කසාද බැඳගත්තු මට වඩා ඒ මිනිහට මගේ ළමයා ලොකු වුණා
චමින්ද ව්‍යාපාරිකයෙක්. ඔහුගේ බිරිඳ සමන්ති. ඇත්තටම ඔය කිව් නම් දෙක මේ කතාවේ ඇත්ත යුවළ වෙනුවට මම යෙදූ ආදේශක නම්.
මේ දෙන්නා පාසල් කාලේ මුණගැහුණු යුවළක්. විවාහයට කලින් වසර ගණනාවක් ඇසුරු කරලා. විවාහයෙන් පස්සෙත් චමින්ද සහ සමන්ති බොහොම සතුටෙන් කාලය ගත කරලා තියෙනවා. ඔය අතරේ තමයි සමන්ති මවක් වෙන ලක්ෂණ පහල වෙලා තියෙන්නේ.
චමින්ද මාව මුණගැහෙන්න එනකොට ඔවුන්ගේ දරුවට අවුරුදු එකහමාරයි.
චමින්දට යහමින් මුදල්හදල් තිබුණු නිසා බිරිඳ රැකියාවක් කළේ නැහැ. ඒ වගේම මේ ගෙදර වැඩපළටත් ගෑනු කෙනෙක් හිටියා. හැබැයි දරුවට අවුරුද්දක් සම්පූර්ණ වෙච්චි හැටියෙම සමන්ති බබාව දිවා සුරැකුම් මධ්‍යස්ථානකට බාරදීලා තිබුණා. රැකියාවක් එහෙමත් නොකරන නිසා බිරිඳගේ මේ වැඩේට චමින්ද මුල ඉඳලම කැමති වෙලා නෑ.
“බබා අඬනකොට මට නලවගන්න අමාරුයි. හැමවෙලේම අඬද්දි මගේ ඔලුවත් රිදෙනවා.”
ඒක තමයි දරුවව ඩේ කෙයාර් එකට දාපු එක ගැන සමන්ති දීලා තියෙන උත්තරේ. දරුවව පිට නොයවා ගෙදර වැඩට ඉන්න කාන්තාවට දරුවා බලාගන්න දෙමු කියලා පස්සේ චමින්ද යෝජනා කරලා තිබුණා. හැබැයි එතකොට දරුවා තමන්ට වඩා ඒ කාන්තාවට හිතවත් වේවි කියලා ඇය ඒ යෝජනාවට එකඟ වෙලත් නැහැ.
මේ ගැටලුව නිසා චමින්ද නිතර නිතරම සමන්ති එක්ක රණ්ඩු ඇති කරගෙන. හැබැයි ඒ කොයික වෙතත් මේ බිරිඳ ඇගේ තීරණය වෙනස් කරලා නැහැ. අවසානෙදි චමින්ද දරුවත් අරගෙන ඔහුගේ මහගෙදර ගිහින්. ඒ උදවිය තමයි ඔහුට මාව මුණගැහෙන්න සලස්වලා තිබුණේ. බිරිඳ දරුවව බලාගන්න අකමැති නම් ඇගෙන් දික්කසාද වෙන්න වුණත් ඔහු සූදානම් බවයි ඔහු මාත් එක්ක කිව්වේ.
පස්සේ සමන්තිත් මාව මුණගැහෙන්න ආවා. දික්කසාදෙට ඇගේ හිතේ කැමැත්තක් තිබුණෙත් නැහැ. කාරණේ ගැන ටිකක් වෙලා කතා කරද්දි ඇය හඬන්න පටන්ගත්තා. දරුවා ලැබෙන්න කලින් චමින්ද ඇයට බොහොම ආදරෙන් හිටි බවත්, දරුවා ලැබුණට පස්සේ ඔහු දරුවා ගැන විතරක් අවධානය යොමුකරන බවත් ඇය කිව්වා.
“ඉස්සර වැඩ ඇරිලා එන්නේ මාව හොයාගෙන, දැන් ආව හැටියේ කරන්නේ දරුවව අතට ගන්න එක. මගේ ගැන හොයලා බලන්නෙම නැහැ.” සැමියා දරුවාට විතරක් අවධානය දැක්වූ නිසා ඇය හිටියේ මානසික පීඩනයක. ඒත් මේ ගැටලුව සැමියා සමඟ කතාබහ කරලා විසඳගන්න ඕන ගැටලුවක් නිසා මේකට දරුවගෙන් පළිගන්න එක අමානුෂික බව මම ඇයට කිව්වා. ඇගේ මේ හැසිරීම දරුවගේ අනාගතය වගේම ඔවුන්ගේ පවුල් ජීවිතයත් අවුල් වෙන්න හේතුවෙන බව මම සමන්තිට පැහැදිලි කළා. දරුව ලැබුණු හැටියේ බිරිඳව නොසලකා හැරපු එක නිවැරදි දෙයක් නෙමෙයි කියන එක චමින්දටත් පැහැදිලි කළා. සැසි වාර දෙක තුනක් ඇතුළත මේ දෙන්නම ඔවුන්ගේ වැරදි නිවැරදි කරගත්තා.
