මේ වෙලාවේ මේ ආණ්ඩුවට හැර සක්කරයටවත් රට ගොඩදාන්න බැහැ
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පසුගියදා සංස්කෘතික හා ප්‍රසංග කලා රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නාය. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ රට පත්ව ඇති අභියෝග ගැනත්, එවන් අවස්ථාවක ලැබුණු රාජ්‍ය අමාත්‍ය ධුරය ගැනත් ඇය හා කළ කතාබහක් ඇසුරින් මෙම ලිපිය සැකසේ.
ඔබ කාලයක් තිස්සේ අමාත්‍ය ධුරයක් ලැබෙනකල් බලා හිටියා. දැන් එය ලැබිලා. මොනවද ඒ ගැන හිතෙන්නේ?
ඇත්තටම මෙය කටු ඔටුන්නක් විතරයි. මේ ඇමතිකම දවසද දෙකද, මාස හයද, අවුරුද්දද කියන්න මම දන්නේ නැහැ. හැබැයි මට කළ හැකි දෙයක් තියෙනවා. ඒ වෙනුවෙන් මැරීගෙන වැඩ කරන්න මට පුළුවන්. සමහරු කියනවා ඇමතිකමකට අඬ අඬා හිටියා කියලා. ඔව් ඒක ඇත්ත. මොකද මට විතරයි ලැබෙන්න ඕන වුණත් ඇමතිකමක් නොලැබුණේ. මම මගේ ද්විත්ව පුරවැසිභාවය අයින් කරගත්තේ දේශපාලනයේ පෙරට තිබ්බ පය පස්සට ගන්න නෙවෙයි. මම වැඩ කරන්න කැමැතියි. ඒ මට පෞද්ගලිකව මුදල් උපයන්න නෙවෙයි. දේශපාලනයෙන් මට හම්බකරගන්න දෙයක් නැහැ. කලාව සම්බන්ධ අමාත්‍ය ධුරයක් ලැබුණට සතුටුයි.
ඒ වුණාට ඔබ ඇතුළු පිරිසට අමාත්‍ය ධුර ලැබුණේ මුදලට කියලත් චෝදනාවක් නැගුණා?
ඔව්. ඔය චෝදනාව පාර්ලිමේන්තුවේදී කළේ මගේ හිතවත් මන්ත්‍රීවරයෙක් වන නලින් බණ්ඩාර මහත්තයයි. ඩොලර් මිලියන දෙකක් දීලා කියලා ඔහු කිව්වා. ඒක පට්ටපල් බොරුවක්නේ. රටේ ඩොලර් නැති වෙලාවක එහෙම කතාවක් කිව්වේ ඇයි මල්ලි කියලා මම පස්සේ ඔහුගෙන් ඇහුවා. ඔහු හිනාවෙලා කිව්වා නිකමට කිව්වේ කියලා. ඇත්තම කිව්වොත් ඇමතිකමට දිවුරුම් දුන් වෙලාවේ ලැබුණු කේක් කෑල්ලයි, ප්ලේන්ටියයි හැර මුකුත් ලැබුණේ නැහැ. අපි එහෙම දේවල් බලාපොරොත්තු වුණෙත් නැහැ. මේ වෙලාවේ මේ වැටුණු වලෙන් රට ගොඩදාන්න පුළුවන්ද කියලා බලනවා ඇරෙන්න තව වෙන මොනවද? සමහරුන්ට වගේ මේ අභියෝගාත්මක මොහොතේ අහක බලන්න මට බැහැ. ඒක මනුස්මකම නෙවෙයි. වැටුණු තැනින් රට ගොඩදාන්න පුළුවනුත් මේ ආණ්ඩුවට විතරයි.
ඔබ එහෙම කිව්වට ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුවට ගෙදර යන්න කියලා නැගෙන විරෝධතා එන්න එන්නම වැඩිවෙනවා?
