විශේෂාංග

මොළය මියගියත් නිවුන් දරුවන් වැදූ බ්‍රසීලයේ අම්මා

ෆ්රෑන්ක්ලීන් ඩා සිල්වා සැම්පෝලි කියන්නේ බ්‍රසීලියානු ජාතික කාන්තාවක්. විවාහයෙන් පස්සේ ඇයට ඉක්මණින්ම ඕනේ වුණේ දරුවෙක්ගේ මූණ බලන්න. කොයි අම්මද ආස නැත්තේ තමන්ගේ කුසෙන් වදාපු දරුවෙක්ගේ මූණක් බලන්න. ෆ්රෑන්ක්ලීන්ටත් ඒ ආසාව මහා ඉහළින් තිබුණා. ඇය හැමදාම දෙවියන් අදහද්දි කිව්වේ ‘‘අනේ මාව ඉක්මණින් අම්මා කෙනෙක් කරන්න’’ කියලා. අහිංසක තරුණියකගේ ඒ අහිංසක ප්‍රාර්ථනාව ඉටුකරන්න දෙවියොත් දෙපාරක් හිතුවේ නෑ. ඇය නොදන්නවට ඒ වෙනකොටත් ඇගේ කුසේ දරුවෙක් වැඩෙමින් හිටියා.

කාලයත් එක්ක ඇයට සිරුරේ ලොකු වෙනසක් දැනෙන්න ගත්තා. ඒ නිසයි ඇය සැමියාත් එක්ක පහුවදාම රෝහලට ගියේ. ඇය හිතුවෙම ඇයට මොකක් හරි අසනීපයක් කියලයි. ඒත් ඇයව පරීක්ෂා කරපු වෛද්‍යවරයාගේ මුවඟට ආවේ නම් ටිකක් අමුතුපහේ හිනාවක්. ෆ්රෑන්ක්ලීන්ට නම් ඒ හිනාව වැඩිය ඇල්ලුවේ නෑ. කොහොම හරි ඇය දිහා වගේම ඇගේ සැමියා දිහාත් බලපු වෛද්‍යවරයා එකපාරටම කියපු කතාවෙන් ඇයට ආවේ කියාගන්න බැරි අහිංසක සතුටක්.

‘‘දරුවෝ ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නේ. දැන් ඉතින් ඉස්සරහට ටිකක් පරිස්සම් වෙන්න වෙයි.’’

වෛද්‍යවරු මවක් වෙන්න යන ෆ්රෑන්ක්ලීන්ට කිව්වේ එහෙමයි. එදා ඇය රෝහලෙන් පිටවෙන වෙලාවේ ඉඳන් දැක්කේ සුබ සිහින. දරුවට කිරි දෙන හැටි, දරුවා ආදරෙන් තුරුලු කරගන්න හැටි, දරුවට කවන පොවන හැටි ඇය ඇස් පියාගෙන වින්දා. හැබැයි ටික කාලයක් ගතවෙද්දි ඇයට ආයෙමත් අමාරු වුණා. ඒ නිසා ඇයට ආයෙමත් රෝහලට යන්නටයි සිද්ධවුණේ. එදා ෆ්රෑන්ක්ලීන් පරීක්ෂා කරපු වෛද්‍යවරයා ඇය දෙස බැලුවේ වෙනස්ම විදිහට. ඒ බැල්මට නම් ඇයත් ටිකක් බයවුණා.

‘‘දරුවෝ මාර වැඩේ….’’

‘‘අනේ ඇයි ඩොක්ටර් මගේ දරුවට මොකක් හරි කරදරයක්ද?’’

‘‘එහෙම දෙයක් නෙවෙයි.’’

‘‘එහෙනම්?’’

‘‘ඔයාගේ බඩේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා.’’

වෛද්‍යවරයා එහෙම කියද්දි ඇයට ඉහිලුම් නැතුව ගියා. ඇයට කොච්චර සතුටු හිතුණද කිව්වොත් ඉන්නේ රෝහලේ කියලා අමතක වෙලා කෑ ගැස්සුනා. කිසිම අම්මෙකුට දරුවෝ දෙන්නෙක් වැඩි නෑ. ඇයට ඒ වෙලාවේ හිතුනේ එහෙමයි.

තත්පර විනාඩි වුණා. විනාඩි පැය වුණා. පැය දවස් වුණා. දවස් සති වුණා. ඔය අතරෙයි ඇයට එකපාරටම අමාරු වුණේ. ඒත් ඒ අමාරුකම් වෙනදට වැඩිය සෑහෙන්න වෙනස්. ඉතින් ෆ්රෑන්ක්ලීන්ට නොසෑහෙන්න බය හිතුණා. අමාරුකම් දරාගෙන කීපදවසක් හිටියත් ඇයට තවත් නම් ඉන්න පුළුවන් වුණේ නෑ. ඇය සැමියත් එක්ක තුන්වෙනි වතාවටත් රෝහලට ගියේ ඒ හින්දයි. ඒ වෙනකොට ඇගේ කුසට හරියටම සති නවයයි.

ඒ උදාවෙලා තිබුණේ ෆ්රෑන්ක්ලීන්ගේ ජීවිතේ අවාසනාවන්තම දවස. වෛද්‍යවරුන් වෙනදටත් වඩා දිගින් දිගටම ඇය පරීක්ෂා කරද්දි ඇගේ හිත ගැස්සිලා කඩන් වැටුනු වාර අනන්තයි. කොච්චර හිත හයිය කරන් හිටියත් ෆ්රෑන්ක්ලීන්ගේ ඇහැට උනපු කඳුළු ඒ ඇස් අග්ගිස්සෙන් ගලාගෙන ගියා. ඇය ඒ කඳුළු අස්සෙන් දැක්කා වෛද්‍යවරයාගේ මූණත් අඳුරුවෙලා තිබුණු හැටි. ඒත් ඒ තමන්ට කඳුළු අස්සෙන් ඔහුව පෙනුණු හැටි කියලා ඇය හිත හදාගන්න අහිංසක උත්සාහයක යෙදුනා. ඇයගේ මූණට වෛද්‍යවරයා කිසිවක් එදා නොකිව්වට ඇගේ සැමියට හැමදෙයක්ම කියන්න ඔහු පසුබට වුණේ නෑ.

