වගා බෝගවලට දරුවන්ට වගේ සලකන්න ඕන එතකොටයි එයාලා අස්වැන්න දෙන්නේ
හිතට සතුටක් ලැබේනම් එවැනි සතුටු කාරණා වෙනුවෙන් වැඩි වැඩියෙන් සිත යෙදවීම කෙනෙකුට අසීරු නැත.
පිළියන්දල දම්පේ පදිංචි එරන්දතී කුමුදු මහත්මිය තමාගේ හිතට සතුට ගෙනදෙන කාරණා සොයාගත්තේ ගෙවත්තෙනි. පවුලේ අයගේද සහයෝගය ඇතිව, පවුලේ ආර්ථිකයටද සවියක් වෙමින් ඇය අදටත් ඒ සතුට සොයායන අයුරු වදන් බවට පත්කළේ මෙලෙසිනි.
“අපි මේ ගෙදර පදිංචියට ආවේ 2017 අවුරුද්දේ. එතකොට පුතාලා දෙන්නා ටිකක් පොඩියි. ඒ වගේම අපි ආවෙත් කුලියට නිසා මුලදි පෝච්චිවල එළවලු පැළයක් දෙකක්, කොළපලා ටිකත් හිටෙව්වා. හැබැයි ඊට වඩා ලොකු ඉඩක් වගාව ගැන හිතේ කොණක තිබුණා. ඒ කාලේ මගේ තාත්තා කළේ කුඹුරු ගොවිතැන. අම්මයි තාත්තයි එදිනෙදා පරිභෝජනයට ගන්න පුළුවන් අල, බතල, මෑ, දඹල, කොළපලා, කෙසෙල් වගේ දේවල් ගෙවත්තේ වගා කළා. කඩෙන් ගේනවා වගේ නෙවෙයි, කෙසෙල් කැනක් වුණත් ගෙදර කපලා ඉදවනකොට අපි ඒකට හරි කැමැතියි. ඉදෙනකල් ඉවසිල්ලක් නැහැ. ඒ වගේම ගෙදර වත්තෙන් කඩන මෑ කරල් මිටේ වුණත් අමුතු රසයක් තියෙනවා. ඔය විදියට ළමා කාලේ ලබපු වගා අත්දැකීම් මට තිබුණා. මගේ සහෝදර සහෝදරියොත් ඒ අත්දැකීම වින්දා. ඒත් කුලියට ඉඳිද්දි හිතේ හැටියට වගා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හැබැයි මීට අවුරුදු එකහමාරකට විතර කලින් ඒ බලාපොරොත්තුවත් ඉටුවුණා.”
ඒ 2017 වසරේ කුලියට ගත් නිවහන මීට වසර එක හමාරකට පෙර තම ස්ථිර නිවහන බවට පත්කරගැනීමට වාසනාව උදාවීමත් සමඟය. එනිසා දැන් ඇයට ලස්සන ගෙවත්තක් වාගේම සතුට පිරුණු නිවහනක්ද තිබේ. එරන්දතී සිය සැමියා ප්‍රභාත් මේඝසූරිය හා තම පුතුන් වන පුල්මෙත් තෙව්සර (13) සහ රිද්ම දම්සර (9) සමඟින් කල් ගෙවන්නේ දැන් එම නිවහනේය.
“මගේ මහත්තයා මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්නේ. ලොකු පුතා පහ වසර ශිෂ්‍යත්වය සමත් වුණා. දැන් කොළඹ ආනන්ද විද්‍යාලයේ අට වසරේ ඉගෙනුම ලබනවා. පොඩි පුතා තමයි මගේ වගා වැඩවලට ගොඩක්ම උදව් කරන්නේ. ලොකු පුතත් පුළුවන් වෙලාවට උදව් කරනවා. අපිට තියෙන්නෙ සීමිත ඉඩක්. ඒ නිසා වගාමලු, පොහොර කවරවල වගේ තමයි වැඩිපුරම වගා කරන්නේ. කවරවලට පස් පුරවද්දි පොඩි පුතා ගොඩක් කැමැත්තෙන් උදව් කරනවා. වගාව පටන්ගත්ත මුල් කාලේ මිරිස් පැළ තමයි වැඩිපුර වගා කළේ. ඔය අතරේ පතෝල වැල් දෙකක් අහම්බෙන් වගේ හැදුනා. කරල් ගොඩක් හැදුනා. අපිට වැඩි නිසා අහල පහල අයටත් දුන්නා. ඔය විදියට ඉඩ තියෙන තැන් බලලා දඹල, මිරිස් වර්ග වගේ දේවල් තව හිටෙව්වා. ලොකු දැනුමක් නැතුව වගාවට බැස්සත් ඒවයෙන් හොඳට අස්වැන්න ලැබුණා. ඊටපස්සෙ ‘ගෙවතු වගාවයි ඔබයි’ ෆේස්බුක් සමූහයට මට සම්බන්ධ වෙන්න ලැබුණා. ඉන්පස්සේ වගාව ගැන ලොකු දැනුමක් ලබන්න වගේම වගාවේ පලදාව පැත්ත ගැනත් වැඩිපුර හිතන්න යොමුවුණා.”
මේ වනවිට එරන්දතීගේ ගෙවත්තේ තුඹ කරවිල, වට්ටක්කා, බණ්ඩක්කා, දඹල, වඳුරු මෑ, පතෝල, අලුපුහුල්, ගස්ලබු, වම්බටු, වාතබංග, තෙබු, නිවිති, කතුරුමුරුංගා ආදී කොළ වර්ගද යහමින් තිබේ. තුඹ කරවිල වගා කරන්නට අපහසු බෝගයක් ලෙස සිතා සිටියත්, මල් පරාගණය කර සාර්ථකව පලදාව ලබන්නට හැකි වූ බව එරන්දතී කියන්නීය.
