ඇතෙක් බරට වස්තුව අරන් එද්දි මගේ වස්තුව තරහ වෙලා
වටින කියන වාහනයක් අරන්, ලස්සන ගෙයක් දොරක් හදලා තමන්ගේ බිරිඳට, දරුවන්ට සැපවත් ජීවිතයක් හදලා දෙන්න තමන්ගේ මුළු ජීවිතේම කැපකරන පිරිමි ඕනතරම් ඉන්නවා. ගොඩක් අය ඒ දේවල් ඉක්මනින්ම කරන්න තෝරගන්න මාර්ගය විදෙස්ගත වෙන එක. අද රටේ තියෙන ආර්ථික අර්බුදය නිසා එදිනෙදා කාලා බීලා ඉන්න එකත් බහුතරයක් දෙනාට ලොකු අරගලයක්. ඉතින් ඔය ප්‍රශ්න නිසා දැන් විදෙස්ගත වෙන තරුණ පිරිස වැඩියි. ඉතින් මේ මාතෘකාවට සුදුසුම වෙලාව මේකයි කියලා මට හිතුණා.
විදෙස්ගතව රැකියාවක් කරන සැමියෙක් දවසක් මාව මුණගැහෙන්න ආවා. ඔහු මනෝඋපදේශිකාවක් විදිහට මාව හඳුනගෙන තිබුණේ ෆේස්බුක් එකෙන්. මේ කියන පුද්ගලයාට අවුරුදු හතළිහකට කිට්ටුයි. කතාවට අපි ඔහුට සමන්ත කියලා නමක් ආදේශ කරමුකෝ.
සමන්ත විවාහ වෙලා අවුරුදු පහළොවක් විතරලු. ඔහුට දියණියන් දෙදෙනෙකුත් ඉන්නවා. විවාහ වෙද්දි සමන්තටවත් ඔහුගේ බිරිඳටවත් හරිහමන් රැකියා තිබිලා නැහැ. ඉතින් ආර්ථික ප්‍රශ්න නිසාම විවාහ වෙලා මාස තුන හතරක් ගතවෙච්චි තැනදි සමන්ත විදෙස්ගත වෙලා. එදා ඉඳලා අද දක්වාම ඔහු ඒ රටේ වැඩලු. හැබැයි ඔහු අවුරුදු කිහිපයකට සැරයක් ලංකාවට එන බවත්, ඒ ආවම මාසයක් විතර මෙහෙ ඉන්න බවත් ඔහු කිව්වා.
විදෙස්ගත වෙච්චි මුල් කාලේ සමන්තගේ බිරිඳ ඔහු එනකල් බොහොම ආදරෙන් ඇඟිලි ගැන ගැන මගබලාගෙන ඉන්නවලු. හැබැයි පස්සේ පස්සේ ඔහු ලංකාවට එන එක ගැන ඇය වැඩිය හාරවුස්සන්නේ නැතිව ගිහින්. ඒ වගේම අවුරුදු දෙක තුනක වගේ ඉඳලා බිරිඳ දුරකතනයෙන් කරන කතාබහ පවා අඩු කරලා. ඒ වගේම තමයි ඇය මෑතක ඉඳලා ඔහුට ලංකාවට එන්න එපා කියලාත් කියනවලු. ඒ නිසා සමන්ත බිරිඳ ගැන සැකයක් ඇති කරගෙන තියෙනවා. ඒ පාර ඔහු බිරිඳටත් නොදන්වා හොර රහසේම ලංකාවට ඇවිල්ලා. බිරිඳගේ හොර අල්ලන්න. හැබැයි මාව මුණගැහෙන්න එනකොටත් ඔහුට බිරිඳගේ හොරයක් නම් අල්ලගන්න පුළුවන් වෙලා තිබුණේ නැහැ.
“එයාට එහෙම වෙන සම්බන්ධකමකුත් නැහැ. හැබැයි වයිෆ් දැන් මාව ගනන් ගන්නෙම නැහැ මිස්. මම නිදාගන්න කාමරේ නිදාගන්න එන්නවත් එයා කැමති නැහැ” කියලා තමයි ඔහු කිව්වේ. බිරිඳ විතරක් නෙමෙයි ඔහුගේ දියණියන් දෙදෙනා පවා විදෙස්ගත වෙලා කාලෙකින් ආවයි කියලාවත් ඔහු ගැන එහෙමට තැකීමක් කරලා නැහැ.
