අපි ඉගෙනගන්න ඕන සල්ලි වියදම් කරන විදිය මිසක් හම්බකරන විදිය නෙවෙයි
ලැස්ලෝ හැන්යෙක්ස් ඇමරිකානු ජාතිකයෙක්. 2010දී ඔහු සතුව තිබුණු බිට්කොයින් (ඩිජිටල් මුදල්) 10,000ක් දීලා පිට්සා දෙකක් අරගන්නවා. බිට්කොයින්වලින් සැබෑ ලෝකෙදි ගණුදෙනුවක් කරපු පළමු කෙනා විදියට ලැස්ලෝ ලෝකෙ පුරා ප්‍රසිද්ධ වෙනවා. ඉතින් ඒ දවස්වල ලැස්ලොට හරි සන්තෝසයි.
ඒ කාලේ ඩිජිටල් සල්ලිවලට ලොකු වටිනාකමක් තිබුණේ නැතුවට පස්සේ බිට්කොයින්ස්වල වටිනාකම එන්න එන්න වැඩිවුණා. අද බිට්කොයින් 10,000ක වටිනාකම කෝටි 2,260යි. ඉතින් අර බිට්කොයින්වලින් පීසා දෙකක් කාපු ලැස්ලෝ දැන් ඒ ගැන හිත හිතා සෑහෙන දුකින් කල් ගෙවනවා කියලයි ආරංචිය.
කිහිපවතාවක්ම ලෝකෙ ධනවත්ම පුද්ගලයා වෙච්චි වොරන් බෆට් 1960දී ඩිස්නි සමාගමෙන් ඩොලර් ලක්ෂ හතරක කොටස් මිලදී ගන්නවා. පස්සේ තවත් අවුරුදු දෙකකින් ඔහු ඒ කොටස් ඩොලර් ලක්ෂ හයකට විකුණනවා. හැබැයි අද ඒ කොටස්වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන අටකට වැඩියි. ඉතින් එදා කරපු ඒ ගණුදෙනුව ගැන සතුටු නැහැයි කියලයි අද වොරන් බෆට් කියන්නේ.
මේ කතා දෙකෙන්ම ගන්න තියෙන දේ නිවැරැදි තැනදි නිවැරැදි තීරණ ගත්තේ නැත්තම් පස්සේ පසුතැවෙන්න වෙනවා කියන එකයි. ව්‍යාපාරයක සාර්ථකත්වය විතරක් නෙමෙයි පෞද්ගලික ජීවිතේ සාර්ථකත්වය පවා රැඳිලා තියෙන්නේ හරි වෙලාවෙදි අපි ගන්න හරි තීරණය නිසා කියලා අපිත් එක්ක කිව්වේ අද කවරය හැඩකරන සොඳුරු යුවතියයි. ව්‍යාපාරයේත් ඇගේත් සාර්ථකත්වයට හේතුවුණු එවැනි තීරණ ගැනත් අපිත් එක්ක කතා කරපු ඇය ගයංසා නෙතුශලී.
දශක හතරකට එහා ඉතිහාසයක් තියෙන ලංකාවේ අංක එකේ ස්වර්ණාභරණ ව්‍යාපාරයක් වෙන ශ්‍රී කාන්ත ජුවලර්ස් පුද්ගලික සමාගමේ අලෙවි අධ්‍යක්ෂිකාව ඇයයි.
“මගේ තාත්තා කේ.ඒ. සුනිමල්. තාත්තා ව්‍යාපාරික පසුබිමක් තිබුණු පවුලක කෙනෙක් නෙමෙයි. තරුණ කාලෙදි ඔහුට ව්‍යාපාරයක් කරන්න ඕනේ කියලා හිතිලා 1977දී තමයි ඔහු මේ ව්‍යාපාරය පටන් අරගෙන තියෙන්නේ. මුලදි පොඩියට පටන්ගත්තු ව්‍යාපාරය අඩියෙන් අඩිය ඉස්සරහට ගේන්න තාත්තා ගොඩක් කැපකිරීම් කළා. ඉතින් මේ වෙනකොට අපේ ආයතනයේ ශාඛා අටක් තියෙනවා.”
