විශේෂාංග

ගෙට උඩින් කපුටෙක් පියෑඹුවම හස්බන්ඩ්ගෙ නම්බර් එක ඩයල් වෙනවාද?

මනෝවිද්‍යා වෘත්තිකයෙක් විදිහට මට මේ ​ක්ෂේත්‍රයේ වසර විසි පහක විතර පළපුරුද්දක් තියෙනවා. ඉතින් මගේ අත්දැකීමේ හැටියට මීට දශකයට පෙරාතුව අහන්න දකින්න ලැබුණ පවුල් ප්‍රශ්නයි අද තියෙන ප්‍රශ්නයි අහසට පොළොව වගේ වෙනස්. ඒ වගේම තමයි මේ වෙනකොට දුරකථනය සහ සමාජමාධ්‍ය නිසා ඇති වෙන අඹු-සැමි ගැටුම් බොහොම සුලබයි. ප්‍රශ්නය වෙන එකක් වුණත් ඒ ප්‍රශ්නය ඇතුළේ අතුරු කතාවක හරි දුරකථනය හරි සමාජමාධ්‍ය හරි ගෑවිලා තියෙනවාම තමයි. මේකත් ඒ වගේ කතාවක්.

මේ කියන යුවළ විවාහ වෙලා තවම අවුරුද්දයි. අවුරුද්දෙන් මංගල්ලේ අහවර කරන්න හිතාගෙන බිරිඳ ඇගේ මහගෙදර ගිහිල්ලා. තමන්ගේ පවුල සමාදාන කරලා දෙන්න කියලා තමයි සැමියා මට ඇවිල්ලා කිව්වේ. කතාව ලියන්නත්, කියවන්නත් පහසුවෙන්න මම මේ යුවල සම්පත් සහ නයෝමි විදිහට හඳුන්වන්නම්.

සම්පත් සහ නයෝමි විවාහ වෙලා තියෙන්නේ ගෙවල්වලින් කරපු විවාහ යෝජනාවකට අනුව. බොහොම තරුණ යුවළක් වෙච්චි මේ දෙපළ මුල් මාස කිහිපයේ බොහොම සතුටින් ඉඳලා තියෙනවා.

විවාහයට කලින් නයෝමි භාවිත කරලා තියෙන්නේ සීමිත කාර්යයන් කිහිපයක් විතරක් කරන්න පුළුවන් කුඩා ප්‍රමාණයේ දුරකථනයක්. ඉතින් විවාහයෙන් පස්සේ එළඹුණු ඇගේ උපන්දිනයට ඇයව පුදුම කරන්න හිතාගෙන සම්පත් ඇයට මිල අධික ස්මාර්ට් ජංගම දුරකථනයක් අරගෙන දීලා.

‘‘වයිෆ්ව සප්‍රයිස් කරන්න හිතාගෙන ෆෝන් එකක් අරන් දුන්නට මොකද මිස් ඒකෙන් දැන් මාවයි සප්‍රයිස් වෙලා තියෙන්නෙ.’’

කියලා සම්පත් කිව්වෙ බොහොම කණගාටුවෙන්. නයෝමි ෆෝන් එක පාවිච්චි කරන්නේ හරියට වඳුරා දැලිපිහිය පාවිච්චි කළ තාලෙටලු. නයෝමි රැකියාවක් කරලා නැහැ. ඉතින් සම්පත් රැකියාවට ගිය වෙලේ ඉඳලා නයෝමි ඔහුට දුරකථන ඇමතුම්, වීඩියෝ ඇමතුම් ගන්නවලු. ඒවාට ප්‍රතිචාර දක්වන්නෙ නැතොත් කෝල් තිහක් හතළිහක් විතර එක දිගට ගන්නවලු.

ඊට පස්සෙ බොහොම දිග මැසේජ්වලින් සම්පත්ට බැනලා එවනවලු.

‘‘එයා කෝල් එකක් ගත්තම රින්ග්ස් එකක් දෙකක් යද්දිම මම කතා කරන්න ඕනේ. නැත්නම් ඉවරයි. ඔෆිස් එකේ වැඩ කරන ගමන් මට ෆෝන් ආන්සර් කරන්න වෙලාවක් නෑ මිස්. ෆේස්බුක් එකවුන්ට් එකක් හදලා දීපු එක තමයි මම කරපු අනිත් මෝඩ වැඩේ. ගෙදර ප්‍රශ්නයක් ඇති වුණ හැටියේ නයෝමි දුක හිතෙන පෝස්ට් ශෙයා කරනවා. සමහර ප්‍රශ්න ගැන කෙළින්ම ලියපු වෙලාවලුත් තිබුණා.’’

