GAME ගහන කථිකාචාර්යවරිය ලාරා
සමහරු ස්මාර්ට් ෆෝන් එක අතේ තියාගෙන ගේම් ගහනවා. තවත් සමහරු පරිගණකය ඉස්සරහ ඉඳගෙන ගේම් ගහනවා. හැබැයි රට්ටු නම් කියන්නේ මේ ගේම් ගැහිල්ලට ඇබ්බැහි වුණොත් ආයෙ ගැළවෙනවා බොරු කියලා. කොහොමින් කොහොම හරි මේ වීඩියෝ ගේම් ගැන බොහෝදෙනා නොසරුප් ස්වරයෙන් කතා කරන මොහොතකයි ඇය පිළිබඳ කතාබහ කරළියට එන්නේ. ඇය තමයි මේඛලා උපමාලි. හැබැයි ගොඩක් අය ඇයව හඳුනන්නේ ඒ නමින් නෙවෙයි. ‘ලාරා’ කිව්වම තමයි බොහෝදෙනෙක් ඇයව දන්නේ. ඒ නිසා ලාරගේ ප්‍රසිද්ධිය පිටුපස සැඟවුණු මේඛලාගේ අප්‍රසිද්ධ කතාව ගැන ඇගෙන්ම අහලා දැනගන්න අපි හිතුවා. ඇයට තියෙන්නේ ගේම් අස්සේ ගේමක් ගහපු ආදර්ශමත් ජීවිත කතාවක්. ඒ නිසාම තමයි අද ඇගේ සිනහවකින්ම ‘ධරණී’ කවරයත් හැඩවෙන්නේ.
‘‘මං ඉපදුණේ අනුරාධපුරේ. අපේ ගෙදර ගෑනු ළමයිම තුන්දෙනෙක්. ඒ වෙනකොට තාත්තා රැකියාව කළේ යුද හමුදාවේ. අම්මා ගුරුවරියක්. පුංචි කාලේ ගමේ ඉස්කෝලෙට ගියත් පස්සේ උසස් පෙළ වෙනකල් අනුරාධපුරේ මධ්‍ය විද්‍යාලයට ගියා.’’
මේඛලාගේ තාත්තා යුද හමුදා නිලධාරියෙක් කිව්වම අපට හිතෙන්නේ ඇය ටිකක් තද නීති එක්ක ජීවත්වෙන්න වුණු ගෑනු ළමයෙක් කියලා. එතකොට ඇගේ අම්මා ගුරුවරියක් කිව්වම අපට හිතෙන්නේ මේඛලාට පොතෙන් එහා ලෝකයක් නොතිබුණු ගෑනු ළමයෙක් කියලා. ඒත් එහෙම පවුල් පරිසරයක හැදුණු මේ පුංචි කෙල්ලව තටු කපපු කිරිල්ලියක් විදිහට කූඩුවක දාලා හිරකරන්න නම් මේඛලාගේ අම්මටයි තාත්තටයි ඕනකමක් තිබිලා නෑ.
‘‘ඒ වෙනකොට මට අවුරුදු හත අටක් ඇති. ඔය කාලේ තාත්තා අපිට පොඩි ඩෙල් මැෂින් එකක් ගෙනැත් දීලා තිබුණා. අපිට කිව්වට ඒක වැඩිපුරම පාවිච්චි කළේ මම. ඔය කාලේ ඉස්කෝලේ ළමයි පන්තියේදි එහෙම වීඩියෝ ගේම් ගැන කතා කරනවා. ඒ නිසාමද කොහෙද මටත් ගේම් ගහන්න ආසාවක් ආවා. අම්මා ගුරුවරියක් නිසා ඒකට වැඩිය කැමති වුණේ නෑ. ඒත් තාත්තා මට ගේම් සීඩී ගෙනැත් දුන්නා. ඉතින් දිගට හරහට පිස්සුවෙන් වගේ ඒ කාලේ මං වීඩියෝ ගේම්ස් ගැහුවා.’’
දිගින් දිගටම වීඩියෝ ගේම් ගහන තමන්ගේ පොඩි එකී ගැන මොන අම්මට තාත්තටද බයක් ඇති නොවෙන්නේ? එහෙම බයක් පුංචි මේඛලාගේ දෙමව්පියන්ටත් ආවා. ඔවුන් ගොඩාක් බයවුණේ ඇය අධ්‍යාපනය කඩාකප්පල් කරගනීදෝ කියලා. හැබැයි ඒ වෙද්දිත් අපේ කතානායිකාව ගේම් ගැහිල්ල වගේම අධ්‍යාපන කටයුතුත් ඉතාම සමබරව කරගෙන යමින් තිබුණා. ඒ හරහා තමන්ගේ අනාගතය ගැන තම දෙමාපියන්ට කිසිඳු මොහොතක කිසිඳු බියක් නොදැනෙන්නටයි ඇය දිගින් දිගටම කටයුතු කළේ.
