නවතම ප්‍රවෘත්ති

දවසක් රසිකයෙක් මල් පොකුරකුයි පිහියකුයි අරගෙන මාව මාව බලන්න ආවා – ගීත්මා බණ්ඩාර

උජ්ජලා පදුකෝන් කියන්නේ එවකට ඉන්දියාවේ බැංගලෝර්වල් හිටපු ප්‍රවාහන ඒජන්තවරියක්. ඇගේ සැමියා ප්‍රකාශ් පදුකෝන් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක්. ඔවුන්ගේ කුළුදුල් දරුවා ලැබුණේ 1986 ජනවාරි 05 වැනිදා. ඇය දියණියක්. තමන්ට ලැබිලා ඉන්නේ දියණියක් කියලා දැනගත් මොහොතේ පටන් උජ්ජලාගේ ලොකුම ආසාව වුණේ ඇයට හොඳට උගන්වලා අනාගතයේ දවසක ඉහළපෙළේ රැකියාවක් වෙත යොමු කරන එක. ඒ නිසා දියණිය නිසි වයසට ආවාම ඇයව බැංගලෝර්වල තිබුණු ප්‍රසිද්ධම පාසල වුණු ‘සොෆියා’ උසස් පාසලට ඇතුළත් කළා. උසස් අධ්‍යාපනය සඳහා ඇයව යොමුකළේ ‘මෞන්ටි කාමල්’ විශ්වවිද්‍යාලයට. හැබැයි මේ අම්මාගේ ආසාව මොකක් වුණත් දියණියගේ ආසාව වුණේ රංගන ශිල්පිනියක් විදියට ඉස්සරහට යන්න. ඒක නිසා ඇය මවට නොදන්වා හොර රහසේ නිරූපණ පන්තියකට යන්න පටන්ගත්තා. කාලයත් එක්ක උජ්ජලා දියණියගේ වැඩ දැනගත්තත් ඇය ඒ දේවල් නතර කරන්න උත්සාහ කළේ නෑ. කොහොමින්හරි වයස අවුරුදු 20දී උජ්ජලාගේ දියණියට ‘කන්නදා’ කියන දකුණු ඉන්දීය සිනමා නිර්මාණයේ රඟපාන්න වරම් ලැබුණා. ඒ කියන්නේ 2006දී. ඉතින් ඒ හරහා ලැබුණු ප්‍රසිද්ධියත් එක්ක ඊළඟ අවුරුද්දේ ඇයට බොලිවුඩ් සිනමා නිර්මාණයක් වන ‘ඕම් ශාන්ති ඕම්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළියට රඟපාන්න වරම් හිමිවුණා. ඇය චිත්‍රපටය වෙනුවෙන් කොයිතරම් සාධාරණයක් කළාද කිව්වොත් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ සම්මානයක් පවා ලැබුණා. ඇය අන්තිමේ නැවතුනේ බොලිවුඩ් සිනමාව තුළ ජනප්‍රිය නිළියක් බවට පත්වෙලා. මේ කියන උජ්ජලාගේ දෝණියැන්දා වෙනින් කවුරුවත් නෙවෙයි අපි හොඳින්ම දන්න කියන සුපිරි නිළි දීපිකා පදුකෝන්.

