විශේෂාංග

මාලිගාවේ ඉන්දි රාජාට තවමත් හින්දි මතකයිලු

මහාචාර්ය අශෝක දංගොල්ල විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස සේවයට බැඳුණේ 1989 වසරේදීය. එකල රටේ පැවති කලබලකාරී වාතාවරණය හේතුවෙන් දෛනික ජීවන රටාව වෙනස්ව තිබිණ. එවකට පේරාදෙණිය පශු වෛද්‍ය පීඨ අංශාධිපති වූ මහාචාර්ය කුරුවිටගෙන් ඉරිදා දිනක දහවල් එකට පමණ හදිසියේම නවක ආචාර්යවරයාට ඉල්ලීමකි. ඒ චිකිත්සාගාරය වසා දමා යමුද යනුවෙනි. යන තැන නොදන්නේ වුවදහා, ‘‘යමු’’ යන්න නවකයාගේ පිළිතුර විය. කිසිවක් නොවිමසාම හෙතෙම අංශාධිපතිගේ නවතම මෝටර් රථයට නැගුණේය.

විශ්වවිද්‍යාල සමාජ ශාලාවෙන් සහ පේරාදෙණිය තානායමේදී ද අංශාධිපති මධුවිතෙන් සප්පායම් වෙද්දී මහාචාර්ය දංගොල්ල කිසිවක් විමසුවේ නැත. ‘‘අපි දැන් යමු’’ කී විට ‘‘හා, යමු’’ කීවා පමණි. කෙසේ වෙතත් නිවස වෙත යාම තිබියදී කොළඹ දෙසට වාහනය ධාවනය කරවද්දී බියට පත් වුවද ඔහු කිසිවක් නොඇසුවේය. දෙවැනි ගියරයට දැමූ වාහනයේ ගියර් මාරු කිරීමක්ද නැත. ටික වේලාවකින් මහාචාර්ය දංගොල්ල නින්දට වැටුණේය. නැවත ඇහැරෙන විට අංශාධිපතිවරයා මාර්ගයේ සෙසු සියලු රියදුරන්ට බැන වදිමින් රථය ධාවනය කරන බැවින් අඛණ්ඩව හෙතෙම මුනිවත රැක්කේය. ගමන නැවතුණේ අංශාධිපතිවරයාගේ දෙමාපියන්ගේ නුගේගොඩ නිවසිනි. පාන්දර යාමයේ කිසිඳු දෙයක් නොදැන වෙනත් නිවසකට ගොඩ වැදී එහි නිදන්නට නවක ආචාර්යවරයාට සිදුවිය. පසුදා උදෑසන අපූරු දැනුම්දීමකිදී.

‘‘ඉන්දියාවෙන් ශ්‍රී දළදා මාළිගාවට ඇතෙක් පූජා කරලා. ඒ ඇතා කොළඹ වරායට ළංවෙලා. ඇතා බාරගන්න තියෙන උත්සවේට අපි දෙන්නා යන්න ඕනෙ.’’

අංශාධිපතිවරයාගේ දැනුම්දීමෙන් මහාචාර්ය දංගොල්ලට උතුර දකුණ මාරු වූයේ එවැන්නකට කිසිඳු සූදානමක් නොතිබූ බැවිනි. සුදුසු ඇඳුමක්ද නැත. අංශාධිපතිගේ ඥාති සොයුරෙකු වූ ප්‍රසිද්ධ නාවික නිලධාරියකුගෙන් ආචාර්යවරයාට ඇඳුම් හිමිවිය.

උත්සව අවස්ථාවට දියවඩන නිලමේවරයාද සහභාගිව සිටියේය. එතැන චාම් උත්සවයකි. පසුව ඇත් පැටවා ලොරියකට පටවනු ලැබීය. ඊට පිටුපසින් දියවඩන නිලමේවරයාගේ සහ මහාචාර්ය කුරුවිටගේ වාහනද ගමන් ගත්තේය. ඇත් පැටවා පළමුව දෙහිවල සත්වෝද්‍යානය වෙත ගෙන ගොස් ආහාරපාන ලබාදීමට පියවර ගැනිණ. පසුව ඇත් පැටවා ශ්‍රී දළදා මාළිගාවට ගෙන යන ලදි. කිලෝග්‍රෑම් දහසක පමණ බරැති ඇත් පැටවාට පසුව ‘ඉන්දි රාජා’ ලෙස නම් තැබිණ.

මෙම සිදුවීමෙන් වසර දහයකට පමණ පසු අලි පිළිබඳ සුප්‍රසිද්ධ ඉන්දීය වෛද්‍යවරයෙක් මෙරටට පැමිණියේය. හේ ලොව පුරා ප්‍රචලිත Doctor K. නමිනි. එවකට කෑගල්ලේ සිටි ඉන්දි රාජා බැලීමට Doctor K. පැමිණියේය. හෙතෙම බිම ඉඳගන්නා ලෙස ඉන්දීය බසින් ඉන්දි රාජාට අණ කළේය. ඉන්දියාවෙන් පැමිණ වසර දහයක් පමණ ගත වුවද ඉන්දි රාජා ඉක්මනින් ඊට ප්‍රතිචාර දැක්වීය. එතැන සිටි සියල්ලෝ ඉන් විමතියට පත්වූහ. ඉන්දි රාජාගේ තියුණු මතකය ගැන මහාචාර්ය දංගොල්ල විස්මයට පත්වුවද ඊට හේතුව දැනගත්තේ කලකට පසුය. අලින්ගේ මොළයේ තරමක් විශාල හිපෝකැම්පස් නම් ඉන්ද්‍රියක් ඇත. දීර්ඝකාලීන මතකයට අලියාට උදව් වන්නේ එයයි. වසර දහයකට එපිට මතකයට ඉන්දි රාජා සංවේදී වූයේ එබැවිනි.

තොරතුරු මහාචාර්ය අශෝක දංගොල්ල (පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

රෂ්නිකා ලියනගේ