‘‘ඔබේ බිරිඳ පැඩිල්හා මස්තිෂ්ක රක්තපාතය කියන රෝගය නිසා මොළය මියයාමේ අවාසනාවන්ත ඉරණමට ගොදුරුවෙලා ඉන්නේ. ඇයව බේරගන්න ටිකක් අමාරුයි. ඒත් අපි ඇයව බේරගන්න ගොඩාක් උත්සාහ කරනවා. බය නොවී ඉන්න. ඇයට මේ ගැන කිසිවක් කියන්න එපා. ඒක එයාගේ මානසිකත්වයට බලපායි.’’

වෛද්‍යවරුන් සැමියට කිව්වේ එහෙමයි. ඒ වෙනකොටත් ෆ්රෑන්ක්ලීන් දින එකසිය විසි තුනක් වයසැති තමන්ගේ ආදරණීය දරුවන් දෙදෙනා එක්ක ජීවිතයත් මරණයත් අතර සටනකයි හිටියේ. ඇගේ මොළය මියගියත් රෝහල් වෛද්‍යවරුන්ගේ අදහස වුණේ ඇගේ අනෙක් ශරීර අවයව හොඳින් ක්‍රියාත්මක වෙන නිසා ඇයට දරුවන් දෙදෙනා නීරෝගීව මේ ලෝකයට බිහිකරන්න හැකියාව ලැබෙයි කියලයි. ඒත් වෛද්‍යවරුන්ට තිබුණෙත් විශ්වාසයක්ම විතරයි.

මේ වෙනකොට ෆ්රෑන්ක්ලීන්ගේ මොළය සම්පූර්ණයෙන්ම මියගිහිල්ලයි තිබුණේ. ඒ නිසා ආයෙත් ඇයට ජීවිතය දෙන්න තරම් වෛද්‍යවරුන්ට කිසිම හැකියාවක් තිබුණේ නෑ. ඒත් කුසේ ඉන්න දරු දෙන්නා බේරගන්න වෛද්‍යවරුන් ලොකු මහන්සියක් ගත්තා. අවසානේ නොමේරූ ළදරුවන් විදිහටයි ඒ පුංචි පැටව් දෙන්නා මේ ලෝකයට උපත ලැබුවේ. එක් දරුවෙක්ගේ උපත් බර වුණේ කිලෝග්‍රෑම් 1.4යි. ඇයට නම තැබු‍ණ් ‘ඇනා විටෝරියා’ කියලා. ‘අසාෆ්’ විදිහට නම් තැබුණු දරුවගේ උපත් බර වුණේ කිලෝග්‍රෑම් 1.3යි. හැබැයි අවාසනාව කියන්නේ ඒ වෙනකොටත් දරු සුරතල් බලන්න ආසාවෙන් දින ගැන ගැන හිටපු ෆ්රෑන්ක්ලීන් තමන්ට නොලැබුණු ජීවිතය තමන්ගේ පැටවුන්ට දායාද කරලා සදහටම ඇස් පියාගෙන තිබුණා. ඒ මොළය මියගියත් දරුවන් වදා සදහටම දෑස් පියාගත් අම්මෙක් විදිහට.

‘‘මට මගේ දුව අහිමිවීම දරාගන්න හරි අමාරුයි. ඒත් මං ඇය ගැන ගොඩාක් ආඩම්බර වෙනවා. ඇය අවසානය දක්වාම වීරවරියක්, රණශූරියක් විදිහට ජීවිතේ එක්ක සටන් කරලා ලස්සන නිවුන් දරුවෝ දෙන්නෙක් මෙලොවට බිහිකෙරුවා. ඇය ඒ දරුවන්ට මැරෙන්න නොදී ජීවිතේ දුන්නා. ඉතින් මට මගේ දුව ගැන ආඩම්බරයක් දැනෙනවා.’’

කඳුළු පිරි දෙනෙතින් එහෙම කියන්නේ ෆ්රෑන්ක්ලීන්ගේ අම්මා. දරුවෙක් හිනාවෙද්දි වගේම දරුවෙක් අඬද්දිත් ඇස් තෙත්වෙන එකම කෙනා අම්මා කියන එක පුදුමයක් නෙවෙයි. දරුවෙක් හිනාවෙද්දි අම්මා අඬන්නේ සතුටට. දරුවෙක් අඬද්දි අම්මා අඬන්නේ දුකට. අම්මලා එහෙමයි. අන්න ඒකයි අම්මගේ ආදරේ කොන්දේසි විරහිතයි කියලා කියන්නේ. ඉතින් දරුවෙක් ලැබෙන්න දෙවියන් ඉදිරියේ හැමදාම ප්‍රාර්ථනා කරපු ෆ්රෑන්ක්ලීන් අදටත් ජීවත්වුණා නම් ඇයත් ඒ කොන්දේසි විරහිත ආදරේ අර පුංචි උන් දෙන්නට දෙන්න තිබුණා. ඒත් දෙවියන්ටත් කොතැනකදි හරි ඇයව මගහැරුණා.

රුවන් එස්.සෙනවිරත්න