මවට තරමක් හිතුවක්කාර වෙලා බොලිවුඩයේ ජනප්‍රියම නිළියක් වෙච්ච දීපිකා පදුකෝන් ගැන කියලා මට මේ කතාව පටන්ගන්න හිතුණේ ඊළඟට මං කියන්න යන තරුණියගේ කතාවත් ඊට තරමක් දුරට සමාන නිසා. ඇගේ මවගේත් ලොකුම ආසාව වෙලා තියෙන්නේ ඇගේ එකම දියණිය හොඳට ඉගෙනගන රටේ ඉහළම තැනකට යනවා දකින එක. ඒ වෙනුවෙන් ඇය නොකරපු දෙයක් නෑ. ඒ වුණත් ඒ තරුණියගේ අරමුණ වුණේ කලා ක්ෂේත්‍රයට එන්න පාරක් හදාගන්න එක. අම්මා ඒකට අකමැති බව දන්න නිසාම මේ තරුණිය ඇයට හොර රහසේ එක්තරා රූපවාහිනී නාලිකාවක අවුරුදු කුමරිය තරඟයකට අයැදුම් කළා. ඊටපස්සේ පුංචි අම්මත් එක්ක තරඟෙටත් සහභාගී වුණා. වැඩේ කියන්නේ හොරෙන් ගියපු මේ තරඟයෙන් ඇය දෙවැනියා වුණා. ඒ හරහා ඇගේ සිහින සැබෑ වුණත් ඇයට ජනප්‍රිය නිළියක් වෙන්න ලැබුණේ ‘දෙරණ’ නාලිකාවේ ‘සංගීතේ’ ටෙලිනාට්‍යයේ ‘අසේනි’ කියන චරිතයෙන්. ඇය තමයි ගීත්මා බණ්ඩාර. අද ඇගේ හැඩැති රුවෙන් ‘ධරණී’ කවරය සරසන ගමන්ම ඇයත් එක්ක සොඳුරු කතාබහක යෙදෙන්නත් අපි අමතක කළේ නෑ. 

“මං 2018 අවුරුද්දේ අර අවුරුදු කුමරිය තරඟයේ දෙවැනි ස්ථානය දිනාගත්තට පස්සේ හුඟාක් නිර්මාණවලට ආරාධනා ආවා. මගේ පළවැනි ටෙලිනාට්‍යය තමයි හිරු නාලිකාවේ ‘අහස් මාලිගා’.දෙවැන්න සිරසේ ‘නීල පබළු’. හැබැයි මගේ හැරවුම් ලක්ෂය වුණේ දෙරණ නාලිකාවේ ‘සංගීතේ’ ටෙලිනාට්‍යය. මොකද කලින් ටෙලිනාට්‍ය දෙකේම රඟපාන්න ලැබුණේ මට සාමාන්‍ය චරිතවලට වුණත් සංගීතේ ටෙලිනාට්‍යයේ ලැබුණේ ප්‍රධාන චරිතය.”

ගීත්මාට එදා දෙරණ නාලිකාවෙන් මුලින්ම ආරාධනා කරලා තියෙන්නේ ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයට. ඒ ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියාට පස්සෙයි දෙරණ නාලිකාවේ විකාශනය වෙන්න නියමිතව තිබුණු ‘සංගීතේ’ කියන අලුත් ටෙලිනාට්‍යයේ ප්‍රධාන නිළිය විදියට ඇය තෝරගෙන තියෙන්නේ.

“එදා මට ‘සංගීතේ’ ප්‍රධාන නිළිය චරිතය ලැබුණම හුඟාක් සතුටු හිතුණා. මං හිතුවේ නෑ ඒක ලොකුවට ජනප්‍රිය වෙයි කියලා. ඒත් ටෙලිනාට්‍යය පටන් අරන් දවසෙන් ප්‍රේක්ෂකයෝ ඒක ආදරෙන් වැළඳගත්තා. ඒ හරහා ඉතින් මාවත් නොහිතපු විදියට ජනප්‍රිය වුණා.”

පුංචි කාලේ ඉස්කෝලේ ගුරුවරු අපෙන් අනාගත බලාපොරොත්තු ගැන ඇහුවම අපිට කියන්න මොකක්ම හරි බලාපොරොත්තුවක් තිබුණනේ. ඒ වුණත් ගීත්මාට නම් එහෙම එකක් තිබුණෙම නැතිලු. මොකද කාලෙන් කාලෙට ඇගේ අනාගත බලාපොරොත්තු අලුත්වෙලා. ඒ වුණත් ඒ අලුත්වීම් අස්සේ එක ආසාවක් හිතේ වෙනස් නොවී තිබුණලු. ඒ අවුරුදු කුමරිය තරඟයකට ඉදිරිපත් වෙන එක.

