විශේෂාංග

උප්පැන්න සහතිකේට නම විතරක් දෙන්නම් මට නම් ළමයි වදන්නත් බෑ… හදන්නත් බෑ…

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

නාමල් දිනක් මා හමුවට පැමිණියේ ඔහුගේ බිරිඳ නිසා ඔහු මුහුණ දී සිටිනා බලවත් ගැටළුවකට විසඳුම් සෙවීමටය.

කාරණය කුමක් වුවත් විවාහ වූ දෙදෙනෙකු අතර ගැටළුවක් නිරාකරණය කිරීමට එක් අයෙකුට පමණක් උපදේශන ලබාදිය නොහැකි බැවින් බිරිඳත් සමඟ පැමිණෙන මෙන් මම නාමල්ට යෝජනා කළෙමි.

මා පැවසූ පරිදිම පසු දිනයේදී බිරිඳ ඉනෝකා ද කැටුව ඔහු මා හමුවට පැමිණියේය.

‘‘අනිත් හැම මනුස්සයෙක්ම වගේ අනාගතේ ගැන දහසකුත් බලාපොරොත්තු තියාගෙන තමයි මමත් කසාදයක් කරගත්තේ. ඒත් මෙයා මට ලොකු වංචාවක් කළා මිස්.’’

නාමල් වචන ගැලපූයේ වේදනාත්මක ස්වරයකින්ය.

‘‘මේ මිනිහා බොරු කියන්නේ. මම මෙයාට කිසිම වංචාවක් කරලා නැහැ.’’

ඒ විගසම ඉනෝකා ද ​ආවේගයෙන් පැවසුවාය.

වාදය පසෙකලා සිදුවූ දෙය පවසන ලෙස මම නාමල්ට පැවසුවෙමි.

‘‘මෙයාව මට මුණගැහුනේ කැම්පස් එකේදි. අවුරුදු හතරක් විතර ආදරේ කරලා තමයි අපි කසාද බැන්දේ. දැන් අපි බැඳලත් අවුරුදු පහක් විතර වෙනවා.’’

විවාහ වී වසර පහක් පමණ ගතවූවත් ඉනෝකා දරුවෙකු සැදීමට අකමැති බව නාමල් කියයි.

‘‘මම කොහොමත් දරුවන්ට කැමති කෙනෙක්. මම හිතුවෙ මෙයත් එහෙමයි කියලා. යාළුවෙලා ඉන්න කාලෙදි අපි ළමයි දෙන්නෙක් හදමු කියලා කතා වුණා. මෙයා වැඩිපුරම ආස දුවලට නිසා මුලින්ම දුවෙක් හදමු කියලත් මෙයා කිව්වා. කොටින්ම දරුවන්ට දාන නම් පවා අපි කතා කරගෙනයි තිබුණේ.’’

විවාහයෙන් වසර දෙකකට පමණ පසු දරුවන් සැදීමට තමා කැමති බව විවාහයට පෙරම ඉනෝකා නාමල්ට පවසා තිබිණි.

‘‘අවුරුද්දක් දෙකක් නිදහස් ජීවිතයක් ගත කරනකොට අපි දෙන්නට දෙන්නාව හොඳට තේරුම් ගන්නත් පුළුවන් නිසා මෙයාගේ ඉල්ලීමට මමත් කැමති වුණා.’’

නමුත් තවත් වසර කිහිපයක් ගතවෙද්දීත් ඉනෝකා ‘අද නොවේ හෙටයි’ යනුවෙන් පවසමින් තමා මුලා කළ බව නාමල් කියයි.

‘‘දැන් මෙයා දරුවෙක් හදන්න බැහැ කියනවා. ඒ නිසා මගේ අම්මා දැන් මට මෙයාව දික්කසාද කරන්න කියලා බල කරනවා. ඒත් මට මෙයා නැතුව ඉන්න බැහැ.’’

නාමල් සිටින්නේ ඉතා අසරණ තත්ත්වයක බව වටහාගැනීමට මට අපහසු නොවීය.

‘‘මගේම පොඩි එකෙක් මට තාත්තාකියලා කතා කරනවා අහන්න මම ආසයි. මාත් මනුස්සයෙක්නේ.’’

නාමල් එසේ පැවසූ විගස මෙතෙක් වෙලා නිහඬව සිටි ඉනෝකා ඇගේ නිදොස් බව වෙනුවෙන් ඇගේ හඬ අවදි කළාය.

‘‘අනේළමයින්ගේ ජරාව අතගාන්නයි, ඒ මත්තෙම නැහෙන්නයි මට නම් බැහැ. කොටින්ම කිව්වොත් අනිත් ගෑනු වගේ ළමයි කරගහගෙන ඩෙඟා නටන්න මට බැහැ. තමුසෙට තාත්තා කියලා අහගන්නනේ ඕනේ. ඉතින් ඒකටත් මම විසඳුමක් දුන්නනේ.’’

ඉනෝකා ලබාදුන්නා යැයි පවසන විසඳුම කුමක්දැයි මම නාමල්ගෙන් විමසීමි.

‘‘මේ ගෑනි මහ ජරා ගෑනියෙක් මිස්. ‘තමුසෙට ඕනෙ නම් වෙන ගෑනියෙක්ගෙන් ළමයෙක් හදාගනින්කියලා මෙයා මට නිතරම කියනවා. මට වෙන ගෑනුන්ගෙන් ළමයි ඕනෙ නම් මම මෙයාව බඳින්නේ නැහැනේ.’’

ඉනෝකාගේ පුදුමසහගත යෝජනාව ඇසූ මම ද මොහොතකට ගල් ගැසුණි.

‘‘ඉතින් ඒ ළමයගෙ උප්පැන්නෙටත් මගේ නම දෙන්නම් කියලා මම කිව්වනේ.’’

ඉනෝකා වැඩි ගානක් නැතිවම කීවාය.

‘‘මෙයා මට කියනවා කොහෙන්හරි ගෑනියෙක් හොයාගෙන ලොකු ගානක් දීලා ළමයෙක් හදාගන්නලු. පස්සේ ඒ ළමයව ගෙදරට ගෙනැල්ලා බලාගන්න ස්ර්වන්ට් කෙනෙක්වත් ගේන්නලු. වෙන මිනිහෙක් නම් මේ කියන කතා නිකන් අහගෙන ඉඳීද?’’

විවාහ වීමට පෙර දරුවන් සැදීමට කැමති බව පවසා විවාහ වූ පසු දරුවන් සැදීම ප්‍රතික්ෂේප කරනා නිසා ඉනෝකා තමාට වංචාවක් සිදුකළ බව නාමල්ගේ මතයයි. දැනට ඉනෝකාව දික්කසාද කිරීමේ සිතක් නාමල්ට නොමැති වුවත් ඉදිරියේදී මේ පවුල දෙකඩ වී යාමට ඉඩ තිබෙන බව මට වැටහුණි.

ඉ​නෝකාගේ අසාමාන්‍ය ගති සොබාවය යටපත් කර දරුවෙකු සැදීමට ඇයව එකඟ කරවා ගැනීම ඉතා භාරදූර කටයුත්තක් විය. කෙසේ වුවත් උපදේශන සහ යම් යම් චිකිත්සක වාර කිහිපයකින් ඇයව ඒ සඳහා කැමති කරවා ගැනීමටත් ඇයව ආදරණීය බිරිඳක් බවට පත් කරගැනීමටත් මම සමත් වීමි.

ඉන් මාස හයකට පමණ පසු මට දුරකතන ඇමතුමක් ලබාදුන් නාමල් ඔහු පියෙකු වීමට යන බව පැවසූයේ ප්‍රීති ප්‍රමෝදයෙන් ඉපිලෙමිනි.

තම පරපුර ඉදිරියට ගෙන යාම, මවක සහ පියෙකු වීමේ ආශාව වැනි ඉතා මානුෂීය හේතු කාරණා රැසක් මත පදනම්ව විවාහක දෙපළක් දරුවන් සැදීම ඉතා සාමාන්‍ය කරුණකි. විවාහයට පෙර දරුවන් සැදීමට එකඟතාවය පළකර පසුව එය ප්‍රතික්ෂේප කිරීම වංචාසහගත ක්‍රියාවක් බව පැවසීමේ වරදක් නැත. එවැනි පටු අරමුණු සහිතව විවාහයකට ඇතුළුවීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ විසඳීමට අපහසු සංකීර්ණ පවුල් ආරවුල් නිර්මාණය වීමයි.

නමුත් දරුවන් සැදීමට අකමැති අයෙකුට දරුවන් සැදීමට බල කිරීම සුදුසු නැති බව මම සිතමි. ඒ නිසා විවාහයෙන් පසු දරුවන් ලැබීමට අදහස් නොකර යුවතියක නම් විවාහ වීමට පෙර ඒ පිළිබඳව ඉතා විවෘතව තම සහකරුවා සමඟ සාකච්ඡා කර යම් සම්මුතියකට එළැඹිය යුතුය. එසේ සම්මුතියකට එළැඹීමට අපහසු නම් ඔබේ සිතුම් පැතුම් ඇති අයෙකු සමඟ විවාහ වීම වඩා හොඳ යැයි මම යෝජනා කරමි. එසේ නොමැතිව විවාහයෙන් පසු ප්‍රතිපත්ති වෙනස් කිරීමට යාමෙන් ඔබේ සැමියා, ඔබ පමණක් නොව දෙපාර්ශ්වයෙන්ම මාපිය වැඩිහිටියන් පවා අපහසුතාවයට පත්වීම වළක්වාලිය නොහැකි බව ඉනෝකාගේ මේ කතාවෙන් වටහාගත යුතුය.

එසේම සැමියාට වෙනත් කාන්තාවකගෙන් දරුවෙකු ලබාගැනීමට යැයි පවසා ඉතා සංකීර්ණ ගැටළු රැසකට අතවැනීම ඉනෝකාගේ මා දුටු තවත් දුර්වලතාවයක්ය. සැමියා මෙවැනි දේ සැබෑ ලෙසම ක්‍රියාවට නංවා අග මුලක් ලෙහාගත නොහැකි පැටලිලි ඇතිවූ තැනදී ඒ දෙස බලා හීල්ලීමෙන් ඵලක් නැත.

එපමණක් නොව බිරිඳකගේ මෙවැනි හැසිරීම් නිසා සැමියා වෙනත් සබඳතා ඇති කරගත් පසු ඒවාට දොස් කීමට යාමේ ඵල ප්‍රයෝජනයක් නොවන බවත් සිහි තබාගත යුතුයි.

එසේම ප්‍රසව වේදනාව පිළිබඳව ඇති කරගන්නා අනියත බිය හේතුවෙන් හෝ වෙනත් හේතු සාධක මතත් මව් පදවිය ප්‍රතික්ෂේප කරනා යුවතියන් මේ සමාජයේ දුලබ නැත. බිරිඳ දරුවන් සැදීම ප්‍රතික්ෂේප කළ පමණින් කසාදය කටුගා දැමීමට උත්සාහ නොකර තම බිරිඳ අදාළ උපදේශන හෝ ප්‍රතිකාර වෙත යොමු කිරීම ආදරණීය සැමියෙකුගේ වගකීම බවත් අවසාන වශයෙන් සටහන් කළ යුතුය.

සෙව්වන්දි හෙට්ටිආරච්චි