවයි. ඉතා සීරුවට වැට කඩා බිඳ තමාගේ මාර්ගය සාදා ගැනීමට හෙතෙම දක්ෂයෙකි. මේ තත්ත්වය මත චණ්ඩි නැවත නැවත වෙනත් ප්‍රදේශවලට ගෙනගොස් දැමීම නිෂ්ඵලය. එමෙන්ම ජීවිත හානිද නොමැති බැවින් පුරුදු ප්‍රදේශයේ කල් ගෙවීමට ඉඩ ලැබී ඇත.
ගෙවල් බිඳීම්, වැටවල් කැඩීම් සහ ඉබාගාතේ ඇවිදීම හැරුණුකොට චණ්ඩිට තවත් නරක පුරුද්දක් ඇත. ඒ, මතට ලොල් වීමයි. එයද නීත්‍යානුකූල නොවන ඒවාටය. තැන් තැන්වල හොරට පෙරන කසිප්පු තිප්පොළවල්වලට චණ්ඩි ඇතුළු වන්නේ ආරාධිතව හෝ මුදල් ගෙවා නොවේ. අනෙක් අතට ඒවාට හොරෙන් පැන්නා යැයි චණ්ඩිට එරෙහි වන්නේ කවුරුන්ද? හොරට පෙරන්නන්ද හොරට පානය කරන්නන්ද සද්ද නැත. එනිසා කසිප්පු පෙරීමට ගන්නා ‘කාඩි’ පදමට පානය කිරීමෙන් සූර්වෙන චණ්ඩි ඉන්පසු හීන් සීරුවේ පිටවෙයි. ඒත් මේ වෙරිකාරයාට වැඩිදුර යාමට නොහැකිය. එනිසා හෙතෙම ඊළඟට කරන්නේ අසළ ඇති වැවකට බැසීමයි. උස්ගල සියඹලන්ගමුව, මහ සියඹලන්ගමුව හෝ කදුරු යන වැව් චණ්ඩිගේ පිහිටට සිටී. වෙරි හිඳෙන තෙක් චණ්ඩි වැවේ සිටින්නේය. බොහෝ අවස්ථාවල අලියෙකු වැවකට බැස වැඩි වේලාවක් ගත කරන්නේ අනතුරක් හේතුවෙන්යැයි විශ්වාස කරන මිනිස්සු මේ ගැන වනජීවි කාර්යාලයට දැනුම් දෙති. ඒ අනුව නිරීක්ෂණය කිරීමට ගිය විට චණ්ඩි යහතින්ය. වරක් පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේද මේ අත්දැකීමට මුහුණ දුන්නේය.
‘‘මේක වුණේ 2018. මම ටීම් එකකුත් අරන් අනුරාධපුරේ ගිහින් හිටියේ. ඒ අතරේ පණිවිඩයක් ආවා ඇතෙක් කදුරු වැවේ වැටිලා ඉන්නවා කියලා. අපි පහුවදා උදේම එතැනට ගියා. එතකොට චණ්ඩි වැවෙන් උඩට ඇවිත් කැලේ පැත්තට ගියා. අපිත් එයාගෙ පස්සෙන් ගියා. ළඟටම ගිහින් බැලුවත් එයාට කිසිම ගැටලුවක් නෑ. පස්සෙ ඒ අවට තිබිලා ගෝඩා බැරල් වගයක් එහෙමත් අහුවුණා. ඉතින් අපට තේරුණා මොකද වෙලා තියෙන්නෙ කියලා.’’
එක අතකින් චණ්ඩි නරකම නැත. බේබදුකම නරක පුරුද්දක් වුවද වෙරි වූ පසු කිසිවකුට කරදර නොකර වැවකට බසී. වෙරි හිඳුණ විට පාඩුවේ පිටවෙයි.
තොරතුරු – පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ
ඡායාරූප – පැතුම් බණ්ඩාර
රෂ්නිකා ලියනගේ