“මං ඉස්කෝලේ හතර පහේදි ගුරුවරු ඇහුවම කිව්වේ වෛද්‍යවරියක් වෙනවා කියලා. හයට හතට එද්දි හෙදියක් වෙන ආසාවක් ආවා. සාමාන්‍ය පෙළ ලියද්දි හිතුණා ගුරුවරියක් වෙන්න. හැබැයි ඒ වෙනස්වුණු බලාපොරොත්තු අස්සේ කිසි කාලෙක නිළියක් හිටියේ නෑ. හැබැයි මට අවුරුදු කුමරිය තරඟයකට ඉදිරිපත් වෙලා බලන්න හිතුණා. එතැනින් තමයි කලා ක්ෂේත්‍රයට එන්න පාරක් කැපුනේ.”

ගීත්මාගේ ගම හොරණ. මුලින් ගමේ පාසලෙන් අකුරු කළත් ද්විතියික අධ්‍යාපනය වෙනුවෙන් ඇය හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට ඇතුළත් වෙලා. පාසලේදි ඇය ඉගෙනගන්න දක්ෂ නිසා ගීත්මාගේ අම්මට ඕනවෙලා තිබුණේ දියණියව ඒ පැත්තෙන් ඉස්සරහට යවන්නලු. ඒ නිසා අවුරුදු කුමරිය තරඟයෙන් පස්සේ ඇය රංගනයට අඩිය තියන්න හදද්දි ඇයගේ අම්මා ඒකට එකහෙළාම විරුද්ධ වෙලා.

“මං ඉස්කෝලේ යන කාලේ සිංහල භාෂා තරඟ, චිත්‍ර තරඟ, නිවේදන තරඟ වගේ ඒවගෙන් සමස්ත ලංකා මට්ටම දක්වාම යනකල් ගිය කෙනෙක්. ඒ එක්ක පාසලේ ජනප්‍රිය ශිෂ්‍යාවක් වෙලා හිටියේ. අම්මා වුණත් හිතුවේ ඒ පැත්තෙන් මං ඉදිරියට යයි කියලා. ඒ නිසා රංගනයට එනකොට එයා විරුද්ධ වුණා. එදා අම්මට ටිකක් බය හිතෙන්න ඇති. මොකද මං පවුලේ එකම ගෑනු ළමයා. තාත්තත් නෑ. අනිත් දේ තමා කලා ක්ෂේත්‍රය ගෑනු ළමයෙක්ට ඉන්න හොඳ තැනක් නෙවෙයි කියලා සමාජයේ පැතිරිලා තියෙන කතාව. ඉතින් ඒ වගේ තැනකට අඩිය ගහන්න යද්දි අම්මට බය හිතෙන්න ඇති. ඒ බය සාධාරණයි. ඒ වුණත් මං එදා තනි කැමැත්තට රංගනය තෝරගත්තා. හැබැයි එයා පස්සේ තේරුම්ගත්තා මම ගත්ත තීරණය හරි කියලා.”

‘එක්තා ටයිගර්’ කියන්නේ ක්‍රියාදාම ලේබලයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වුණේ කත්‍රිනා කයිෆ්. චිත්‍රපටය තිරගතවුණු කාලයේ ඇගෙන් මාධ්‍යවේදියෙක් ඒ චිත්‍රපටයේ අමතක නොවුණු සිදුවීම් එහෙම වුණේ නැද්ද කියලා කත්‍රිනාගෙන් අහනවා. ඒ වෙලාවේ ඇය හිනාවෙලා හරි ලස්සන උත්තරයක් දෙනවා. ඒ නිළියකට සිය රංගන ජීවිතේ තුළ ඔය කියන විදියේ අමතක නොවන සිදුවීම් නොතිබුණොත් ඇය රඟපෑමක් කරලා නෑ කියලා. ඒත් ගීත්මාට නම් පොතක් ලියන්න වුණත් එවැනි සිදුවීම් තියෙනවා කියලයි අපිත් එක්ක කිව්වේ.

