මහත්තයා නෝනට හොරෙන් උපත් පාලන කොපුවල සිදුරු හදලා
මම හැමදාමත් කතා කරන්නේ අපේ බිරින්දෑවරු අතින් සැමියන්ට වෙන අකටයුතුකම් ගැනනේ. හැබැයි අද කතාව ටිකක් වෙනස්. මේක අලුත විවාහ වුණු බිරියන් තමන්ගේ සැමියවත් එක්කාසුකරගෙන කියවන්න වටින කතාවක්.
“අනේ මටනම් දැන් මැරෙන්න තරමටම කළකිරිලා ඉන්නේ මිස්. බඩේ දරුවෙක් ඉන්න නිසයි මම ඉවසන්නේ.” මේ කතාව කිව්වේ මීට මාසෙකට හමාරකට කලින් මගේ ළඟට ආපු තරුණ බිරිඳක්. මම ඇයව දිලිනි කියලා හඳුන්වන්නම්. ඇය කතා කළේ අඬ අඬ. තරමක් පැහැපත් තරුණියක් නිසා ඇගේ මූණ රතු පාටින් ජම්බු ගෙඩියක් වගේ ඉදිමිලා. ඉතින් මම මුලින්ම කළේ හැඬුම නතර වෙන තැනට ඇගේ හිත හදපු එක.
දිලිනිගේ වයස අවුරුදු විසිපහයිලු. ඇය මාස තුනක ගැබිනියක්. හැබැයි ඒ වෙනකොටත් ඇය සැමියා එක්ක අමනාප වෙලා ඔහුගේ නිවසින් ගිහිල්ලයි හිටියේ.
“පුංචි කාලේ ඉඳලම මම ඉගෙනගන්න හරි දක්ෂයි මිස්. ශිෂ්‍යත්වේ පාස්වෙලා හොඳ ඉස්කෝලෙකට ගියා. පස්සෙ කැම්පස් ගියා.”
උසස් අධ්‍යාපනයෙන් පස්සේ ඇයට පෞද්ගලික ආයතනයක ලොකු වැටුපක් එක්ක හොඳ රැකියාවක් ලැබිලා. රස්සාවට පස්සෙ පරස්තාව ගැන වදවෙන එක ගොඩක් පවුල්වල වැඩිහිටියන්ගේ ක්‍රමේනේ. ඉතින් දිලිනිත් මව්පියන්ගේ ඉල්ලීමට අනුව යෝජිත විවාහයකින් විවාහ වෙලා. මාව මුණගැහෙන්න එනකොට ඇය විවාහ වෙලා මාස පහයි.
“ඊළඟ අවුරුද්දේ මට විභාග කීපයක්ම තියෙනවා. ඒවගෙන් පස්සේ මගේ තනතුරත් උඩට යනවා. දැන් ඉතින් ඒ හැම හීනයක්ම වතුරෙ.”
ගැබ්ගත්තු එක ගැන දිලිනි ඇගේ සැමියට චෝදනා කරන බව මට තේරුණා. හැබැයි ඉතින් තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ. ඉතින් මෙතැනදි සැමියට විතරක් චෝදනා කරන එක නිවැරදි නැහැ නේද කියලා මම ඇගෙන් ඇහුවා.
“බැඳලා සතියක් ගියේ නෑ. එයාගේ අම්මයි එයයි දෙන්නම ළමයෙක් හදමු කිය කියා කියවන්න ගත්තා. ඒත් මට දැන්ම බබාලා ඕනේ නෑ. ඒ නිසා මම පරිස්සම් වුණා.” විවාහ වෙලා මාස තුනක් යද්දි දිලිනි ගැබිනියක් වුණාලු. අඹු-සැමියන් විදිහට එක්වෙන හැම අවස්ථාවකම ඔවුන් උපත් පාලන කොපු භාවිතා කරපු නිසා ඇයට ඇගේ ගර්භීණීබව ගැන සැකයක් ඇතිවෙලා. “ඒ ජරා මිනිහා කොන්ඩම් හිල් කරලා මිස්.” දිලිනි කිව්ව ඒ කතාව අහලා මගෙත් ඇස් උඩ ගියා. මේ කාරණාව ගැන සැමියා එක්ක දිගින් දිගටම වාද කරනකොට ඔහුගේ කටින්මලු ඒ ගැන කියැවුණේ. දිලිනිගේ ගැටලුව මම හිතුවටත් වඩා බොහොම සංකීර්ණ නිසා පසු දවසක ඇගේ සැමියා එක්ක කතා කරන්න මම අවස්ථාව හදාගත්තා.