දරුවෙක්ගේ එක්වීම ස්වභාවිකව යුවළක් සමීප කරවන දෙයක් කියලා මතයක් තියෙනවා. නමුත් දරුවෙක් ලැබුණම පවුල සංකීර්ණ වෙන නිසා අම්මා කෙනෙක්ට ඇතිවෙන්න පුළුවන් පීඩනය වැඩියි. පවුල් ජීවිතයේ තෘප්තිය අඩුවීම, අලුතින් දෙමාපිය භූමිකාවන්ට ගැලපීමට සිදුවීම, නින්ද, ආර්ථික ගැටලු සහ ලිංගිකත්වය සම්බන්ධ ගැටලු නිසා ඇතැම් පවුල්වල සහකරුවන් අතර බැඳීම අඩුවෙන්න පුළුවන්. ඒ වගේම සහකරුවාව නොසලකා දරුවාට විතරක් අවදානය දක්වන අයත් ඉන්නවා. චමින්ද වගේ. හැබැයි කාන්තාවන් තුළ මේ තත්ත්වය වැඩියි.
‘පුංචි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා… එදා වගේ නෑ… මාත් එක්ක බොළඳ වදන් දැන් කියන්නේ නෑ’ කියලා සිංදුවකුත් තියෙනවා ඔය ගැන. ඉතින් දරුවෙක් ලැබුණම එක්කෙනෙක්ට විතරක් වැඩි බරක් පටවන්නේ නැතිව වගකීම් බෙදාගන්න. ඒ වගේම සැමියා බිරිඳට කලින් දුන් ආදරය අඩු කරන්නත් එපා. එතකොට ඔවුන් දරුවන්ගෙන් පීඩනය පිට කරන්න උත්සාහ කරනවා. ඊටපස්සේ ඉතින් අඹු-සැමි දෙපළ අතර ගැටලු ඇතිවෙන එක සාමාන්‍යයයි.
දවසක් තව යුවළක් ආවා. ඒ බිරිඳ දරුවන් හදන්නේ නැහැ කියලා විවාහ වෙන්න කලින් ඉඳලම තීරණය කරපු කෙනෙක්. සැමියත් ඇගේ මතයට එකඟ වෙලා. හැබැයි පස්සෙන් පහු මේ යුවළට නොදැනුවත්වම ළමයෙක් ලැබෙන්න ඇවිල්ලා. දරුවා ලැබුණට පස්සෙ බිරිඳ දරුවට වෙනස්කම් කරන්න පටන් අරන්. ඒක නොරිස්සූ නිසා ඒ සැමියත් ඇයව දික්කසාද කරන්නයි හැදුවේ. පස්සේ මේ යුවළගේ ගැටලුව විසඳන්නත් මට පුළුවන් වුණා.
විවාහයක තේරුම දරුවන් හදන එකම නෙමෙයි කියලා මම මෑත දවසකදී කතා කළා. හැබැයි ස්වාභාවිකව දරුවෙක් ඉපදුණොත් අර කලින් තිබූ මතවාද ඔලුවෙන් අයින් කරලා ඒ දරුවට ආදරය, කරුණාව, රැකවරණය සලසන එක අම්මා කෙනෙක්ගේ වගකීමක්. සමහර අම්මලා කාර්යබහුල නැති වුණත් දරුවන්ව මහගෙදර ගිහින් දානවා. මේවා දෙන්නා අතර ගැටුම් ඇතිවෙන්න විතරක් නෙමෙයි දරුවන්ගේ හිතේ දෙමාපියන් ගැන තරහක් ඇති වෙන්නත් හේතු වෙනවා. ඒ නිසා දරුවෙක් ලැබුණට පස්සේ අම්මා, තාත්තා, දරුවා තුන්දෙනාම එකට මිත්‍රශීලි සබඳතා ඇති කරගන්න. දරුවෝ එක්ක සතුටින් ඉන්න බලන්න. එතකොට දෙන්නා දෙමහල්ලන්ගේ බැඳීමත් අනිවාර්යයෙන්ම වැඩිවෙනවා.
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි
සෙව්වන්දි හෙට්ටිආරච්චි