විශේෂාංග

මිනිස්සු ගොනාට අන්දන අලි කට්ටකම්

ගොඩබිම ජීවත් වන විශාලතම සත්වයා වන අලියාගේ බුද්ධිය සුළු පටු නැත. දිගු මතකය, සහකම්පනය, හඬ හඳුනාගැනීම සහ උපාංග භාවිතය ආදී විවිධ හැකියා ඔවුන් සතුය. ඒ නිසාම ඇඟේ තරමට මොළේ නෑ කියන කතාව අලි ඇතුන් සම්බන්ධව අදාළ නොවේ. ස්වභාවික පරිසරය ගැන බොහෝ සතුන්ට ඇති ඉව අලින්ටද ඇත. අනතුරු මගහැර යාමේ සුවිශේෂ හැකියාවට උදව් වන්නේ එම ඉවයි. මීට පෙර ලිපියක අප සඳහන් කළ කොස්ලන්දේ සමරිසි අලි පෙම්වතුන්ටද මේ කතාව අදාළය. ඔවුන්ගේ බුද්ධිය පිළිබඳ තහවුරු වන මතකයන් වනජීවී ආරක්ෂක අනිල් විතානගේ සතුය.

‘‘ඩොක්ටර් නන්දන අතපත්තු සමඟ එක්වෙලා අපි එකපාරක් කොස්ලන්දෙ අලි ටික ඇල්ලීමට ගියා. එක පැත්තක් නාය යනවා. ඒ වගේම කඳු තියෙන හරියෙදි අපිට එයාලව නිර්වින්දනය කරන්න බෑ. ඒ නිසා අවදානමක් නැති පැත්තකට අලි ටික යවාගන්න ඕනෙ. ඉතින් අපි එයාලව පන්නගෙන යනකොට ක්ෂණිකව අංශක අනූවක් හැරිලා දුවන්න පටන් ගත්තා. කඩාගෙන බිඳගෙන යන අලි ටික එතැනින් හැරුණේ ඇයි කියලා අපිටත් පුදුමයි. බලනකොට එයාලා හැරුණු තැනට මීටර පනහක් විතර එහායින් නාය යන පැල්මක් තියෙනවා. අපි ඉවක් බවක් නැතිව ගියාට එයාලා ඊට වඩා පරිසරය ගැන අවබෝධයක් ඇතුවයි යන්නෙ.’’

ඊට මසකට පමණ පසුව වනජීවී නිලධාරීන් එම ප්‍රදේශයට යනවිට අදාළ ස්ථානය නාය ගොස් තිබිණ. මාතලේ ඇලහැරදී ද එවැනිම සිදුවීමක් වූ බව වනජීවී ආරක්ෂක අනිල් විතානගේ කියයි.

‘‘එදාත් අලියව පන්නගෙන යනකොට එයා පල්ලමේ දුවන විදිය ඉහළ සිට බලා සිටි අපිට හොඳට පෙනුණා. එක දිගට ගිය අලියා එක තැනකදී අංශක අනූවක් විතර හැරිලා මීටර පනහක් විතර ගිහින් ආයේ අංශක අනූවක් විතර හැරිලා කලින් ගමන් කරපු පැත්තටම යන්න ගත්තා. අපිට දැන් පේනවා කෙළින් යන්න තියෙන ගමන තමා මේ මෝඩ අලියා හැරි හැරී යන්නෙ කියලා. අපි ඉතින් අලි වෙඩි ගගහා පන්නනවා. නිකමට අපි බැලුවා මෙයා මොකක් නිසාද මෙහෙම ගියේ කියලා. බලනකොට එයා මග ඇරපු කොටසේ පොළොවට අඩි හතරක් පහක් ඉහළින් මහ විශාල දෙබරයක්. ඒක මග ඇරලා තමා අර කලබලේ අස්සෙ වුණත් අලියා ගියේ. එයාව නොසලකා අපි කෙළින් පාරේ ගියානං එදා දෙබර ප්‍රහාරයකට අහු වෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවට අලියා මෝඩයා කියලා එදා එයා හැසිරිලා තියෙන්නෙ ඉතාම නුවණක්කාර විදියට.’’

මනුෂ්‍යයකුගේ තබා සතෙකුගේ හැසිරීමද කරුණු නොදැන විනිශ්චය කිරීමට අපට නොහැකිය. සෑම දෙයකටම හේතු ඇත. එනිසා කිසිවකු අවතක්සේරු කිරීමට තරම් අප සර්ව සම්පූර්ණ නැත. මේ අලි අපට කියාදෙන පාඩම එයයි.

රෂ්නිකා ලියනගේ

තොරතුරු වනජීවී ආරක්ෂ අනිල් විතානගේ