දික්කසාද වූ දෙමාපියන්ට හුණුවටේ නාට්‍යය රඟදැක්වීම තහනම්!
‘‘මාධවී ඇත්තද ඔයාලා ඩිවෝස් වෙන්න හදනවා කියන්නේ?’’ සංජනා ඇහුවේ කාර්යාලයේ හැමෝම ඉස්සරහ.
‘‘ඔව්.’’ මාධවී උත්තර දුන්නේ තනි වචනයෙන්.
‘‘අනේ මාධවී ඔයාලා ඔයාලගේ ප්‍රශ්න කතා කරලා විසඳගන්න ට්‍රයි කළේ නැද්ද? ඔහොම එකපාරටම වෙන් වෙන්න තීරණය කරපු එක හොඳ නැහැනේ. හදිසියේ ගන්න තීරණ ගොඩක් වෙලාවට වැරදි.’’ සංජනා ආයෙමත් කිව්වා.
‘‘අනේ නැහැ සංජනා. එකපාරටම නෙවෙයි අපි මේ තීරණය ගත්තේ. අවුරුදු දෙක තුනක්ම හොඳට හිතලා.’’ මාධවී සැහැල්ලුවෙන් වගේ කියද්දි කීප දෙනෙක්ම මුහුණට මුහුණ බලාගත්තා.
‘‘දුක නැද්ද අනේ ඔයාට?’’ පසෙක හිටපු සෞම්‍යා කර කර හිටිය වැඩෙත් නවත්තලා ඇහුවා.
‘‘දුකයි කියලා මොනවා කරන්නද සෞම්‍යා එකට ඉන්න එක මීට වඩා දුකක් නම්?’’
‘‘අනේ මන්දා. ඔයා හිතුවේ නැද්ද මේක පුතාට කොහොම බලපායිද කියලා. පව් පොඩි එකා. අම්මලාගේ තාත්තලාගේ වැරදි නිසා දුක් විඳින්නේ පොඩි එවුන්.’’ සංජනාගේ ඒ කතාවට නම් මාධවී නිහඬ වුණා.
ඒ බව දැකපු සංජනාට දැනුනේ අමුතුම සතුටක්.
‘‘දරුවෙක්ට අම්මයි තාත්තයි දෙන්නම ඕනෙ. ඒ දරුවව ඔයාලා මේ ලෝකෙට ගෙනාවේ මෙහෙම අතරමග අතරමං කරන්නද?’’ සංජනා එකපාරටම කියපු දේ ගිලගත්තේ ඇයි කියලා බලන්න මාධවී වටපිට බැලුවා.
විසල්, මාධවීගේ සැමියා සංජනා දිහා බලාගෙන හිටියේ අප්‍රසාදයෙන්.
ඒත් ඔහු මාධවී දිහාවට ඇවිදගෙන ඇවිත් ඇය ඉදිරියේ වාඩි වුණා.
‘‘මාධවී, මගේ ට්‍රාන්ස්ෆර් එක බොහෝවිට හරි යාවි තව මාසයක් ඇතුළත.’’ විසල් කියද්දි මාධවී හිස සැලුවේ සෙමින්.
එකම තැන වැඩ කරන්න වීම නිසා ඇති වෙන අපහසුතාවය වළක්වා ගන්න ඕනෙ නිසා තමයි විසල් මාරුවීමක් ඉල්ලුවේ.
‘‘ඇත්තටම ඇයි විසල් ඔයාලා මෙහෙම තීරණයක් ගත්තේ? පුතා පව් නේද?’’ සංජනා ආයෙමත් කට ඇරියේ විසල් සහ මාධවී දිහා බලාගෙන.
‘‘සංජනා අපි ඒක අපේ දරුවට දැනෙන්න දෙන්නේ නැහැ. ඔයා ඒ ගැන කරදර වෙන්න එපා.’’ විසල් කිව්වේ අමනාපයෙන්.
‘‘දැනෙන්න දෙන්නේ නැහැ. ඒ මොන විකාර කතාවක්ද? එක ගෙදර හිටිය අම්මයි තාත්තයි වෙන්වෙද්දි දරුවෙක්ට ඒක නොදැනෙන්නේ කොහොමද?’’ සංජනා ඇහුවේ නොරිස්සුමෙන්.