ගයංසා ඇගේ පවුලේ බාලයා. ඇයට අක්කලා හතරදෙනෙකුයි අයියා කෙනෙකුයි ඉන්නවලු.
“පොඩි කාලේ ඉඳලා අපි හැදුනේ මේ ව්‍යාපාරයත් එක්කමයි. ඉස්කෝලේ නිවාඩු කාලෙට අම්මලා අපිව බ්‍රාන්ච්වලට එක්කරගෙන යනවා. එතකොට රත්තරං බඩු විකුණන හැටි, ඒවා අසුරණ හැටි, බිල් ලියන හැටි සේරම අපි බලාගෙන ඉන්නවා.”
තාත්තාගේ වැඩකටයුතු ගැන ඒ විදියට බලාගෙන හිටියට පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න පුංචි කාලේදි ගයංසට අදහසක් තිබිලා නෑ.
“තාත්තගේ බිස්නස් එක නැතුව වෙනත් ව්‍යාපාරයක් පටන්ගන්න තියෙනවානම් හොඳයි කියලයි පොඩි කාලෙදි හිතුවේ. තාත්තා ව්‍යාපාරය වෙනුවෙන් කරන කැපකිරීම් දැක්කහම ඒ තීරණය වෙනස් වුණා. මේ ව්‍යාපාරයම තවත් සාර්ථක කරගන්න ඕනේ කියලයි පස්සේ හිතුණේ.
මම ඉගෙනගත්තේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන්. උසස් පෙළින් පස්සෙ කැම්පස් සිලෙක්ට් වුණා. ඊටපස්සේ විශ්වවිද්‍යාල නායකයත්ව පුහුණුවට ගියා. හැබැයි ව්‍යාපාරික පැත්තෙන් ඉස්සරහට යන්න හිතන කෙනෙක්ට රජයේ විශ්වවිද්‍යලයකින් ගන්න පුළුවන් දේ අඩුයි කියලා එතැනදි මට හිතුණා. ඒ නිසා ඒ තීරණය අතෑරලා පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ව්‍යාපාරය අංශයෙන් උපාධිය කළා.”
එදා ගත්තු ඒ තීරණය නිවැරදි බව අද හොඳින්ම දැනෙනවා කියලයි ඇය කිව්වේ. උපාධිය සම්පූර්ණ කළාට පස්සේ ගයංසා ව්‍යාපාරයට සම්බන්ධ වෙලා. හැබැයි ඒත් ඒ සාමාන්‍ය සේවිකාවක් විදියට.
“තාත්තා මාව දාන්න හැදුවේ ඩිරෙක්ටර් පුටුවට. හැබැයි එහෙම එකපාර ඒ තැනට යන්න මට ඕන වුණේ නැහැ. ඒ නිසා මම පොඩිම තැනින් ජොබ් එක පටන්ගත්තා. ව්‍යාපාරයක් සාර්ථක කරගන්න නම් හැම පියවරකම වෙන දේවල් ගැන ව්‍යාපාරිකයට දැනුමක් තියෙන්න ඕනේ කියන එකයි මගේ අදහස.”
පහලම තනතුරේ ඉඳලා ඇය පියවරෙන් පියවර ඉස්සරහට එන ගමන් හැමදෙයක්ම ඉගෙනගත්තලු. ඊටපස්සේ තමයි ඇය ආයතනයේ අලෙවි අධ්‍යක්ෂිකාව විදියට වැඩ පටන් අරන් තියෙන්නේ.
“අයියයි මමයි එකතුවෙලා තමයි දැන් ව්‍යාපාරය කරගෙන යන්නේ. මම වැඩ කරන්න ගත්තට පස්සේ ගොඩක් අලුත් තීරණ ගත්තා. කොවිඩ් කාලෙදි රත්තරංවලට ගෙවන්න ඕන පොලිය අඩුකළා. ඒ වගේම රත්තරංවලට අපි ලොකු මුදලක් දුන්නා. අඩු පොලියක් ගෙවන්න පුළුවන් නිසා බොහොම ඉක්මනට අපිට ලොකු පාරිභෝගික පිරිසක් හැදුණා.
