Latest News

දුන් පොරොන්දු ඉටු කරගැනීමට නොහැකි වූ නිසා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්, සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය එම ධුරයට පත්වී දින 45ක කාලයකින් පසු මෙලෙස ඉල්ලා අස්වීම විශේෂත්වයක්.

ඒ අනුව අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් එම ධුරය අඩුම කාලයක් දැරූ බ්‍රිතාන්‍ය නායිකාව ලෙස දේශපාලන ඉතිහාසයට එක්වනවා.

මීට පෙර අඩුම කාලයක් එනම් දින 119ක් අගමැති ධුරය දරා තිබුණේ 1827 වසරේ සිය ධුරයේ සිටියදී මිය ගිය George Canning අග්‍රාමාත්‍යවරයායි.

අදාළ ඉල්ලා අස්වීමට මූලික වශයෙන් හේතු වූයේ ඇගේ බදු කපා හැරීමේ වැඩසටහන ආපසු හැරවීමට සිදුවීමයි.

ඒ හේතුවෙන් බ්‍රිතාන්‍ය මූල්‍ය වෙළෙඳපොළ කම්පනයට ලක්වූ අතර පාලක conservative පක්ෂය තුළද ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවීමට හේතුවුණා.

අග්‍රාමාත්‍යවරිය සිය නිල නිවස ඉදිරිපිට ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ, පක්ෂ නායකත්වයට පත්වන විට තමා වූ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ බවත් පක්ෂය තුළ තමා පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති බවත්ය.

කෙසේවෙතත් නව පක්ෂ නායකයෙකු තෝරා ගන්නා තුරු තමා ධුරයේ රැඳී සිටින බව අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් සඳහන් කර තිබෙනවා.

මේ අතර එරට විපක්ෂ කම්කරු පක්ෂය වහා මහා මැතිවරණයක් පවත්වන ලෙස conservative රජයට බල කර සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.