කතාබහෙදි වුණත් ඔහු එහෙම සැරපරුෂ නපුරු පුද්ගලයෙක් නොවන බව මට තේරුණා. ඉතින් බිරිඳටත් හොරෙන් දරුවෙක් හදන්න හිතුවේ ඇයි කියලා මම ඔහුගෙන් කෙළින්ම අහලා බැලුවා. “මගේ අම්මා දැන් හරි වයසයි මිස්. එයාට හොඳ කරන්න බැරි ලෙඩකුත් තියෙනවා. අම්මගේ එකම ආසාව මැරෙන්න කලින් මගේ දරුවෙක් දකින එක. ‘ඔයා මට ආදරෙයි නම් මම මැරෙන්න කලින් මට මුණුපුරෙක් දෙන්න’ කියලා අම්මා නිතරම කියනවා. ඒකයි මිස් මම මෙහෙම කළේ. හැබැයි ඒක වැරදී කියලත් මම දන්නවා.” ඒ විදිහට උත්තර දෙනකොට මූණේ තිබුණු වරදකාරී හැඩතල වහන් කරගන්න ඔහුට බැරි වුණා.
තමන්ගේ අම්මගේ ආසාවල් ඉෂ්ඨ කරන්න තරුණ බිරිඳගේ හීන බොඳ කරපු එක ඉතාමත් ආත්මාර්ථකාමී කටයුත්තක් බව මම ඔහුට කිව්වා. මොකද ඇය රැකියාව අතින් ඉහළටම යන්න හීන දැකපු උගත් කාන්තාවක්නේ. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් යටතේ තමන් කැමති කාලයකදී කැමති කාල පරතර අනුව දරුවන් සැදීමේ අයිතියක් සෑම කාන්තාවකටම හිමි වෙනවා. තමන්හේ සහකරුගේ අවසරයකින් තොරව දරුවෙක් ලැබීමට ස්ත්‍රීන් හා පුරුෂයන් භාවිත කරන ප්රචණ්ඩත්වය අපි හඳුන්වන්නේ ප්‍රජනන බලහත්කාරය කියලා. ඉතින් නීතිය යටතේ ගත්තත් ඔහු කරලා තියෙන්නේ වරදක් බව මම ඔහුට පැහැදිලි කළා.
විවාහයක් ඇතුළේ වෙන මේ වගේ දේවල් ගැන ගොඩක් කාන්තාවන් පැමිණිලි කරන්නේ නැහැ. පැමිණිලි කළත් මේ වගේ දේවලට හොඳින් ක්‍රියාත්මක වෙන නීතිරීතී අපට නැහැ. මෙතැනදි කාන්තාවකට මානසික, චිත්තවේගීය හා ඍජු කායික හිංසනයක් සිද්ධ වෙනවා. ඒ නිසාම නීත්‍යානුකූල බිරිඳව වුණත් බලෙන් ගැබ් ගැන්වීම ලෝකයේ ඇතැම් රටවල බරපතළ දඬුවම් හිමිවන වරදක්.
කරුණු කාරණා පැහැදිලි කළාට පස්සෙ ඔහු කදුළු සලමින් බිරිඳගෙන් සමාව ගත්තා. දැන් ගැබ්ගෙන අවසාන නිසා දරුවා සතුටින් හදාගන්න තැනට මම දිලිනිගෙත් හිත හැදුවා. ඒ වගේම දරුවා ලැබුණට පස්සේ ඇගේ අධ්‍යාපන කටයුතු සහ රැකියාවේ වැඩ සාර්ථකව කරගන්න ඇයට සහාය දෙන බව දිලිනිගේ සැමියා ඇයට පොරොන්දු වුණා.
දරුවන් සැදීමේ කාලය ගැටලුකාරී කරගත්තු අඹු-සැමියන් නිතරම උපදේශනවලදී මුණගැහෙනවා. ගොඩක් අය බබාලා හදන්නේ වැඩිහිටියන්ගේ උවමනාවට. ඇතැම් දෙමාපියන් විවාහක යුවළ දරුවන් හදනතුරු විවිධාකාර කතා කිය කියා ඔවුන්ව මානසිකව බියගන්වනවා. හැම කෙනෙක්ටම තමන්ගේ ශරීරය සම්බන්ධ ස්වාධීන තීරණ ගන්න අයිතියක් තියෙනවා. ඒ නිසා දරුවන් හදන කාලසීමාව විතරක් නෙමෙයි ඒ පවුලට දරුවන් අවශ්‍යද නැද්ද කියන කාරණාවත් තීරණය කරන්න ඕනේ ඒ දෙපළ.
