විශේෂාංග

කොවිඩ් නිසා සෙස්සන් පස්ස බිම ඇනගනිද්දී ලක්ෂෙට කොඩි දාපු එරික්

එරික් යුආන් (Eric Yuan) ඔහු පුංචි කාලේ ඉඳන්ම කවුරුත් නොකරපු විදියේ වැඩ කරන්න රුසියෙක්. 1970 පෙබරවාරි 20 වැනිදා මහජන චීනයේ ෂැන්ඩොංග් පළාතේ ඉපදුණු ඔහු ඉඩක් ලැබෙන හැමවෙලේම කළේ නව නිර්මාණ බිහි කරන්න උත්සාහ කරපු එක. ඒ වැඩේට උපතින්ම ගෙනාපු ලොකු දක්ෂතාවයකුත් ඔහුට තිබුණා.

කොහොමින් කොහොමහරි අවුරුදු 17ක් වෙනකොට එරික් කියන්නේ ‘ව්‍යවහාරික ගණිතය’ (Applied Mathematics) විෂයෙන් උපාධියක් හිමි තරුණයෙක්. ඔහු ඒ උපාධිය සම්පූර්ණ කළේ චීනයේ ෂැන්ඩොංග් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා. ඒත් ඔහු ඒ උපාධියෙන් සෑහීමකට පත්වුණේ නෑ. ඒ නිසා ඊළඟට ‘භූ විද්‍යා ඉංජිනේරු’ (Geology Engineering) උපාධිය ලබාගන්න ඔහු බීජිං විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.

‘ෂෙරී’ (Sherry) කියන්නේ එරික්ගේ පෙම්වතිය. ඇයත් හැඩකාර තරුණියක්. ඒත් බීජිං විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ මේ දෙදෙනාට නිතර නිතරම මුණගැහෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ඒකට හේතුව වුණේ දුර. එරික්ට ෂෙරීව බලන්න දුම්රියේ යන ගමනට පැය දහයක පමණ කාලයක් ගතවුණා. එවකට චීනය තුළ ජංගම දුරකතන භාවිතා වුණේ නැති නිසා සම්බන්ධතාවය පවත්වාගෙන යන්න නම් මුණගැහෙනවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුණෙත් නෑ. ඒක නිසා නව නිර්මාණ බිහි කරන්න්නෙක් වුණු එරික් නිතරම හිතුවේ ඇයව දැකගන්න වෙන ලේසි ක්‍රමයක් තිබුණානම් කොච්චර හොඳද කියලා.

මං බීජිං විශ්වවිද්‍යාලයේ ඉන්නකොට ජපානයේ පුහුණු වැඩමුළුවකට සහභාගී වෙන්න ලැබුණා. ඒකට දේශනයක් කරන්න ඇමෙරිකාවේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ ප්‍රධානියා වෙන බිල් ගේට්ස් මහතාත් ඇවිත් හිටියා. ඒ වෙනකොටත් ඔහු ධනපතියෙක්. එදා ඔහු නව තාක්ෂණයත් එක්ක දියුණු වන ලෝකය ගැනයි දේශනය සිදුකළේ. ඒක හරිම රසවත් දේශනයක්. ඉතින් ඔහුගේ දේශනය අහගෙන ඉන්නකොට මට හිතුණා නව තාක්ෂණය එක්ක ගියොත් මගේ පෙම්වතිය එක්ක ගනුදෙනු කරන්න ක්‍රමයක් හොයාගන්න පුළුවන් කියලා. ඒත් මගේ අවාසනාවට වගේ ඒ වෙනකොටත් චීනයේ අන්තර්ජාල පහසුකම් තිබුණේ නෑ.”