ඒ වගේම රත්තරං ඩිසයින්ස් වුණත් කාලෙන් කාලෙට අලුත් වෙන්න ඕනේ. නිතරම ලෝකේ ෆැෂන්ස් ගැන හොයන්න ඕනේ. ඒවා කොපි නොකර අපිටම අනන්‍යතාවයක් හදාගන්න ඕනේ. ඒ දේවල්වලටත් මම සෑහෙන මහන්සි වෙනවා.’’
ආයතනයේ දියුණුව වෙනුවෙන් නිවැරදි මොහොතේ නිවැරදි තීරණ ගැනීම වෙනුවෙන් වගේම කෙටි කාලයක් තුළ විශාල පාරිභෝගික සංඛ්‍යාවක් එක්කාසු කරගැනීම වෙනුවෙන් 2022 ශ්‍රී ලංකාවේ හොඳම සියදෙනාගේ සම්මාන (Sri lankan top 100 award) උළෙලේදි ළාබාලතම අධ්‍යක්ෂිකාව කියන සම්මානය ඇයට ලැබුණා.
“මේ ක්ෂේත්‍රයේ ලොකු තරඟයක් තියෙනවා. ඉතින් ඒ තරඟය දිනන්න නම් ගොඩක් කැපකිරීම් කරන්න, මහන්සි වෙන්න ඕන. අනික සමහර ප්‍රශ්න නිසා අපි මානසිකව වැටුණු තැන් තිබුණා. එකක් තමයි විශ්වාසය කඩවීම. අපි විකුණන්නේ රත්තරං. ඉතින් අපේ ස්ටාෆ් එක ගොඩක් විශ්වාසවන්ත වෙන්න ඕනේ. හැබැයි ඒ විශ්වාසය කඩවෙලා ප්‍රශ්න ඇති වෙච්ච තැන් ඕනතරම් තිබුණා. හැබැයි ඒකටත් විසඳුමක් හොයාගන්න මට පුළුවන් වුණා. දැන් ආයතනයේ හැමදෙයක්ම ආරක්ෂිත විදියට සිද්ධවෙනවා.”
තාත්තාගේ ව්‍යාපාරය තිබ්බ තැනටත් වඩා ලොකු තැනට ගෙන්න ලැබුණු එක ගැන දියණියක් විදියට ඇය නිහතමානීව ආඩම්බර වෙන බව ඇගේ කතාවෙන් අපිට තේරුණා.
“සමහර තාත්තලා මහන්සි වෙලා දරුවන්ට ව්‍යාපාර හදලා දෙනවා. හැබැයි ඒ ව්‍යාපාර දියුණුවට ගෙනියනවා වෙනුවට ඒවා නැති නාස්ති කරන දරුවොත් ඉන්නවා. සමහරවිට ඒ තාත්තලා ඒ වෙනුවෙන් කරපු කැපකිරීම් ඒ දරුවන්ට දැනෙන්න ඇරලා නැතුව ඇති. හැබැයි අපේ තාත්තා එහෙම නැහැ. එයා මහන්සි වෙන හැටි එයා අපිට පෙන්නුවා.
තාත්තට හොඳට සල්ලි තියෙනවා කියලා පුංචි කාලෙදි අපි දැනන් හිටියේ නැහැ. එයා ඒක පෙන්නුවෙත් නෑ. තාත්තා පොළොවේ පය ගහලා ජීවත්වෙන ගමන් අපිටත් පොළොවේ පය ගහලා මිනිස්සු වගේ ජීවත්වෙන්න ඉගැන්නුවා. එයා අපිට දේවල් දුන්නෙ ඒ වටිනාකම් එක්ක. ඒ විශ්වාසය රකින එක අපේ වගකීමක් හැටියටයි මම නම් හිතන්නේ.“
‘මම නම් ශත පනහක් වැටුණත් බිමට නැවිලා ගන්නවා’ කියලා ලංකාවේ ලොකුම සල්ලිකාරයෙක් වෙන ධම්මික පෙරේරා මහත්තයා එකපාරක් කියලා තිබ්බා. ඒ වගේ මිනිස්සු සල්ලිවලට ලොකු වටිනාකමක් දුන්නට අද සමාජයේ ඉන්න ගොඩක්දෙනා සල්ලිවලට වටිනාකමක් දෙන්නේ නැහැ. තේරුමක් නැතිව අනවශ්‍ය දේට සල්ලි වියදම් කරලා පස්සේ පසුතැවෙනවා. ඒ ගැන ගයංසා කිව්වේ මෙහෙම කතාවක්.