බිරිඳගේ වෙනස ගැන කතා කරන්න පස්සේ දවසක සමන්ත ඇයව මගේ ළඟට එක්කරගෙන ආවා. ඊටපස්සේ මම ඇයත් එක්ක ටිකක් තනියම කතා කරන්න පටන්ගත්තා. මේ බිරිඳට කාලෙක ඉඳලා කාත් එක්ක හරි සුහදව මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න උවමනාවක් තිබිලා තියෙන බව ඇය කතා කරපු මුල් වචනෙන් දෙකෙන්ම මට තේරුණා. ඒ වගේම ඇය බොහොම කළකිරීමකින් ජීවත්වෙන බවත් මට වැටහුණා.
විවාහයෙන් පස්සේ සමන්ත විදෙස්ගත වෙනකොට ඇයට අවුරුදු විසි දෙකක් විතරලු. ඊටපස්සේ සමන්ත හරි හම්බකරලා එවන මුදලින් ඇය සකසුරුවමින් ගේ දොර එහෙම හදලා. දරුවෝ දෙන්නා ලැබුණට පස්සෙත් සමන්තට බිරිඳ ළඟ ඉන්න ලැබිලා නැහැ. සැමියා ළඟ නොහිටි නිසා ඇයට නිතරම වගේ තනිකම පාළුව දැනුණලු. හැබැයි එහෙමයි කියලා ඇය වෙනත් සබඳතා ඇති කරගන්න හිතලාත් නැහැ. කාලයක් යද්දි ඇය මේකට හුරුවෙලා. බැඳීම් කියන්නෙ දුකක් බව තමන් තේරුම් අරන් ඉන්න නිසා සැමියගෙන් ඈත්වෙන්න හිතූ බවයි ඇය කිව්වේ. මේ නිසාම ඇගේ හිතේ සමන්ත ගැන තරහක් තියෙන බව මට තේරුණා. ඇගේ ඒ හැසිරීම නිසා දියණියන් දෙදෙනාත් පියා ගැන තරහක් ඇති කරගෙන ඇති කියලා මම අනුමාන කළා.
ගෙවිලා ගිය කාලය අපිට ආපස්සට ගන්න බැහැනේ. ඉතින් අතීතය ගැන දුක් නොවී අනාගතය හදාගමු කියන එකයි මම ඇයට කිව්වේ. මේ වෙනකොට සමන්ත සෑහෙන වත්කමක් උපයගෙන තිබුණා. ඉතින් මේ බිරිඳ යානවාහන තියාගෙන දරු දෙන්නත් එක්ක බොහොම සුඛෝපභෝගී ජිවිතයක් තමයි ගත කළේ. සැමියා එවන මුදලින් ඇය ඇගේ සහෝදර සහෝදරියන්ට පවා උපකාර කරනවලු. ඉතින් ඔහු විදෙස්ගත වුණු එකේ යහපත් පැත්තත් දකින්න කියලා මම ඇයට කිව්වා. ඔහු රට ගියේ නැත්තම් මේ පවුලට ඒ තරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න ඉඩ නොලැබෙන්න තිබුණනේ.
කෙනෙක් රට යන්නේ හීන මල්ලක් කරේ එල්ලගෙන. ඒ හීන හැබෑ කරන් ලංකාවට එනකොට තමන්ගේ ආදරණීයන් ඈත්වෙලා ගිහින් නම් හැබෑ කරගත්තු අර හීනවල වටිනාකමත් නැතිව යනවා. කරුණු කාරණා තේරුම්ගත්තු සමන්ත නැවතත් විදෙස්ගත නොවී ලංකාවෙ ව්‍යාපාරයක් පටන්ගන්න තීරණය කළා. දරුවොත් එක්ක කතා කරලා ඔවුන්ගේ අදහස් වෙනස් කරන්නත් මම කටයුතු කළා. ඊටපස්සේ පවුලක් විදිහට ආයෙත් අලුතෙන් ජීවිතේ පටන්ගන්න ඔවුන්ට පුළුවන් වුණා.