එතැනින් පස්සේ එරික් තීරණය කළා අන්තර්ජාලය පරිහරණය කරන රටකට සංක්‍රමණය වෙන්න. ඒ වෙනුවෙන් ඔහු තෝරගත්තේ ඇමෙරිකාව. ඒත් අවාසනාව කියන්නේ ඒ වෙද්දි ඔහු දැනගෙන හිටියේ චීන භාෂාව විතරයි. ඉතින් නොදන්න ඉංග්‍රීසියෙන් වීසා අයැදුම්පත පුරවන්න ගිහින් ඇමෙරිකාවට යන ගමන නව වතාවක් විතර කල්දාන්නත් වුණා. ඒ ඔහු වැරදි ඉංග්‍රීසියෙන් පුරවන වීසා අයැදුම්පත එතරම් වතාවක් ප්‍රතික්ෂේප වීම නිසා.

කොහොමහරි 1997 වසරේ මට ඇමෙරිකාවට යන්න පුළුවන් වුණා. මගේ එකම අරමුණ වුණේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සිලිකන් වැලී’ (Silicon Valley) කියන ප්‍රදේශයට යන්න. මොකද සිලිකන් වැලී තමයි ඒ වෙනකොට ලෝකයේ තාක්ෂණික අතින් උසස්ම ප්‍රදේශය වුණේ. එතැනට ගියාම මට පරිගණක සමාගමක පුහුණු ඉංජිනේරුවෙක් විදියට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ටික කාලයක් යද්දි ඒ සමාගමේ ඉහළ පෙළ ඉංජිනේරුවෙක් වෙලයි මං නැවතුණේ. ඔය අතරවාරයේ මං මගෙයි පෙම්වතියගෙයි දුර ගැටලුව විසඳන්න නිතරම අලුත් අලුත් ක්‍රම හෙව්වා. මොකද ඇමෙරිකා ගමනත් එක්ක ඒ වෙනකොට මං අන්තර්ජාලය ගැන දැනුමෙන් සන්නද්ධයි. ඒත් ඒ කිසිම ක්‍රමයක් සාර්ථක වුණේ නෑ. එහෙමයි කියලා මං වැඩේ අතෑරියෙත් නෑ. අන්තිමේ මං ජංගම දුරකතන වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන් සූම්’ (Zoom) කියලා ඇප් එකක් හැදුවා. 2011 වසරෙදි. ඒක මගේ වැඩේට සාර්ථක ඇප් එකක් වුණත් මං හිටපු සමාගමෙන් ඒක ප්‍රතික්ෂේප කළා. ඔවුන් සඳහන් කළේ ෆේස්බුක්, වට්සැප් වගේ ඇප් එක්ක තරඟ කරන්න මං හදපු සූම් ඇප් එකට බෑ කියලයි.”

ඒත් සමඟින් එරික් ගත්තේ ටිකක් මුරණ්ඩු තීරණයක්. ඒ ඔහු එතෙක් කලක් වැඩ කළ ‘Cicso System’ නම් සමාගමෙන් ඉවත්වීමට තීරණය කිරීම. හැබැයි ඔහු ඉවත්වෙලා නිකන් හිටියේ නෑ. ‘Zoom Video Communication’ නමින් ඔහුගේම සමාගමක් ආරම්භ කළා. හැබැයි ඒ සමාගම එතරම් ප්‍රසිද්ධ වුණේ නෑ. ඒත් එරික්ගේ ලොකුම හීනය ඔහු ජයගත්තා. ඒ තමන්ගේ පෙම්වතිය වුණු ෂෙරී එක්ක ඔහුට මුහුණ බලාගෙන කතා කරන්න ලැබීම නිසා. තමන් ආරම්භ කළ සමාගම එතරම් සාර්ථක නොවුණත් ඔහුගේ ලොකුම බලාපොරොත්තුව ඉටුවුණු එක ගැන ඔහු හිටියේ පුදුමාකාර සතුටකින්.

අලුත් සමාගමක් ආරම්භ කළාටත් වඩා මට ලොකුම සතුට වුණේ ෂෙරී එක්ක කතා කරන්න ලැබුණු එක ගැන. ඒක වෙනස්ම අත්දැකීමක්. මොකද වෙනදට මං පැය දහයක් එකදිගට කෝච්චියේ ගියා ඇයව බලන්න. ඒත් සූම් ඇප් එකෙන් මට කැමති හැමවෙලේම මං එයා දිහා බලාගෙන කතා කළා.”