එහෙම ගෙදර යවලා මේ රට මේ තියෙන තැනිනුත් අගාධයට තල්ලුකර හරින්න පුළුවන්ද? කාටද ඊටපස්සේ රට බාරදෙන්නේ? තරුණ ප්‍රජාව, ප්රජාතන්ත්රවාදී විදියට තමන්ගේ අරමුණ පාර්ලිමේන්තුව තුළින් දිනාගැනීම හැර වෙන විකල්පයක් නැහැ. ඊට ඔවුන්ට ටික කලක් බලා ඉන්න වෙනවා.
ඒ වගේම ආණ්ඩුව උත්සාහ කරන්නේ මේ අර්බුදවලට කෙසේ හෝ විසඳුම් සොයන්නයි. ඒ අර්බුදයේ තරම හොඳින් දන්නේ ඔවුනුයි. මේ මොහොතේ ඊට විසඳුම් සෙවිය හැක්කේත් මේ ආණ්ඩුවට පමණයි.
අයි.එම්.එෆ්. එකේ සහාය ලබාගැනීමට අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ. රඹුක්කන සිදුවීම වැනි සිදුවීම් ඉතාම කණගාටුදායකයි. එවැනි දේ දැක්කම ජාත්‍යන්තරය අපේ රට ගැන ගන්න චිත්‍රය සුබවාදී නැහැ. ජනාධිපතිතුමා කියලා තියෙන්නේ සාමකාමීව විරෝධතා දක්වන්න අයිතිය ඕන අයෙකුට තියෙනවා කියලයි. සමහරුන්ට අවශ්‍ය රටේ බරපතළ තත්ත්වයන් නිර්මාණය කරලා, ඒවා ජාත්‍යන්තරයට යවලා අමාරුවෙන් ගොඩදාගන්න හදන ආර්ථිකය තවත් පොළොවට සමතලා කරලා දාන්නයි. මැති ඇමතිවරු හොරකම් කළා කියලා චෝදනා කරනවා. මම නම් කියන්නේ එහෙම චෝදනාවක් ආවොත්, ඒ ඇමතිවරයාව පහුවදාම ගෙදර යවන්න ඕන. එහෙම ප්රතිපත්තියකට එන්න ඕන. අද තරුණයෝ හඬ නගලා ඉල්ලන්නෙත් ඒකයි.
තරුණයෝ අද පාර්ලිමේන්තුවේ 225ටම ගේන්නේ එකම චෝදනාව. හැමෝටම හොරු කියලයි ඔවුන් කියන්නේ?
මම නම් මගේ වත්කම් බැරකම් පිළිබඳ වාර්තාවක් පසුගියදා කතානායකවරයාට දුන්නා. මේ ඇමතිකම් නිසා අයථා ලෙස රුපියලක්වත් උපයාගන්න මට ඕන නැහැ. අපි හරි විදියට වැඩ කළොත් අපායත් සුරලෝකයක් කරන්න පුළුවන්. මට දේශපාලනයේ වසර දහතුනක අත්දැකීම් තියෙනවා. ඇඟලුම් ආයතන කිහිපයක් බොහොම සාර්ථකව මම පරිපාලනය කළා. ආයතන පරිපාලනය ගැන දෙස් විදෙස් පුහුණුව ලැබුවා. මට ඕන මේ රට වැටිලා තියෙන තැනින් නැගිටිනවා දකින්නයි. චෝදනා ඇතත් නැතත් තමන්ගේ වත්කම් බැරකම් ගැන ප්‍රකාශයක් දෙන්න හැටෝමට පුළුවන් වෙන්න ඕන. හරි වැරදි හදන් අපි යමු.
හරි වැරදි හදාගෙන යනවා කිවවත්, එතකොට රට වැටෙන්න ඕන කණගාටුදායක තැනට වැටිලා. පොහොර ප්‍රශ්නයත් එවැන්නක්?