“දවසක් ‘සංසාරිණී’ ටෙලිනාට්‍යයේ රූගත කිරීමක් තිබුණා රේල්පාරක් ගාව. කැමරා තිබුණේ ගොඩාක් දුරින්. එතැනදි තිබුණේ පිරිමි කෙනෙක් මගේ බඩට පයින් ගහන දර්ශනයක්. එදා ඔහු ඒ ගහපු පාරට මං රේල්පාර අයිනට වැටුණා. ඒ කියන්නේ මමයි රේල්පාරයි අතර පරතරය අඩියක් දෙකක් වගේ. ඒ අස්සේම කෝච්චියක් ආවා. මට නැගිටින්න වෙලාවක් තිබුණේ නෑ. පස්සේ එහෙමම හිටියා. එදා අනූනවයෙන් ජීවිතේ බේරුනේ. එතැනට එදා මිනිස්සුත් පිරුණා.”

නිළියක් විදියට මේ වෙනකොට ගීත්මාට ලොකු ප්‍රේක්ෂක ආකර්ශණයක් හිමිවෙලා තියෙනවා. ඇගේ සමාජමාධ්‍ය ගිණුම්වලට ගිහින් බැලුවොත් ඒ අතරින් වැඩිපුර ඇයට ආකර්ශණයක් හිමිවෙලා තියෙන්නේ පිරිමි පාර්ශවයෙන්. ඒ අතර අමතක නොවන ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් එහෙම නැද්ද ඇහුවමයි ගීත්මාව බලලා යන්න ඇගේ ගෙදරට මල් පොකුරකුයි පිහියකුයි අරගෙන ආපු අමුතු රසිකයෙක් ගැන අපිට කිව්වේ.

“කිව්වත් වගේ ඒ පුද්ගලයා ටිකක් අමුතු රසිකයෙක්. මං ෆේස්බුක් එකේ මගේ ෆොටෝ එකක් දැම්මත් එයා දානවා මං එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. මට ඒක වදයක් නිසා එයාව බ්ලොක් කළා. ඔය අතරේ දවසක මගේ අතින් ෆේස්බුක් එකේ හරි ඉන්ස්ටග්‍රෑම් එකේ හරි ගෙදර ඇඩ්‍රස් එකක් වැටුණා. ඒ මනුස්සයා ඒක දැකලා අපේ ගෙදර හොයාගෙන ආවේ නැද්ද. එදා අම්මා ගෙදර හිටියේ නෑ. ඒත් මොකක්ද මන්දා වාසනාවකට බාප්පයි පුංචියි ඇවිල්ලා හිටියා. එදා එයා ඇවිත් ගෙදර දොරට ගහද්දි මේ කිසිම දෙයක් නොදැන දොර ඇරියේ මං. ඇරපු ගමන්ම බෙල්ලට පිහියක් තියලා ‘ඇයි ගීත්මා මට මෙහෙම කරන්නේ’ කියලා තර්ජනය කළා. මට කෑ ගැස්සුනා. පස්සේ ඒ සද්දේ ඇහිලා බාප්පයි පුංචියි සාලෙට ආවා. ඒ එද්දිම එයා මල් පොකුරක් පුංචිට දීලා ‘අනේ අම්මේ මට ගීත්මාව ඕන’ කියලා කියන්න ගත්තා. අන්තිමේ ආරක්ෂාවට පොලිසියේ පැමිණිල්ලක් එහෙම දාන්නත් වුණා. ගෙදරත් මාරු කළා.”

ගීත්මාට දැන් වයස 26ක්. වෘත්තිය රංගනය කරගත් ඇය අද වෙනකොට සතුටින් ජීවිතය දරන තරුණියක් කියලා කිව්වොත් හරි. අන්න ඒ නිසා තරුණියක් විදියට ඇගේ ජීවිත කතාව අස්සේ තව කෙනෙක්ට ගන්න හුඟාක් හොඳ දේවල් ඇති කියලයි අපිට හිතුණේ.

“මගේ සාර්ථකත්වයේ රහස හීන. මට හීන ඇතිවුණාම ඒ හීන සැබෑකරගන්නකල් පුදුම හදිස්සියි. ඒ වෙනුවෙන් ඉතින් කැපකිරීම් කරන්න ඕන.”