විවාහය කියන එකේ තේරුම දරුවෝ හදනවා කියන එකම නෙමේ. හැබැයි අපේ රටේ ගොඩදෙනා ඉන්නේ විවාහ වෙන්නේ දරුවෝ හදන්නයි කියන සංකල්පයේ. ගොඩදෙනා විවාහක යුවළකට සුබ පතන්නෙම “ ඉක්මනින් දරුමල්ලො ලැබේවා” කියලා. හැබැයි පලපුරුදු වෘත්තිකයන් හැටියට පූර්ව විවාහ උපදේශනවලදි පවා අපි කියන්නේ විවාහ වුණු අලුත දරුවන් හදන්න එපා කියලයි.
අද වෙනකොට අපේ රටේ අවුරුදු 18,19 යෞවන අම්මලා ගැබ්ගන්න ප්‍රවණතාවය වැඩියි. හේතුව ප්‍රමාණාත්මක ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය ගැන දැනුමක් නැතිකම. උපත් පාලනය ගැන දැනුමක් නැති නිසා සමහර අය විවාහයෙන් පළමු එකතු වීමෙන්ම ගැබ් ගන්නවා. කතාවට ‘හනිමූන් බබාලා’ කියන්නේ.
විවාහක යුවළක එකිනෙකාගේ ලිංගික ආශාවන් සහ ශරීර ගැන අධ්‍යයනය කරමින් මානසික බැඳීම වැඩි කරන්න ටික කාලයක් ගත වෙනවා. ඉතින් බැඳපු ගමන් බබෙක් හම්බුණාම ඔය කාරණා එකක්වත් හරියට ඉටුවෙන්නේ නැහැ. අම්මා තාත්තා දෙන්න හරියට අඳුනගන්නේ නැතිව සමාජයට සාර්ථක දරුවෙක් තිළිණ කරන්නත් අමාරුයිනේ. ඒ නිසා ඒ දේවල් ගැන හිතන්න.
විවාහ වුණු ගමන් දරුවෙක් හදාගත්තම සැමියව තමන්ට නතු කරගන්න ලේසියි, පවුල ශක්තිමත් වෙනවා, සැමියා කවදාවත් තමන්ව දාලා යන්නේ නෑ කියලා හිතලා බැන්ද ගමන් බබාලා හදන බිරියනුත් ඉන්නවා. සැමියට ආදරණීය බිරිඳක් වෙලා බැඳීම් ශක්තිමත් කරගන්න බිරිඳක් දක්ෂ වෙන්න ඕනේ. විවාහ වුණු අලුත දරුවන් නොහදා ඉන්න එකත් බැඳීම් ශක්තිමත් වෙන්න හේතු වෙනවා. එහෙම නැතිව දරුවන් ලව්වා තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකරගන්න යන එක නම් දරුවන්ටත් ඇති ආදරයක් නෙමෙයි.
සමහර පිරිමි තමන්ගේ බිරිඳ හොඳ රැකියාවක් කරනවට එයින් ඉහළට යනවට අකමැතියි. ඒ වගේ අය බිරිඳව නිවසට කොටු කරන්න භාවිතා කරන උපක්‍රමයක් විදිහට ඉක්මනින් දරුවෝ හදනවා. “අපේ වයිෆ් ඉතින් ගෙදරට වෙලා නිකන්නේ ඉන්නේ ඒ නිසා අපි ඉක්මනට දරුවෝ හැදුවා” කියලත් දවසක් සැමියෙක් මාත් එක්කම කිව්වා.
“ඉක්මනටම දරුවෝ හදලා ඉවරයක් කළාම ඉවරයි” කියලා කියන අයත් ඉන්නවා. සමහරු දරුවෝ හදන්නෙම වදෙන් පොරෙන් හදන්න ඕනාවට කියලා ඒ වගේ කතාවලින් පැහැදිලිනේ. ඒ වගේම ඔෆිස් එකේ ඉන්න උන්දැලා, පාරේ තොටේ මුණගැහෙන අය “බබාලා නැද්ද?” කියලා අහනවට බයට බැඳපු හැටියේ දරුවෝ හැදුව අයත් සුලබයි. මම නම් හිතන්නේ මුලින්ම කරන්න ඕනේ එහෙම අහන අයව අශ්‍රයෙන් අයින් කරන එක. අපි කාගෙන්වත් “ඊයේ ඔයාලා සෙක්ස් කළාද?” කියලා අහන්නේ නෑනේ. දරුවො හදන එකත් ආන්න ඒ වගේ අතිශය පෞද්ගලික දෙයක්. ඒ නිසා ඒ කාගෙන්වත් ඒ වගේ දේවල් නාහා ඉන්න තැනට තමන්ගේ විනය හදාගන්න එකත් හරි වැදගත්.
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි
සෙව්වන්දි හෙට්ටිආරච්චි