මම නම් එදත් කිව්වා. අදත් කියනවා. ගොවියට රසායනික පොහොර ටික ලබාදිය යුතුයි. ජනාධිපතිතුමාට කාබනික පොහොර ගැන විවිධ අය උපදෙස් දෙද්දිත් මම කිව්වේ සර් ඔය තීරණේ නම් ගන්න එපා කියලයි. දැන් හරි, ගොවියට පොහොර ටික ලබාදෙන තීරණයට ආ එක හොඳයි. මොකද බත් ටිකක් කන්න නැත්නම් කැඳ ටිකක් බීලා හරි ජීවත්වෙන්න අපට සහල් ටික තියෙන්න ඕන. ගොවියගේ දුක ගමේ ගොඩේ ඇවිදිද්දි මම හොඳින් දැක්කා.
මෙතැනදි ජනාධිපතිතුමාට විතරක් චෝදනා කරලා තේරුමක් නෑ. එහෙමනම් අමාත්‍ය මණ්ඩලයක් ඉන්නේ මොකටද? මහබැංකු අධිපති කෙනෙක් ඉන්නේ මොකටද? ඒ අයත් මේ රටේ කඩාවැටීමට සම්පූර්ණයෙන් වගකිව යුතුයි. දුෂ්කර තත්ත්වයක් එද්දි ඇඟ බේරාගැනීම නෙවෙයි වැදගත් වෙන්නේ.
ඇඟ බේරාගැනීම කියලා අදහස් කරන්නේ මොකක්ද?
රට ගිනි ගනිද්දි ඒ ගින්න තවත් අවුළුවන්න අපට බෑ. මටත් කිව්වා අපේම අය පාර්ලිමේන්තුවේ අපි ස්වාධීන වෙමු කියලා. මම කිව්වා නෑ එහෙම වෙන්න අවශ්‍ය නෑ කියලා. බැරූරුම් මොහොතේ අතහැරලා දාන එක නෙවෙයි වෙන්න ඕන අභියෝගයට මුහුණ දෙන එකයි. මේ වැටුණු තැනින් රට ගොඩදාන්න ශක්‍රයාටවත් බෑ මේ ආණ්ඩුවට හැර. කවුද ඉන්නේ රට බාරගන්න? එහෙම ඡායාවක්වත් පේනවානම් බය නැතුව අපිට රට බාර කරලා ගෙදර යන්න පුළුවන්. ආණ්ඩුවට තව ටික කාලයක් දෙන්න. මගේ රටේ ගෘහනියෝ ගෑස් ටික නැතුව, විදුලිය නැතුව විඳින දුක මටත් දැනෙනවා. මමත් කළුවරේ ඉන්නවා. මම මේ ඇමතිකම ගත්තෙත් මගේ සහෝදර කලාකරුවන් වෙනුවෙන් යමක් කරන්න.
ඒ කලාකරුවන්ගෙන් සෑහෙන පිරිසක් මේ වෙනකොට ඉන්නේ අරගල භූමියේ?
ඔව්. හැමදෙනාටම රටේ ප්‍රශ්න අඩු වැඩි ලෙස බලපානවා. කලාකරුවෝ කියලත් වෙනසක් නැහැ. සාමකාමීව අරගල කරන්න තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඔවුන්ටත් අයිතිය තියෙනවා. ඔවුන් දන්නවා, ගොල්ෆේස් එකේ අරගල කළාට ජනාධිපතිවරයා ඉවත් කරන්න බැහැ කියලා. ඊට පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් ලබාගත යුතුයි. එහෙම නැතුව මේ යාන්තමට හරි අල්ලගෙන ඉන්න ආර්ථිකය කඩාකප්පල්කාරී වැඩ කරලා පොළාවටම සමතලා කරලා දාන්න රට ගැන ආදරයක් තියෙන කාටවත් බැහැ.
දීපා වසන්ති එදිරිසිංහ