පිරිමින්ට කෙසේ වෙතත් ගැහැනු උදවිය දෙයක් කරලා ඉස්සරහට යන්න අපේ සමාජේ ලේසි නෑ කියලා මීට සති දෙකකට කලින් ‘ධරණී’ කවරය සරසපු යුරේනි නොෂිකා අපිත් එක්ක කිව්වා. සමාජමාධ්‍ය තුළ ගීත්මාටත් එවැනි කතා කියන අය අපි දැකලා තියෙනවා. ඒ වගේ තැන්වලදි ගීත්මා ඒ දේවල් දරාගන්නේ කොහොමද කියලත් අපි ගීත්මාගෙන් ඇහුවා.

“ඒ වගේ තැන්වලදි මම කරන්නේ ඒවා නොදැක්ක ගානට ඉන්න එක. මොකද අපි ගැන අපි දන්නවා නම් එතැනින් එහා කතාවක් නෑනේ.”

මිනිස්සු විදියට අපිට මේ ගෙවෙන හැම මොහොතේම හිනාවෙලා සතුටින් ඉන්න බෑ. ඒකයි සෝමතිලක ජයමහගේ ගීතයක ‘සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ සිනහ නැඟෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ’ කියලා තියෙන්නේ. සතුට සම්බන්ධයෙන් ගීත්මාට තියෙන්නේ මේ වගේ අදහසක්.

“මං කිසිම දෙයක් ඕනවට වඩා ඔලුවට ගන්නේ නෑ. හැමදේම සැහැල්ලුවෙන් හිතනවා. දුකක් දැනුණම වුණත් ඒකෙම  එල්ලිලා ඉන්නේ නෑ. ඒ වෙලාවට දුකත් එක්කම නිදාගෙන අලුත් විදියට ආයෙත් නැගිටිනවා. එහෙම කළාම ප්‍රශ්න අඩුයි.”

ගීත්මාගේ පෙනුමත් එක්ක ඇයට ආදර යෝජනාවලින් නම් අඩුවක් නැති විත්තිය කවුරුත් දන්න කතාවක්. හැබැයි ගීත්මා අපි එක්ක කියපු විදියට නම් මේ වෙනකොටත් ඇය පෙම්වතියක්ලු. 

එදා හොරණ හිටියත් දැන් ගීත්මා ඉන්නේ කෝට්ටේ. ගෙදර ඉන්නේ ඇයයි අම්මයි විතරයි. ගීත්මාට මල්ලි කෙනෙක් හිටියත් ඔහු පසුගිය වසරේ ජීවිතයෙන් සමුඅරන්. ඒ කොහොම වුණත් දුකසැප හැමදේම එක සිතින් දරාගෙන ගීත්මා අද හරිම සතුටින් ජීවිතේ දරන්නියක්. ඒ නිසාම මේ කතාබහ අවසානේ ‘ධරණී’ කියවන කාන්තාවන් වෙනුවෙන් යමක් කියන්න කියලත් අපි ගීත්මාගෙන් පුංචි ඉල්ලීමක් කළා.

“මං තරුණියක් නිසා තරුණියන් ගැන හිතලා දෙයක් කියන්නම්. හුඟාක් අය තමන් කවුද, තමන්ට කරන්න පුළුවන් මොනවද කියන දේ ගැන අවබෝධයක් නෑ. ඒ අය තමයි ඉස්කෝලේ ගිහිල්ලා ඉවරවුණු ගමන් කවුරු හරි බැඳගෙන ජීවිතේ සම්පූර්ණයි කියලා හිතාගෙන ජීවත්වෙන්නේ. එච්චර හදිස්සි වෙන්න එපා. ජීවිතේ සම්පූර්ණ වෙන්න නම් අපි අපේ හීනවලට යන්න ඕන. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඒකට මුලින් ඔබ කවුද කියලා තේරුම්ගන්න ඕන. අන්න එතකොට ඔබට තේරෙයි ඔබ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලා.”

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක

පසුතලය – සෝලිස් හොටෙල්, පිටකෝට්ටේ

ඇඳුම් සැපයීම – Be Trendy Clothing