Latest News

ගෑස් සිලින්ඩරය පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණිය මරුට

නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි විවාහක තරුණියක් ඊයේ (25) සවස මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, පොළොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි බී.ජී. අයේශා කුමුදුනි යන තරුණියයි.

පසුගිය (13) වැනිදා ඇය නිවසේ මුළුතැන් ගෙයි තිබූ ගෑස් උදුන දැල්වීම්ට යෑමේදී එය දැල් වී නොමැති හේතුවෙන් ගිනිකූරක් මගින් දැල්වීමට උත්සාහ දැරීමත් සමග ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

මෙම සිදුවීම වන විට නිවසේ වෙනත් කිසිවකුත් නොසිට ඇති අතර අසල්වාසීන් පැමිණ ගෑස් ලිපෙන් මුළුතැන්ගෙයි පුරා නැඟුණු ගිනි නිවා අදාළ තරුණිය වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධව නිවැසියන් විසින් සිදුකළ පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු අවසන් කර මෘත දේහය පවුලේ ඥාතීන් වෙත භාරදුන් බව පොලිසිය සඳහන් කළා.

මෑතක දී ගන්නා ලද සිලින්ඩරයක් පුපුරා තම දියණියට මෙම අවාසනාවන්ත මරණය සිදු වූ බවත් මේ පිළිබඳ අදාළ බලධාරීන්ගේ විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙසත් මියගිය තරුණියගේ පියා විසින් ඉල්ලීමක් ද කර තිබෙනවා.

මෙලෙස මියගිය තරුණියගේ අවසන් කටයුතු අද (26) පැළෑටියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.