දරුවො තාත්තට වැඩිපුර ආදරේ වෙයි කියලා සමහර අම්මලා බයයි
දවසක් මගේ හිතවතෙක් වැඩ ඇරිලා ඇවිල්ලා කෑම කන්න බලනකොට කෑම එකට කවුදෝ ලුණු හලලලු. අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා හිතපු නිසා එදා ඔහු ඒ ගැන බිරිඳගෙන් අහන්න ගිහින් තිබුණෙත් නැහැ.
ඊටපස්සෙත් දවස් දෙක තුනක්ම මේ වැඩේ වෙච්චි නිසා කවුද මේක කරන්නේ කියලා දැනගන්න දවසක් මේ තාත්තා හොරෙන් බලාගෙන ඉඳලා තියෙනවා. පුංචි දුව තමයි බත්පතට ලුණු හලන්නේ කියන එක එදා මේ තාත්තා දැනගන්නවා. දරුවට ගහනවා බණිනවා වෙනුවට ඔහු බොහොම නුවණක්කාර වැඩක් කළා. ඒ තමයි අවුරුදු 11ක් වෙන දුවව මනෝවිද්‍යා උපදේශකයෙක් වුණු මට මුණගස්වපු එක.
දුවගේ හිතේ තාත්තා ගැන බොහොම දරුණු තරහක් පැලපදියම් වෙලා තියෙන වග කතාබහේදි මට තේරුණා. ඉතින් ඇයත් එක්ක ටිකක් කතා කරනකොට මේ තත්ත්වය ඇතිවෙන්න බලපාපු හේතුව තේරුම්ගන්න අමාරු වුණේ නැහැ.
තාත්තා රෑ බෝ වෙලා නිවසට එන නිසා දරුවා වැඩි කාලයක් ඉඳලා තිබුණේ අම්මා එක්ක. මෑතක ඉඳලා මේ අම්මා නිතර නිතර ඇයට තාත්තා ගැන වැරදි කියන්න පටන් අරගෙන.
මව සහ පියා ගෙන්වගෙන කරුණු හොයාබලද්දී මව එහෙම කරන්න හේතුව අනාවරණය වුණා. ඇගේ අනියම් සම්බන්ධතාවයට දරුවාගෙන් බාධාවක් නොවෙන්න ඕන නිසා තමයි එහෙම කරලා තිබුණේ. පස්සේ දරුවගේ ප්රශ්නය වගේම ඒ පවුලේ ප්‍රශ්නයත් උපදේශනය මගින් විසඳන්න මට පුළුවන් වුණා.
ගොඩක් දෙමව්පියන් මේ විදියට නොදැනුවත්කම නිසා හෝ වෙනයම් අරමුණු උදෙසා සැමියගේ, බිරිඳගේ වැරදි දරුවන්ගේ ඔලුවලට දානවා. දුරදිග නොහිතා නොබලා කරන ඒ වගේ දේවල් දරුවන්ට වගේම අම්මා තාත්තාටත් බොහොම නරක විදියට බලපාන්න පුළුවන් කියන එක පැහැදිලි කරන්නයි මම සමාධි දුවගේ කතාව උදාහරණයට ගත්තේ.
‘‘දෙන්නා අතර ඇතිවෙන විරසකවලට දරුවන්ව ආයුධයක් කරගන්නවා නම් අනිවාර්යයෙන්ම එහි භයානක ප්‍රතිඵලවලට මුහුණදෙන්න දෙමාපියන් සූදානමින් ඉන්න’’ කියලා සුප්‍රකට මනෝවිද්‍යාඥයෙක් වෙච්ච ජීන් පියගෙට් කියලා තියෙනවා.