‘‘ඔය විදිහට යද්දි තමයි ශිෂ්‍යත්ව විභාගය ලියන්න තිබුණේ. ඒ කාලෙත් කළේ ගේම් ගහපු එක. හැබැයි අතරින් පතර පාඩම් කරන එකත් කළා. අන්තිමේ ශිෂ්‍යත්වය පාස්වුණා. අම්මා තමයි මටත් වඩා සතුටුවුණේ. මොකද එයාට බයක් තිබුණා ගේම් හින්දා මං ශිෂ්‍යත්වය අවුල් කරගනියි කියලා. ඒත් වාසනාවට එහෙම වුණේ නෑ. ඉස්කෝලේ හතේ අටේ පන්තිවලදි මං බාහිර වැඩ හැමදෙයක්ම කළා. කිව්වට විශ්වාස කරන එකකුත් නෑ මං හය හත අට පන්තිවලදි පිට පිටම අවුරුදු තුනක් සිංහල භාෂා සාහිත්‍ය තරඟවලින් සමස්ත ලංකා ජයග්‍රහණ පවා ලබාගත්තා. ජාතික මට්ටමෙන් පළවෙනියත් වුණා. ඒ නිසාම මට කොළඹ දේවිබාලිකා විද්‍යාලයට හරි මියුසියස් විද්‍යාලයට හරි යන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒත් අම්මගේ තාත්තගේ රැකියා පසුබිමත් එක්ක ඒ අවස්ථාවන් ලබාගන්න පුළුවන් වුණේ නෑ.’’
ඊළඟට ඇයට පැමිණි ලොකුම අභියෝගය වුණේ සාමාන්‍ය පෙළ විභාගය. ඒක මේඛලා පිස්සුවෙන් වගේ වීඩියෝ ගේම් ගහපු කාලයක්. ඒත් ඒ ඇයට ගේම් ගැන තිබුණු නොසෑහෙන ආසාවට මිසක් ඇබ්බැහියකට නම් නෙවෙයි. ඒ නිසා අධ්‍යාපනයයි ආසාවයි දෙකම සමබර කරගෙන ඉස්සරහට යන්න ඇයට එච්චර අමාරුවුණේ නම් නෑ.
‘‘කොච්චර ගේම් එක්ක හිටියත් මං සාමාන්‍ය පෙළ හොඳට පාස්වුණා. ඒ කාලේ ආසාවෙන් ගැහුවේ IGI, HITMAN, GTA, AVATAR, PRINCE OF PERSIA වගේ ගේම්ස්. උසස් පෙළ ළංවෙනකොට දෙකම ගාණට බැලන්ස් කළා. ඒ නිසා පළවෙනි සැරෙන්ම උසස් පෙළත් පාස්වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වුණා. අන්න එදා තමයි අම්මා තේරුම් ගත්තේ මං ගේම් ගැහුවත් ඉගෙනගන්න වැඩේ හරියටම කළා කියලා.’’
විශ්වවිද්‍යාල ජීවිතේ ඇතුළේ තමයි මේඛලාගේ ගේම් ජීවිතේ ලොකුම හැරවුම සිද්ධවෙන්නේ. ඇය ඒ කාලේ Video Gaming ගැන ඉතා පුළුල් අධ්‍යයනයක යෙදෙනවා. මේඛලා වෙනුවට ඇයට ‘ලාරා’ කියන නම වැටෙන්නෙත් එහි ප්‍රතිඵලයක් විදිහට. මොකද ඇයට උවමනා වෙනවා ගේම් තුළින් ඉදිරියට යන්න නම් ඊට ගැළපෙන නමක් භාවිතා කරන්න. ඒ නිසයි ඇය ගේම් එකකම ඇය දැක්ක චරිතයක් වන ‘ලාරා’ කියන නම ඊට යොදාගන්නේ. ඒ වගේමයි ඇය විශ්වවිද්‍යාලයේ අන්තිම නිබන්ධනේට පවා කරන්නේ Video Gaming කියන එක අධ්‍යාපන මෙවලමක් විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියලා.