සම්පත් ගෙදර ආව හැටියේ නයෝමි කරන්නේ ඔහුගේ දුරකථනය පරීක්ෂා කරන එකලු. ඒ වගේම ඔහුගේ ෆේස්බුක් සහ දුරකථන පාස්වර්ඩ් පවා ඇය ඉල්ලගෙන තියෙනවා. හැබැයි ඇගේ කිසිම දෙයක් ඔහු සමග බෙදාගෙනත් නැහැ.

ඉතින් දවසක් මේ බිරිඳ ගෙදර වැඩක් කර කර ඉද්දි පුටුවකින් ඇයව ඇදගෙන වැටිලා තියෙනවා. ඒ වෙලාවෙත් ඇය සම්පත්ට එක දිගට කෝල් අරගෙන. මේක ඉතින් මෙයාගේ පුරුද්ද නිසා ඔහු මේ ඇමතුම් ගැන සැලකිල්ලක් දක්වලා නැහැ. එතැනදි මේ බිරිඳට වෙලා තියෙන්නෙත් ‘කොටියා කනෝ’ කියලා කෑ ගහපු කොලුවට වෙච්ච දේ. මේ වෙලාවේ ඇය බොහොම අසරණ වෙලා. මේ සිදුවීමෙන් පස්සේ ඇය සම්පත්ගෙන් වෙන්වෙන්න හිතාගෙන මහගෙදර ගිහිල්ලා.

සම්පත්ගේ දැඩි ඉල්ලීම නිසා පස්සේ දවසක් නයෝමි ඇගේ අම්මත් එක්ක මාව මුණගැහෙන්න ආවා. ඉතින් එතැනදි කරුණු කාරණා තේරුම් කරලා වෙන්වෙන්න ගිය මේ පවුල නැවත එක්කාසු කරන්න මට පුළුවන් වුණා. ඉතින් මේ කතාවෙන් මට මතු කරන්න කරුණු කිහිපයක්ම තියෙනවා.

සැමියා සහ බිරිඳ අතර දැඩි සබඳතාවක්, බැඳීමක් තියෙන්න ඕනේ කියන එක මම හැමදාම කියන දෙයක්. හැබැයි ඒත් එක්කම දෙන්නා දෙන්නෙක් කියන එකත් අමතක කරන්න එපා.

හැම මනුස්සයෙක්ටම පෞද්ගලික නිදහස කියලා දෙයක් තියෙනවා. තමන්ගේ සැමියාට බිරිඳට වුණත් ඒක අදාළයි. කසාද බැන්දා කියලා ෆෝන් එකෙයි, ෆේස්බුක් එකෙයි පාස්වර්ඩ් මාරු කරගන්න ඕනේ කියලා නීතියක් නෑ. සමහරු මේ දේවල් නිසාම පවුල් ප්‍රශ්න ඇති කර ගන්නවා.

දවසක් මගේ ළඟට බිරිඳක් ආවා ඇයට තිබුණ ගැටලුව සැමියා ඇය අකැමැති නෑදෑමිත්‍රාදීන් ඔහුගේ ෆේස්බුක් මිතුරන් ලෙස තියාගෙන ඉන්න එක. ඉතින් හිතන්න මේ වගේ දේවල් නිසා පවුල් ප්‍රශ්න ඇති කරගන්න එකම බොළඳකමක් නෙමෙයිද? විවාහය ඇතුළේ මීට වඩා ටිකක් පරිණත වෙන්න. මෙහෙම හිතන කෙනෙක් දවසක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙලා දරුවන්ට හරි උපදෙසක් දෙන්නේ කොහොමද?

අනිත් කාරණාව සැමියාට බිරිඳට දුරකථනයට උත්තර දෙන්න පුළුවන් සහ බැරි වෙලාවල් ගැන තේරුම් ගන්න කියන එක. මම මේ කියන්නේ බඳින්න කලින් පැය ගාණක් මල් කඩලා බැන්දට පස්සේ ඒවා අතඇරලා දාන්න කියලා එහෙම නෙමේ. විවාහයෙන් පස්සේ ඔයා කෑවද, බිව්වද කියලා කෝල් එකක් දීලා අහන්න අමතක කළොත් දෙන්නා අතරේ ආදරේ අඩු වෙන්න පුළුවන්. ඉතින් පුළුවන් නම් දුරකථනයෙන් කතා කරන්න විනාඩි දහයක පහළොවක පොඩි වෙලාවක් වෙන් කරගන්න.