“තුඹ කරවිල ගැහැනු වැලයි, පිරිමි වැලයි කියලා දෙකක් තියෙනවා. ඒක හඳුනගන්න පුළුවන් මල්වලින්. පිරිමි වැලේ මල් නිකම් තිබුණත්, ගැහැනු වැලේ පිපෙන මල්වල පොඩි ගෙඩියක් තියෙනවා. එතකොට පිරිමි මල කඩලා, ගැහැනු මල පරාගණය කරගන්න ඕනා. ඒ විදියට තමයි මගේ තුඹ කරවිල වගාව සාර්ථක කරගත්තේ. ටික කාලෙකට පස්සේ පිරිමි වැල මැරුණා. දැන් ආයෙම අලුතින් පැළ හිටවලා තියෙනවා. ඒ වගේම වට්ටක්කා ලොකු අමාරුවක් නැතුව වගා කරගන්න පුළුවන් බෝගයක්. අපිට ලොකු ඉඩක් නැති නිසා මම වැල් වර්ග ලණු ඇදලා උඩට තමයි යන්න සැලැස්සුවේ. පුහුල් වැලත් ඒ විදියට හොඳින් හැදුනා. හැබැයි බිම මුල් අල්ලන්න තියෙනවානම් වැල සවිමත්ව වැඩෙනවා වගේම වැඩි පලදාවක් ලැබෙනවා කියලයි මම හිතන්නේ. කොහොම වුණත් අපිට පහුගිය කාලේ වට්ටක්කා ගෙඩි දෙකක්ම මේ වගාවෙන් තෑගි ලැබුණා.”
එරන්දතීගේ වගාවේ කෙසෙල් වර්ගද තිබේ. ඒ අතරින් ඇම්බුම් හා සුවඳැල් කෙසෙල්වලට ඇය වැඩි ඉඩක් දී ඇත්තේ සුවඳැල් දරුවන්ට වාගේම වැඩිහිටියන්ටද ගුණදායක කෙසෙල් විශේෂයක් බැවිනි.
“සුවඳැල් කෙසෙල් පැළය මට ලැබුණේ මගේ තාත්තගෙන්. පසුගිය දාක කෙසෙල් කැනක් ආවා. අපි වෙළඳපොළෙන් ගන්න කෙසෙල් බෙහෙත් ගහලා කියනවා. ඇත්තට අපි දන්නෙත් නැහැ ඒවගේ තත්ත්වය ගැන හරියට කියන්න. ඒත් ගෙදර වත්තේ වගා කළහම එහෙම සැකයක් බයක් නැහැ. අපි දාන්නෙත් කාබනික පොහොර විතරයි. ඉදුණු කෙසෙල් ලෙලි කපලා වතුරට දාලා දින පහක් තියෙන්න හැරලා ස්ප්‍රේ කරහම එළවලු පැළවල මල් ඉක්මනින් ඇවිත් ගෙඩි හටගැනීම ඉක්මන් කරනවා. ඒ වගේම මම වැටමාර කොළයි, ගොමයි, වතුරයි දාලා සති හතරක් පල්වෙන්න තියලා දියර පොහොරක් හැටියට හදලා වගාවට යොදනවා. ඊට අමතරව කුකුල් පොහොරත් දානවා. මේ දේවල් වගේම බීජ අවස්ථාවේ ඉඳන් පුංචි පැළය දක්වා එද්දි අපි ආදරෙන් ඒ ගැන හොයලා බලන්න ඕන. ඒ සොයාබැලීම හරියට දරුවෙකුට දක්වන ආදරේ වගේ. සමහර බෝගවලට අපේ සොයාබැලීම, සත්කාරය ඕනමයි.”
ඒ කැපකිරීම හමුවේ ඇයගේ ගෙවත්තට අල වර්ගද එක්වී තිබේ. ඒ අතර හිඟුරල, කුකුලල, දන්දිල වැනි දෑ තිබේ. කොරෝනා කාලයේ එරන්දතී ද කහ වගා කළාය. කහ ගණන් කාලයේ එහි අස්වනු ඇයටද ප්‍රයෝජනවත් විය. ඉඟුරු, බුලත් ආදිය ඇගේ ගෙමිදුලේ කොණක හිඳ මේ වනවිට ලස්සන දසුන් මවමින් ඇත.
“ඇත්තටම ගෙවත්තෙන් ලැබෙන එළවලු ටික අපිට ගොඩක් වටිනවා. මාත්, මහත්තයත්, මහත්තයගෙ අම්මා තාත්තත් නිර්මාංශයි. පුතාලා දෙන්නට උයන්න මස්, මාළු ටික කඩෙන් ගන්නවා. ඒ ඇරුණම ලොකුවට එළවලු කඩෙන් ගේන්නේ නැහැ. බබාලා ඉස්කෝලේ ගියහම එයාලා ආයේ ගෙදර එනකල් මම කරන්නේ වගා බෝග අතර කාලය ගත කරන එකයි. මම වගේම මගේ ගෙදර අයත් දැන් මේ වගාවට ආදරෙයි. ඒ සතුට මිල කරන්න කොහොමටවත් බැහැ.”
එරන්දතී කියන්නේ බොහෝ සතුටිනි. ඒ සතුට ලබන්නට ඔබටත් හැකිය. ඒ ගෙවත්තට පුංචිම හෝ බෝග වගාවක් එක්කරගැනීමෙනි. ඒ වෙනුවෙන් කැපවීමෙනි.
දීපා වසන්ති එදිරිසිංහ