සාමාන්‍යයෙන් ගෙවල්වල දරුවොත් එක්ක වැඩිවෙලාවක් රැඳෙන්නේ අම්මලා. ඒ නිසා මේ කියන කාරණාව වැඩිපුරම අදාළ වෙන්නේ අම්මලාට. තාත්තලා දරුවොත් එක්ක අම්මගේ වැරදි කියන්නේ නැහැ කියලා ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ. එහෙම තාත්තලාත් ඕනතරම් ඉන්නවා.
සැමියා බිරිඳ එක්ක පුංචි හිත් අමනාපකම් ඇති කරගන්න අවස්ථා තියෙනවා. බොහොම ආදරෙන් ඉන්න අඹු-සැමි යුවළක් අතර ඉඳලා හිටලා පුංචි බහින්බස්වීමක් ඇතිවෙනවා කියලා හිතන්නකෝ. ඔන්න ඊටපස්සෙ අර අම්මා හිතේ තියෙන විස්සෝපය මකාගන්නත් එක්ක තාත්තගේ වැරදි දරුවා එක්ක කියනවා. දවසකින් දෙකකින් ආයෙත් හිත් පෑහුණාම අම්මට සේරම අමතකයි. හැබැයි දරුවට ලේසියකට ඒවා අමතක වෙන්නෙ නෑ. ඉතින් අම්මා තාත්තා යාළු වුණත් දරුවගේ හිතේ තාත්තා ගැන ඇතිවෙච්ච අමනාපය ගලේ කෙටූ අකුරු වගේ තැන්පත් වෙන්න පුළුවන්.
ඊළඟට තාවකාලිකව වෙන්වුණු අම්මලා තාත්තලා. මේ අයත් දරුවන්ට සහකරුගේ වැරදි කියනවා. එහෙම නැත්නම් ‘‘මම ඔයාගේ තාත්තා එක්ක කතා කරන්නේ නැහැ, මම මෙහෙම කිව්වා කියලා එයාට කියන්න’’ කියලා දරුවන්ව ඒ දෙන්නගේ ප්‍රශ්නෙට මැදිකර ගන්නවා. තාත්තා කියන්නේ කතා කරන්න හොඳ නැති කෙනෙක් කියලයි එතකොට අර දරුවා හිතන්නේ.
අනිත් කොට්ඨාසය තමයි නීතියෙන් වෙන්වුණු උදවිය. තමන්ගේ බිරිඳගේ, සැමියාගේ වැරදි දරුවන්ට කිය කිය අමුතු සතුටක් ලබන්න මේ අයත් දක්ෂයි. අම්මගේ හරි තාත්තගේ හරි වැරදි දරුවන් එක්ක කියන එකට සමහරුන්ට වෙන වෙන යටි අරමුණුත් තියෙනවා.
දරුවා තමන්ට වඩා තාත්තට ආදරේ වෙයි කියලා හිතන අම්මලා ඉන්නවා. එහෙම අය මට මුණගැහිලත් තියෙනවා. සැමියා/බිරිඳ එක්ක ඇති කරගන්න ඊර්ෂ්‍යාවක් නැත්නම් ආත්මාර්ථකාමී හැඟීමක් නිසා කෙනෙක්ට ඔය වගේ සිතුවිලි ඇතිවෙන්න පුළුවන්.
තාත්තගේ වැරදි සේරම දරුවට කියලා දරුවගේ හිත බින්දම දරුවගේ ආදර සැළකුම් සේරම තමන්ට කියලා ඔය පිරිස හිතනවා. ‘මම තමයි හොඳම’ කියලා ලකුණු දාගන්න කැමති අයත් මේ වැරැද්ද කරනවා. ඒ වගේම දරුවන්ගෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙන අයත් ඉන්නවා. අම්මා තාත්තා නීතියෙන් වෙන්වෙලා නම් වරැද්ද තමන්ගේ නෙවේ අනිත් කෙනාගේ කියලා දරුවට පෙන්නලා දරුවා තමන්ගේ පැත්තට නම්මගන්න හදනවා. අම්මා තාත්තගේ කඹ ඇදීමට දරවෝ එකතු කරගන්න එක බොහොම අමානුෂික දෙයක් හැටියටයි මට නම් පේන්නේ.