තරුණ යුවළක් විවාහ වෙන්නේ ජීවිත කාලෙටම සිතින් ගතින් එකට ජීවත් වෙන්න. ආදරය, ලිංගිකත්වය වගේ දේ විවාහ ජීවිතේ සාර්ථකත්වයට වැදගත්. කෙනෙක්ට තරුණ වයසෙදි මේ දේවල් අහිමි වෙනවා නම් ඔහු හෝ ඇය මානසිකව පීඩාවට පත්වෙන එක ස්වභාවිකයි. සමාජයේ අනිත් පවුල් ආදරෙන් ඉන්නවා දකිද්දි ඔය පීඩාකාරී බව තවත් වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නැහැ. ඉතින් එතැනදි සහකරයා තමන්ට සැපවත් ජීවිතයක් හදලා දෙන්න රට ගියාය, ඒක ලොකු කැපකිරීමක්ය කියලා කෙනෙක්ට නොතේරෙන්න පුළුවන්. ඒත් එක්කම සහකරු ගැන තරහක් ඇතිවෙන එකත් සාමාන්‍යයෙන් සිද්ධවෙන දෙයක්.
විවාහ වෙන්න කලින් ලුණුයි බතුයි කමුකෝ රත්තරන් කිව්වට එව්වා නිකන් සුරංගනා කතා විතරයි කියලා තේරෙන්න බැඳලා වැඩි දවසක් ගතවෙන්නේ නැහැ. අඩුපාඩු ඉස්සරහා දොරට තට්ටු කරනකොට දෙන්නගේ ආදරේ පස්සේ දොරින් පැනලා යනවා කියන්නේ ඒකනේ. ඉතින් ඒ අඩුපාඩු ජයගන්න තමන් ආදරේ කරන අය දාලා දුර රටකට යන එක කවුරුත් කැමැත්තෙන් කරනවා ඇති කියලා මම හිතන්නේ නැහැ. ඒ රටවලට ගිහින් පවුලේ අය වෙනුවෙන් ඔවුන් කරන කැපවීම තේරුම් ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.
සැමියා බිරිඳ විදේශගතවීම නිසා අවුල් වෙච්චි පවුල් ඕනතරම් අපේ රටේ තියෙනවා. සමහර පිරිමි උදවිය බිරිඳ විදේශගත වෙච්චි හැටියේ මත්පැන්වලට, සූදුවට යොමුවෙනවා. බිරිඳ රට ගියාම දරුවන්ගේ ජීවිත විනාශමුඛයට ඇදලා දාන පියවරු කොච්චර ඉන්නවද? ඒ වගේම සැමියා රට ගියාම අනියම් සබඳතාවලට යොමුවෙන බිරියනුත් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි විදෙස්ගත වුණාට පස්සේ ලංකාවේ දරු පවුලක්, සහකරුවෙක් ඉන්නවා කියලා අමතක කරන උදවියත් සුලබයි.
ඉතින් මම මේ කියන්නේ කාටවත් රට යන්නේ නැතිව ඉන්න කියලා එහෙම නම් නෙමෙයි. පවුලේ සැමියා හරි බිරිඳ හරි විදෙස්ගත වෙනවා නම් කරුණු කාරණා තේරුම් අරගෙන ජීවිතේ සමබර කරගන්න දෙන්නටම වගකීමක් තියෙනවා. එහෙම හරි ලස්සනට ඉන්න අයත් ඕන හැටියට මට මුණගැහිලා තියෙනවා. විවාහවුණු අලුත රට යන්න හිතනවා නම් දෙන්නා එක්කම රට යන්න උත්සාහ කරන එක හොඳයි කියලා මම යෝජනා කරනවා. අනික දැන් තාක්ෂණය බොහොම දියුණුයි. නිතරම වීඩියෝ කෝල් එහෙම ගන්න දැන් පහසුයිනේ. ඒ වගේ ක්‍රමවේද හරහාවත් සැමියා බිරිඳ එක්ක නිතරම ඉන්න උත්සාහ කරන එක වැදගත්. විවාහ වෙලා අවුරුදු විස්ස තිහ දෙන්නා දෙපැත්තකට වෙලා ඉන්න එක නම් තේරුමක් තියෙන දෙයක් විදිහට මම දකින්නේ නැහැ. අපිට හැමදාම ජීවත්වෙන්න පුළුවන් නම් ඒ ක්‍රමේ හොඳයි. හැබැයි අපි ජීවත් වෙන්නේ ටික කාලෙනේ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවා නම් සහකාරයාව තමන් ඉන්න රටට ගෙන්න ගන්න උත්සාහ කරන්න ඕනේ. දෙන්නෙක් දීර්ඝ කාලයක් වෙන්වෙලා ඉන්නකොට හිත ඇතුළේ තියෙන බැඳීම අඩුවෙන්න පුළුවන්. ඒ නිසා ඒ දේවල් තේරුම් අරන් කටයුතු කරන්න කියලයි මම මේ කියන්නේ.
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි
සෙව්වන්දි හෙට්ටිආරච්චි