“පුංචි කාලේ ඉඳලා අපේ ගෙදර ආර්ථික අඩුපාඩු තිබුණේ නැහැ. හැබැයි එහෙමයි කියලා තාත්තා මහන්සියෙන් හම්බකරපු සල්ලි අම්මා නිස්කාරණේ නාස්ති කළෙත් නැහැ. කවදවත් අපේ ගෙදර විසි කරන්න බත් උයලා නැහැ. ඒ තරම් අම්මා අරපිරිමැස්මයි. අම්මගේ ඒ පුරුද්ද අපේ පවුලේ හැමෝටම තියෙනවා.
අපි ඉගෙනගන්න ඕන හම්බකරන්න නෙමෙයි, වියදම් කරන්න. හිතන්නකෝ මාස ගාණක් මහන්සි වෙලා හම්බකරන සල්ලි එක දවසින් වියදම් කරලා දාන්න පුළුවන්නේ. ඉතින් කොච්චර හම්බකළත් වියදම් කරන්න දන්නේ නැත්තම් වැඩක් නැහැ. මම නම් බිස්නස් එකට වුණත් රුපියලක් අයින් කරන්නේ ඒකෙන් රුපියල් පහක් බලාපොරොත්තුවෙන්.”
අරපිරිමැස්මෙන් වැඩ කළාම ඒ අයට ලෝබ, කුම්මැහි වගේ නම් පටබැඳෙනවා නේද කියලා ඔය කතාව අතරේ මම ගයංසාගෙන් ඇහුවා.
“ලෝබකමයි අරපිරිමැස්මයි කියන්නේ දෙකක්. හරි තැන හරි දේට වියදම් කරන්න ඕනේ. ඒකත් හරියට අර හරි වෙලාවෙදි හරි තීරණ ගන්නවා වගේම තමයි. අතේ සල්ලි තියාගෙනත් අත්‍යවශ්‍යම දේකට වියදම් කරන්නේ නැත්තම් අන්න ඒකට තමයි ලෝබකම කියන්නේ. දැන් අපි ඉන්නේ ලොකු ආර්ථික ප්‍රශ්නෙකනේ. ඉතින් මම අනිත් අයට කියන්නේ පුළුවන් තරම් අරපිරිමැස්මෙන් වැඩ කරන්න. ඒ අරපිරිමැස්මට ලෝබකම කියලා වෙන කෙනෙක් කියනවා නම් ඒය එයාගෙ දුර්වලකමක්.”
ගයංසා කියන්නේ ගොඩක් කාර්යබහුල ව්‍යාපාරිකාවක්. ඉතින් ඇගේ වෘත්තීය ජීවිතයයි පෞද්ගලික ජීවිතයයි සමබර කරගන්නේ කොහොමද කියන එක ගැනයි ඊළඟට අපි කතා කළේ.
“මම වැඩ කරන්නේ සැලසුමක් ඇතිවයි. සතියේ දවස් පහ වෙන් කරලා තියෙන්නේ බිස්නස් වැඩවලට. සෙනසුරාදා ඉරිදා මම වෙනුවෙන් වෙන්කළා. වෘත්තීය ජීවිතේ ගැන හිතන ගමන් පෞද්ගලික සතුට ගැනත් හිතන්න ඕනේ. නැත්තම් ඒ දෙක සමබර කරගන්න අමාරු වෙනවා. ඒ නිසා මොන දේ කළත් තමන් වෙනුවෙන් කාලය වෙන් කරන්න කියලා මගේ ලිපිය කියවන අයටත් කියන්න කැමතියි.”
සෙව්වන්දි හෙට්ටිආරච්චි
ඡායාරූප – ක්‍රිෂාන් කාරියවසම්