අම්මා, තාත්තා ගැන නිතර වැරදි කියනවා නම් දරුවන්ගේ හිතේ තාත්තා ගැන තරහකුත්, අම්මා ගැන අනුකම්පාවකුත් ඇතිවෙනවා. ඊටපස්සේ ඒ දරුවා තාත්තා ගැන වෛර බැඳගන්න එක නවත්තන්න අමාරුයි. මේකෙ අනිත් පැත්තත් මේ වගේ තමයි.
තව සමහරු ඉන්නවා තාත්තාගේ වැරදි අහද්දි ඒ අය තාත්තගේ චරිතයට වීරත්වයක් ආරෝපණය කරගන්නවා. තාත්තයි, පුතයි දෙන්නම එකතු වෙලා මවට පහරදෙන සිද්ධියක් මගේ ළඟට ආවා. අම්මා නිතරම තාත්තගේ වැරදි කියපු නිසා අම්මා දුර්වලයි කියලා හිතලා තමයි අර දරුවත් අම්මට පහර දීලා තිබුණේ. නැත්නම් තාත්තා ‘චණ්ඩියෙක්’ ‘නරක කෙනෙක්’ කියලා හිතට අමුතුම අභිප්‍රේරකයක් ලබාගන්න දරුවොත් ඉන්නවා. එවැනි දරුවෙක් තුළ ගුණයහපත්කම් දියුණුවීම සිදුවන්නේ හරි අඩුවෙන්. අනික අම්මා තාත්තාට වැරදි කරන්න පුළුවන් නම් ඇයි මට බැරි කියලා හිතුවොත් දරුවා කෙරෙහි වැරදි කිරීමට තියෙන බය නැතිවෙනවා.
මේ කාරණාව නිසා අම්මගේ පැත්ත ගන්නද තාත්තගේ පැත්ත ගන්නද කියලා අසරණ වෙන දරුවොත් ඉන්නවා. දරුවෙක්ට අම්මද? තාත්තද? කියලා තෝරන්න කියන එකේ මානසික පීඩනය පැහැදිලි කරන්න නම් මට උදාහරණ නැහැ.
මේ ඇතිවෙන පීඩනය එක්ක දරුවෙක්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න පුළුවන්. ඒ වගේම අම්මා තාත්තා ගැන, සමාජය ගැන මේ දරුවාත් වෛර බැඳගන්නවා. එහි ප්‍රතිඵලය විදියට සමාජ කාංසාව, සමාජ භීතිකාව වගේ මානසික ගැටලු ඇති දරුවන් වගේම පෞරුෂ අඩුපාඩු සහිත දරුවන් බිහිවෙන්න පුළුවන්. ඒ වගේම මේ පීඩනය නිසා දරුවෝ මත්ද්‍රව්‍ය, මත්පැන්වලට නැතිනම් වෙනත් අයථා සබඳතාවලට යොමුවෙන්නත් බැරි නැහැ.
දරුවෙක් බිහිවෙන්නේ අම්මා තාත්තා දෙන්නම නිසානේ. ඉතින් තමන්ගේ හිතේ කොච්චර වෛරයක් තිබ්බත් දරුවගේ හිතට අම්මා තාත්තා ගැන විෂ පුරවන්න එපා.
සහකරුගේ සහකාරියගේ ප්‍රශ්නයක්, ගැටලුවක් තියෙනවා නම් ඒවා උපදේශනය නැතිනම් නීතිමය වශයෙන් විසඳගන්න. එහෙම නැතුව මුකුත් නොකර දරුවෝ එක්ක ඒවා විවේචනය කළා කියලා ඒ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නෑ.
ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශක/මනෝ චිකිත්සක
ආචාර්ය සුරංග අමරකෝන්
සෙව්වන්දි හෙට්ටිආරච්චි