කාලයක් යනකොට ‘Zoom Video Communication’ සමාගම වටා ලොකු පිරිසක් එකතුවෙන්න පටන්ගත්තා. ඒ නිසාම එරික් ‘Zoom’ ඇප් එක තව තවත් දියුණු කළා. එහි ප්‍රතිඵලය වුණේ 2017 වසර වෙනකොට Zoom සමාගම අතිවිශාල සාර්ථකත්වයක් ලබමින් තම වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුකිරීම. ඒ අනුව එය ඇමෙරිකාවේ ‘Unicorn’ සමාගමක් බවට ශ්‍රේණිගත වුණා. ‘Unicorn’ සමාගමක් යනු වටිනාකම අතින් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුකරන ලද සමාගම් කාණ්ඩයයි.

ඒ 2019 අවුරුද්ද. ඔබට මතක නම් ඒ අවුරුද්ද අවසානයේ තමයි චීනයේ වූහාන් නගරයෙන් ‘කොවිඩ් 19’ (Covid 19) වෛරසය පැතිරීම ආරම්භ වුණේ. අවසානයේ ඒක ගෝලීය වසංගතයක් විදියට මුළු ලෝකයේම ව්‍යාප්ත වුණා. ඉතින් කිසිම භේදයක් නැතුව හැමෝම හැම පැත්තෙන්ම කඩාගෙන වැටුණා මිසක් වෙන දෙයක් නම් වුණේ නෑ. ඒත් ඒ අතරේ කොවිඩ් 19 නිසා ගොඩ ගියපු එකම එක මනුස්සයෙක් හිටියා. ඒ වෙන කවුරුත් නෙවෙයි එරික්. කොවිඩ් 19 ලෝකයට බෝ කළේ සූම් ඇප් එක හදපු මනුස්සයාද කියලා කතා හදන තැනට එනකල් කොවිඩ් නිසා එරික් ගොඩ ගියා.

කොවිඩ් නිසා මුළු රටේම ජන ජීවිතය, අධ්‍යාපනය මෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍ර කඩාගෙන වැටෙද්දි ඒකට පිළියම් හොයන්න හැමෝම උත්සාහ කළා. ඒ හැමෝටම පොදුවේ ලැබුණු එකම පිළියම වුණේ එරික්ගේ සූම් ඇප් එක. හතරගාත දාලා වැටුණු ක්ෂේත්‍ර ගණනාවක්ම ආයෙත් පණගහලා නැගිට්ටේ මේ සූම් ඇප් එක නිසා. ඒ කොහොමද කින්ද මන්ද කියලා ආයෙත් අමුතුවෙන් කියන්න උවමනා නෑ.

ඔය අතර කාලයේ සූම් සමාගමේ ආදායම බලාසිටියදීම ඉහළ ගියා. ඒ හරියට අහස් වෙඩිල්ලක් වගේ. සූම් ඇප් එක ලෝකයේ ජනප්‍රියම ඇප් අතරට එද්දි අන්තිමේ එරික් නැවතුණේ ලෝකයේ ලොකුම පොහොසතුන් අතරටත් ගිහින්. මේ වනවිට බිලියනපතියෙක් වෙන ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 16.4ක් බවයි පසුගියදා විදෙස් මාධ්‍ය සඳහන් කරලා තිබුණේ. හැබැයි ඒ සියල්ලටම හේතුව ඔහුගේ පෙම්වතිය වූ ෂෙරී. දැන් ඇය 52 හැවිරිදි එරික්ගේ ආදරණීය බිරිඳ. දෙදෙනාම දැන් දරුවන් තිදෙනෙකුගේ සෙනෙහෙබර දෙමව්පියන්. කොවිඩ් නිසා රටට ලෝකයට උන්හිටි තැන් පවා අමතක වෙලා යනකොට පෙම්වතියට පින්සිද්ධ වෙන්න කොරෝනාවලින් ගොඩගියපු එකම මනුස්සයාගේ කතාව දෛවය ලිව්වේ ඔන්න ඔහොමයි.

රුවන් එස්.සෙනවිරත්න