‘‘නැහැ. අපි දරුවට වෙනසක් දැනෙන්න දෙන්නේ නැහැ. අපි මේ තත්ත්වය ගැන දරුවට පැහැදිලි කරලා ඉවරයි. අම්මටයි තාත්තටයි තවදුරටත් එකට ඉන්න බැරි බවත්, වෙන් වුණත් අපි දරුවට ඉස්සර වගේම ආදරේ කරන බවත් අපි පුතාට තේරුම් කරලා දුන්නා. නේද මාධවී?’’ විසල් අහද්දී මාධවීත් හිස වැනුවා.
‘‘ඒ වුණාට මම නම් කියන්නේ ඔයාලට තව හිතන්න තිබුණා.’’ සංජනා ආයෙමත් කිව්වා.
‘‘මේක අපේ ජීවිත ගැන අපි ගත්තු තීරණයක්. අවුරුදු ගාණක් ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරලා, කවුන්සලින්ග් ගිහිල්ලා, නොගැළපීම් ගලප ගන්න උත්සාහ කරලා අවසාන වශයෙන් ගත්තු තීරණය මේකයි. ඉතින් ඒ ගැන අහන්න, තව ඉවසලා බලන්න කියන්න, දරුවා ගැන හිතන්න කියන්න අනිත් අයට අයිතියක් නැහැ. මොකද අපේ ජීවිත ගැන තීරණ ගන්නේ අපි.’’ මාධවී කියද්දී සංජනා තරහෙන් අහක බලාගත්තා.
මාධවී එක්ක විසල් හැමදේම බොහොම පැහැදිලිව කතා කරගෙන තිබුණා.
දරුවා ඉස්සරහ දෙන්නට දෙන්නා තරහෙන් ඉද්දි, හිතේ නොරිස්සුම වචනවලින් පිට වෙද්දි, පොඩි දේටත් වාදවල පැටලෙද්දි වැඩියෙන්ම රිදෙන්නේ දරුවට කියලා ඒ දෙන්නා වටහාගෙන තිබුණා.
‘‘විසල් මේ අපි දෙන්නගෙම දරුවා. ඒ නිසා අපි වෙන් වුණාට පස්සේ මේ දරුවාව අපි දෙන්නා දෙපැත්තට අදින්න හොඳ නැහැ. මම කිසිම දවසක දරුවා එක්ක ඔයාගේ වැරදි කියන්නේ නැහැ. ඒ වගේම ඔයත් දරුවා එක්ක මගේ වැරදි කියන්න එපා. ඇත්තටම දරුවෙක්ට රිදෙන්නේ අම්මයි තාත්තයි වෙන් වෙන නිසාම නෙවෙයි. වෙන් වුණාට පස්සේ ගොඩක් අම්මලා තාත්තලා දරුවව දෙපැත්තට අදින නිසයි දරුවන්ට රිදෙන්නේ.’’ මාධවී කියද්දි විසල් ඒකට එකඟ වුණා.
‘‘ඒක ඇත්ත. සමහර පවුල් ඇතුළේ දරුවාව දෙමව්පියෝ දෙපැත්තට අදිනවා. අම්මා හිතන්නේ දරුවා තත්තට ආදරේ වුණොත් ඒක අම්මට කරන වරදක් කියලා. තාත්තා හිතන්නේ දරුවා අම්මාට ආදරේ වුණොත් ඒක තාත්තට කරන වරදක් කියලා. අපි කවදාවත් ඒ වරද නොකර ඉමු. අපි දෙන්නා වෙන් වුණත් දරුවට වෙනදා වගේම ආදරේ කරමු. දරුවගේ ආදරේ අපි එක වගේ බෙදාගමු. එක්කෙනෙක්ට විතරක් ආදරය කරන්න කියලා දරුවට බල කරන එක දරුවෙක්ට ලොකු වේදනාවක්.’’
‘‘ඔව්. දරුවගේ ජීවිතේ වැදගත් අවස්ථාවලදී අපි දෙන්නම එකතු වෙමු. අපි දෙන්නා වෙන්වෙන්නේ අපි දෙන්නගේ නොගැළපීම් නිසා විතරයි. ඒක අපි දරුවට කරන වරදක් නෙවෙයි. ඊට වඩා වරදක් අපි අකමැත්තෙන් එකට ඉඳගෙන දරුවට පේන්න රණ්ඩු කරන එක. දරුවෙක්ට රණ්ඩු කරන දෙමව්පියෝ දෙන්නෙක්ට වඩා වටින්නේ දෙපැත්තේ හිටියත් වෙනදා වගේම ආදරේ කරන අම්මෙක්, තාත්තෙක්.’’ මාධවී කිව්වේ හිතේ සැහැල්ලුවෙන්.
සමාධි ඩයස්