‘‘මං කැම්පස් එක ඇතුළට යද්දි ගියේ ආසාවට ගේම් ගහපු මේඛලා නමින් වුණාට ඊට අවුරුදු හතරකට පස්සේ කැම්පස් එකෙන් එළියට එන්නේ Video Gaming අංශයෙන් සුදුසුකම් වැඩිපුරම හදාගත්ත ලංකාවේ එකම ගෑනු ළමයා වෙන ලාරා විදිහට. ඒ නිකන්ම නෙවෙයි දෙවෙනි පෙළ සමාර්ථයක් එක්ක විද්‍යාවේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගෞරව උපාධියකුත් අරගෙන.’’
අවුරුදු හත අටේ ඉඳන් වීඩියෝ ගේම් ගහපු අදටත් ගේම් ගහන ලාරා දැන් තාවකාලිකව රජයේ විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණය (IT) පිළිබඳ කථිකාචාර්යවරියක් විදිහට කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි, දැනට ඔන්ලයින් වීඩියෝ ගේම් ගහන ලංකාවේ එකම කථිකාචාර්යවරියත් ඇය විතරයි.
‘‘ගේම් කියන්නේ පහත් ක්‍රීඩාවක් නෙවෙයි. සමහරු හිතන් ඉන්නවා වැඩක් නැති මිනිස්සු තමයි ගේම් ගහන්නේ කියලා. ඇත්තටම කිව්වොත් පිටරටවල වෛද්‍යවරු, ඉංජිනේරුවෝ පවා වීඩියෝ ගේම්ස් ගහනවා. මං ලයිව් ගේම් ගහනවා බලන්න මහාචාර්යවරු, ඉංජිනේරුවෝ, ගුරුවරු පවා එනවා. දවසක් මං එක ඉන්ටව්ව් එකකට ගිය වෙලාවේ එක්තරා මහාචාර්යවරයෙක් මාව දැකලා ඇහුවා ‘මේ ගේම් ගහන ලාරා නේද?’ කියලා. එදා මට මාර සතුටක් දැනුණා. ඒත් වීඩියෝ ගේම් ගහන සමහරක් අයගේ වැඩ නිසා දැන් ඒ ගැන සමාජයේ තියෙන්නේ නරක චිත්‍රයක්.’’
ඇත්තටම ලංකාවේ වීඩියෝ ගේම් ගැන තියෙන්නේ එච්චර හොඳ චිත්‍රයක් නෙවෙයි. ඒත් ලාරගේ ජීවිත කතාව දිහා බැලුවම එක දෙයක් පැහැදිලියි. ඒ ආසාවට ගේම් ගහන එකයි ඇබ්බැහිවෙලා ගේම් ගහන එකයි කියන්නේ දෙකක්. ඇය කියන විදිහට අදටත් ඇයට තියෙන්නේ වීඩියෝ ගේම් ගැන ආසාවක් මිසක් ඇබ්බැහියක් නෙවෙයි. අන්න ඒ නිසයි ඇයට පුළුවන් වුණේ වීඩියෝ ගේම් නිසා ජීවිතේ මඟ නොඇරගෙන කථිකාචාරියක් වනතෙක් මේ ගමන එන්න.
‘‘මම විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් සහතික තුන්සීයකට කිට්ටුව අරන් තියෙනවා. මං වගේ හැමදේම ස්වයං වාරණයක් එක්ක සමබරව කරාගෙන යනවා නම් Video Gaming තුළින් කිසිම ප්‍රශ්නයක් නෑ. මං මෙහෙම කියද්දි කෙනෙක්ට චෝදනා කරන්න පුළුවන් ගේම් ගැහුවම ඒකට ඇබ්බැහි වෙනවනේ කියලා. ඒකට උත්තරේ වෙන්නේ ඒක ගේම්වලටම පොදු කතාවක් නෙවෙයි. අපි හිතමු රෑ 8.00ට ටීවී එකේ කතාවක් යනවා කියලා. ඒක දිගින් දිගටම බලද්දි අපි ඒකට ඇබ්බැහි වෙනවා. හැබැයි හැමදේම සමබරව කරගෙන යන කෙනාට පුළුවන් 8.30ට කතාව ඉවරවුණාම ගිහින් පාඩම් කරන්න. ඇබ්බැහිය කියන එක හැමදේටම පොදුයි.’’
අද වෙනකොට ෆේස්බුක් වගේම යූටියුබ් හරහා ඔන්ලයින් වීඩියෝ ගේම් ගහන අය ඕනතරම් දකින්න පුළුවන්. ඒත් ඒ අතරින් බොහෝදෙනෙක් ඒක කරන්නේ මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන්. ඔබ ෆේස්බුක් හෝ යූටියුබ් අවකාශය තුළ ලයිව් වීඩියෝ ගේම් එකක් බැලුවොත් එවැනි අවස්ථාවල ඔවුන් ඔබෙන් තරු ඉල්ලාවි. ඒකට Video Gaming තුළදි කියන්නේ ‘ඩොනේෂන් ස්ටාර්’ කියලා. ඒ තරු අරගන්න ඔවුන් බොහෝ දෑ කරාවි. එතැනදි ඔබ ලබාදෙන තරුයි මුදල් ලෙස ඔවුන් අතට යන්නේ.
‘‘මුල් කාලේ Video Gaming එක්ක හිටියේ ටික දෙනයි. හැබැයි ගේම්වලින් සල්ලි හොයන්න පුළුවන් වෙනකොට සල්ලි හම්බකරන අරමුණෙන් ඒකට ගොඩාක් අය ආවා. සල්ලි බලාගෙන ගේම්වලට ආවම ඇත්තටම ඒකට ආදරේ කරන අයට තැන නැතිවෙනවා. ඒකට හේතුව අර අය සල්ලි බලාගෙන ඇඟ පෙන්නගෙන වල්පල් කියවගෙන ඩොනේෂන් ස්ටාර් ගන්නවා. ඒක බලන අය ගේම් ගහන හැමෝම දිහා බලන්නේ වැරදි ඇහැකින්. දැන් සල්ලි බලාගෙන ඇවිත් ගේම්ගහලා මාසෙට ලක්ෂ ගණන් හොයන අය ඉන්නවා. ඒත් අපි ගේම් ගහන්නේ ආසාවට. අපට සල්ලි ලැබුණත් එකයි නැතත් එකයි. නිකන් හරි ඩොනේෂන්වලින් සල්ලි ලැබෙන එක නැති කළොත් අපි වගේ ආසාවට ගේම් ගහන අය ඉතුරුවෙලා අනික් අය හැමෝම මේක දමලා ගහලා යයි.’’
කවුරු මොනවා කිව්වත් වීඩියෝ ගේම් ගැන අපේ රටේ ඇඳිලා තියෙන නරක චිත්‍රය දැන් මකන්න අමාරුයි. ඒත් ලාරට ඕන ඒ චිත්‍රය මකන්න. ඒ ඇයගේ ජීවිත කතාව ඇසුරෙන්.
‘‘ගේම් එකක් තියෙනවා ‘මාෆියා’ කියලා. ඒ නම අහපු ගමන්ම කෙනෙක්ගේ ඔලුවට එන්නේ නිකන් රස්තියාදු චිත්‍රයක්. හැබැයි ඒ ගේම් එකේ අන්තිමට තේරුම්ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි ධනය බලය කොච්චර තිබුණත් පවුලේ අය තරම් ඒ කිසිවක් වටින්නේ නෑ කියලා. ගොඩාක් ගේම්ස්වලින් ඒ වගේ ඔලුවට ගන්න දේවල් තියෙනවා. ඉංග්‍රීසි වචනයක්වත් නොදන්න අය පවා ගේම්ස් ගහද්දි ඒකට හුරුවෙලා වචන කීපයක් ඉගෙනගන්නවා. ලෝකයේ විද්‍යාඥයින් කියනවා ගේම් ගහන ළමයින්ට නිවැරදි තීරණ ගන්න හැකියාව, ජය පරාජය දරාගැනීමේ හැකියාව, වෙනස් විදිහට සිතීමේ හැකියාව වැඩියි කියලා. ඊළඟට මනස නිරවුල් කරගන්න පවා ගේම්වලින් පුළුවන්. මං ගේම් ගහද්දි මගේ දෙමව්පියෝ නිතරම ඒ ගැන අවධානෙන් හිටියේ. ඒත් දැන් දෙමව්පියන්ට දරුවෝ ගැන එහෙම හොයන්න වෙලාවක් නෑ. මං නම් කියන්නේ ගේම් ගැහුවට කමක් නෑ. ඒත් ඒක ජීවිතේ අනික් දේවල්වලට බාධාවක් කරගන්න එපා. ආසාවට ගේම් ගහන්න. ඒත් ඇබ්බැහියක් කරගන්න එපා.’’
රුවන් එස්.සෙනවිරත්න