Latest News

ලංකාවේ ඇඟළුම් කර්මාන්තයට ජර්මනියේ නීතිය කෙසේ බලපායිද?

ජර්මනියට සිදුකරන ආයෝජන සඳහා නව මානව හිමිකම් නීතියක් ලබන වසරේ සිට බලපැවැත්වෙන බව එරට රජය ප්‍රකාශ කරනවා.

ඒ අනුව එය බොහෝවිට ජර්මනියේ සැපයුම්දාම ක්‍රියාවලියට සම්බන්ධ කුඩා පරිමාණයේ අපනයනකරුවන්ට අහිතකර ලෙස බලපානු ඇති බවයි වාර්තා වන්නේ.

එම නීතිය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට කෙසේ බලපෑම් ඇති කරයිද? යන්න පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලාංකික ඒකාබද්ධ ඇඟලුම් කර්මාන්ත සම්මේලනයේ ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස් මහතා,

“ලබන ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන ජර්මනියේ සැපයුම්දාම නීතිය මගින් එරටට සැපයුම් කරන සමාගම් නිසි ප්‍රමිතීන්ට අනුව කටයුතු කරනවාද යන්න දැඩිව සොයා බලනවා. මෙම නීතිය හේතුවෙන් ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට ජර්මනියේ පාරිභෝගිකයින්ට තහවුරු කළ යුතු වනවා, තමන් දැඩි අවදානම් විශ්ලේෂණ ක්‍රියාවලියක නිරත වන බව. ඒ සඳහා ලිඛිත සාධක සහ අනෙකුත් සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි. මෙය විශේෂයින් කුඩා පරිමාණ සමාගම්වලට දැඩි අභියෝගයක් විය හැකියි. ඔවුන් ඇතැම්විට එම නීතිවලට අනුකූලව කටයුතු කළත් ජර්මානු බලධාරීන් සැබැවින්ම අපේක්ෂා කරන්නේ කුමක්ද කියා අප දන්නේ නැහැ.නමුත් මහා පරිමාණ සමාගම් ඒ සඳහා දැනටමත් ශක්තිමත් ක්‍රියාවලියක් පවත්වාගෙන යනවා.”