වසර 12කට පෙර දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකුට අධිකරණයෙන් දුන් තීන්දුව – දැරියට ලක්ෂ 03ක වන්දියක්
වසර 12කට පෙර අගුණුකොළපැලැස්සේ දී 12 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයකුට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ, හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා විසින්.
සිර දඬුවමට අමතරව රුපියල් 30,000ක දඩ මුදලක් හා වින්දිත දැරියට රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවන ලෙස ද විනිසුරු වරයා එහිදී නියම කළා.
අදාළ දැරිය රවටා අවස්ථා කිහිපයකදිම අපයෝජනයට ලක් කර ඇති බවට පැවති දීර්ඝ නඩු විභාගයේදි, පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව නගා තිබූ චෝදනා 04ම සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරිම හේතුවෙන් චුදිතයාට දඬුවම් නියම කෙරුණා.
මෙම සිදුවීම සිදුවන අවස්ථාව වන විට අගතියටපත් දැරිය 12 හැවිරිදි වියේ පසුවූ අතර චුදිතයා 29 හැවිරිදි වියේ පසුවු අයෙකු වනවා.
ඒ අනුව මෙවැනි වැරදිවලදී චුදිතයකුට ලබා දෙන දඩුවම දෙස සමාජ බලා සිටින බවත්,එබැවින් සමාජයේ අන් පුද්ගලයන්ටද ආදර්ශයක් සැපයිය හැකි ආකාරයේ දැඩි දඬුවමක් ලබා දෙන ලෙස මෙහිදි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි රජයේ නිමන්ත ජයවික්‍රම මහතා ඉල්ලා සිටියා.
ඒ අනුව ඉදිරිපත් වු කරුණු සළකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු විසින් චුදිතයාට 1 හා 3 චෝදනාවන් සඳහා වසර 04 බැගින් වසර 08ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අතර අදාළ චෝදනා දෙක සඳහා රුපියල් 5000 බැගින් රුපියල් 10,000ක දඩයක්ද නියම කර තිබෙනවා.
අදාළ දඩ මුදල නොගෙවයි නම් අමතරව මාස 06ක සිර දඬුවමක්ද එහිදී නියම කෙරෙනු ලැබුවා.
එමෙන්ම 02 හා 04 චෝදනාවන් සඳහා වසර 14 බැගින් වසර 28ක සිර දඬුවමක් නියම කළ අතර එම චෝදනා දෙක සඳහා ද රුපියල් 10,000 බැගින් රුපියල් 20,000ක දඩයක්ද නියම කෙරුණා.
එම දඩ මුදල ද නොගෙවයි නම් වසර 01 බැගින් වසර දෙකක සිර දඬුවමක් ද නියම කර තිබෙනවා.
මීට අමතරව අගතියට පත් දැරිය සදහා රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවන ලෙසටද නියම කල අතර චුදිතයා විසින් එම වන්දි මුදල නොගෙවයි නම් තවත් වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණා.