නව ලේබල ගෑස් සිලින්ඩර වලින් ද පිපිරීම් වාර්තා වෙයි
ගෑස් සමාගම්වලින් නව ලේබලය යටතේ නිකුත් කරන ලද ගෑස් සිලින්ඩරවලින්ද පිපිරීමේ සිදුවීම් වාර්තා වී ඇති අතර මේ පිළිබඳ අදහස් දක්වමින් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ, වාර්තාවන පිපිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.
ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුවීම හැකි ඉක්මනින් නැවැත්වීම රජයේ අරමුණ බව රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.
ප්‍රශ්නය – හඟුරන්කෙතින් වාර්තාවෙනවා අලුත්ම ගෑස් සිලින්ඩරය පුපුරාගොස් තියෙනවා කියලා.
“ඒ පිළිබඳව වාර්තාවෙලා තිබෙනවා. ඒ පිළිබඳ අවසන් පරීක්ෂණයෙන් බලාගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ මේ ගෑස් සම්බන්ධ සිද්ධීන් පිළිබඳ මුලින් ආපු පණිවුඩ පස්සේ වෙනස් වුණ බොහෝ අවස්ථා තිබෙනවා. එවැනි සිද්ධීන් වාර්තා වෙනවා. පස්සේ පරීක්ෂා කරලා බැලුවහම තියෙන දේට වඩා වෙනස් දෙයක් තමා සිද්ධවෙලා තියෙන්නේ. කෙසේ හෝ සිද්ධියක් වෙලා තිබෙනවා. ඒ පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබාගෙන දැනුවත් කිරීමක් කරනවා. මේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්නයට නිගමනයක් තමා කරලා තියෙන්නේ. සංයුතිය වෙනස් වීම නිසා තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ. ඒ අනුව දැන් ඒ සංයුතිය 30 – 70 ට ආපු ඒවා විතරයි වෙළෙඳපොළට නිකුත් කරලා තියෙන්නේ. එවැනි තත්ත්වයක් තුළත් යම් දෙයක් සිද්ධවෙනවා නම් දීර්ඝ විමර්ශනයක් කළ යුතුව තිබෙනවා. දැනට අනාවරණය වු කරුණු අනුව විසඳුම් ලබාදීලා තියෙනවා.”
මේ අතර තවත් ගෑස් රැගත් නෞකාවක් අද(10) දිනයේ මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා.
මෙහිදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ, නිලධාරීන් විසින් පරීක්ෂණ සඳහා ගෑස් නියැඳි ලබාගෙන එහි වාර්තා ලැබීමෙන් පසු පමණක් ගෑස් ගබඩා කිරීමට අවසර ලබාදෙන්න ද යන්න තීරණය කරන බවයි.