හැබැයි සමහර බිරින්දෑවරු ඉන්නවා ගෙදරට කැර​පොත්තෙක් ආවත් වහලේ උඩින් කපුටෙක් පියාඹලා ගියත් මහා හදිස්සියක් වගේ ඒක කෝල් කරලා කාර්යාලයේ ඉන්න සැමියාට කියනවා. එදිනෙදා ජීවිතේ වෙන පුංචිම දේ පවා සැමියා එක්ක කියන්න කාන්තාවෝ හරි කැමැතියි. ඒක ඔවුන්ගේ විද්‍යාත්මක ගතිසොබාවය. හැබැයි ඒ දේවල්වලටත් වෙලාව හරියට කළමනාකරණය කරගන්න කාන්තාවන් දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැතිව අනවශ්‍ය විදිහට නිතර කෝල් ගන්න ගියොත් අවශ්‍ය මොහොතකටත් සැමියාව සම්බන්ධ කරගන්න ලැබෙන එකක් නැහැ. හරියට නයෝමිට වුණා වගේ.

ඊළඟ කාරණාව දුරකථන විනයක් නැතිකම. විවාහය ඇතුළේ විතරක් නෙමේ මෙව්වා සමාජයේ හැසිරෙද්දි පවා අපි දැනගන්න ඕන කාරණා. සමහර ස්වාමිපුරුෂයන් ඉන්නවා රින්ග්ස් එකෙන් දෙකෙන් බිරිඳ දුරකථනයට ප්‍රතිචාර දැක්වුවේ නැත්නම් ආයෙ අමතන්නේ සුද්ධ සිංහලෙන්. රැකියාවක් නොකරන බිරිඳක් වුණත් ගෙදර නිකන් ඉන්නේ නැහැනේ.

මම තව පොදු කාරණා ටිකකුත් කියන්නම්. මම දැකලා තියෙනවා සමහරු එක කෝල් එකක් මගඇරුණු හැටියේ ආයෙත් අරන් ‘ඇයි අනේ ආන්සර් කළේ නැත්තේ. මම කී පාරක් ගත්තද?’ කියලා අහනවා. කිසිම කෙනෙක්ගෙන් එහෙම අහන්න යන්න එපා. එහෙම අහන්න අයිතියකුත් නෑ. කෙනෙක් දුරකථන ඇමතුමක් ගන්න වෙලාවෙම ඒකට ප්‍රතිචාර දක්වන්න අනිත් පාර්ශ්වය බැඳිලා නැහැ. අනික තමයි කෙනෙක්ට එක දිගට දෙපාරකට වඩා කෝල් කරන්නත් එපා. මොකද කෙනෙක් දුරකථනයට ප්‍රතිචාර නොදක්වන්නේ ඒ මොහොතේ ඔහුට ඒක කරන්න බැරි නිසානේ.

තව සමහරුන්ට තියෙන කැත පුරුද්දක් තමයි කෝල් එකක් ගත්තම අනිත් කෙනා කාර්යබහුලද නැද්ද කියලා හිතන්නෙ නෑ. පැය ගාණක් ඔහේ කියවනවා. මේවා සාමාන්‍ය ජීවිතයේදී අපි හදාගන්න ඕන වැරදි.

ඒ වගේම තමයි තමන්ට එන හැම ප්‍රශ්නයක්ම ෆේස්බුක් එකේ පළ කරන්න යන්නත් එපා. කෙනෙක්ට වරදිනකල් හිනාවෙන්න මිනිස්සු කීයක් බලාගෙන ඉන්නවද? අනික කාන්තාවන්ගේ දුක අහන මුවාවෙන් පවුල් කඩාඉහිරවන්න බලාගෙන දුක්ගන්නාරාළලත් ඕන තරම් ඔය සමාජ මාධ්‍යවල ඉන්නවා.

අවසාන වශයෙන් මෙතැනදි තව කාරණයක් කියන්න ඕනේ. තමන්ගේ සැමියාගේ/බිරිඳගේ විශ්වාසය රැකගන්න අනිත් පාර්ශවයත් දැනගන්න ඕන. සමහරු ඉන්නවා තමන්ගේ සහකාරයට ෆෝන් එක අල්ලන්න දෙන්නෙ නෑ. කෝල් එකක් ආව හැටියේ ෆෝන් එකත් උස්සගෙන වෙන තැනකට දුවනවා. ඒ වගේ දේවල් කරද්දි අනිත් මනුස්සයට සැක හිතෙන එකේ පුදුමයක් නැහැනේ. ඉතින් ඕන වෙලාවක සැමියාගේ බිරිඳගේ අතට දෙනන් පුළුවන් විදිහට දුරකථනය පාවිච්චි කරන්න. හෘද සාක්ෂියට එකඟව ආදරණීය බිරිඳගේ සැමියාගේ විශ්වාසය රැකගන්න කියන එක තමයි අවසානෙදි කියන්න ඕනේ.

සෙව්වන්දි හෙට්ටිආරචිචි

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා  රත්නා පුෂ්ප කුමාරි