නෝනගෙයි මහත්තයගෙයි රණ්ඩුවකට පස්සෙ Google Map හැදුනෙ මෙහෙමයි
සුන්දර් පිචායි (Sundar Pichai) ඉපදුණේ අසල්වැසි ඉන්දියාවේ මදුරායිවල. ඒ 1972 අවුරුද්දේ ජූනි 10 වෙනිදා. කාලයත් එක්ක ඔහු ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගෙන ඇමෙරිකාවට පදිංචියට ගියා. හැබැයි ඒ ගියේ අංජලී පිචායි (Anjalee Pichai) කියන තරුණිය සමඟ විවාහවීමෙන් පස්සෙ. එහෙට ගිහින් කොච්චර සතුටින් පවුල් කෑවද කිව්වොත් දෙන්නට දෙන්නා හිටියේ හරියට ගහයි පොත්තයි වගේ. ඒ තරම් බැඳීමක් සුන්දර් සහ අංජලී අතර තිබුණා.
ඔහොම ඉන්නකොට 2004 අවුරුද්දේ දවසක රෑ කෑමක් වෙනුවෙන් සුන්දර්ගේ ළඟම මිතුරෙක්ගෙන් ඔහුට ආරාධනාවක් ලැබුණා. මිතුරා ඔහුට පැවසුවේ බිරිඳත් සමඟින්ම එදිනට පැමිණෙන ලෙස. ඒත් එතැනදි ඔහු පොඩි ගැටලුවකට මුහුණ දුන්නා. ඒ යාළුවා කියපු දවසට දෙදෙනාටම නිවසේ සිට එකට යෑමට නොහැකිවීම. ඒ නිසා සුන්දර් කාර්යාලයේ සිට කෙළින්ම මිතුරාගේ නිවසට යන්නත්, බිරිඳ නිවසේ සිට මිතුරාගේ නිවසට පැමිණෙන්නත් තීරණය කරගත්තා.
අදාළ දිනයේදී සුන්දර්ගේ බිරිඳ රාත්රී අට වනවිට සැමියා කී පරිදි ඔහුගේ මිතුරාගේ නිවසට ගියත් සුන්දර් ඇවිත් හිටියේ නෑ. ඇය පැය කීපයක් බලන් හිටියත් සැමියා එන පාටක් තිබුණෙත් නෑ. මෙච්චර ආදරේ කරලත් ඔහු තමාට ඇස් රතුවෙන විහිලුවක් කළා කියලයි ඇයට හිතුණේ. ඒ වෙලාවේ නම් අංජලීගේ රතු කට්ට පැන්නා. ඇයට කොච්චර තරහා ගියාද කිව්වොත් රාත්රී ආහාරය ගත් ගමන්ම ඇය තත්පරයක් හෝ නොසිට යළිත් තමන්ගේ නිවස බලා ගියා. ඒ ගියෙත් සුන්දර්ට හොඳවැයින් දෙකක් කතා කරන්න බලාගෙන.
අංජලී කොච්චර තරහා ගත්තත් ඔය අතරතුරේ සුන්දර්ට ලොකු අකරතැබ්බයක් වෙලයි තිබුණේ. නියමිත වෙලාවට ඔහු කාර්යාලයෙන් පිටවුණත් මිතුරාගේ නිවස සොයාගත නොහැකිව ඔහුට ටිකක් රස්තියාදු වෙන්න වුණා. රාත්රී 8.00ට මිතුරාගේ නිවසට යන්න පාරට බැහැපු සුන්දර් අන්තිමේ පාර හොයාගෙන එහෙට යද්දි රාත්රී 10.00ත් පහුවෙලා. වැඩේ කියන්නේ ඒ යද්දි බිරිඳ අංජලී ආපහු නිවසටත් ගිහින්. ඉතින් ඔහුට ඇතිවුණේ ඇය ගැන පුදුමාකාර දුකක්. ඒ නිසා ඔහු තීරණය කළා කෑමට නොසිට පුළුවන් ඉක්මණින් නැවත නිවස බලා යන්න.
සුන්දර් නිවසට යද්දී වෙනදා වගේ හිනාමුසු මුහුණින් නම් නෙවෙයි අංජලී දොර ඇරගෙන ඉදිරියට ආවේ. ඇය ආවේ යකා වැහුනු ගාණට තදවෙලා. අන්තිමේ දෙන්නා හොඳටම රණ්ඩුවෙලයි නැවතුණේ. සුන්දර් නියමිත වේලාවට නොපැමිණීම නිසා ඇය මිතුරාගේ නිවසේදී අපහසුතාවයට පත්වූ බව කියමින් ඇය ඔහුට බැණ වැදුනා. කවදාවත් කේන්ති නොගත් බිරිඳගේ මේ හැසිරීම නිසා සුන්දර්ට තවදුරටත් නිවසේ රැඳී ඉන්න හිතුණේ නෑ. ඒ නිසා ඔහු තීරණය කළා නැවත ඔහුගේ කාර්යාලයට යන්න.
සුන්දර් එදා මුළු රාත්රියම ගතකළේ කාර්යාලයේ. වෙච්ච සිද්ධිය නිසා ඔහුට නිදාගන්නත් හිතක් තිබුණෙ නෑ. ඇත්තටම කිව්වොත් සුන්දර් මුළු රාත්රිය පුරාම හිතුවේ තමන්ට පාර වැරදිලා වෙච්ච අකරතැබ්බය ගැන. කොච්චර දුරකට හිතුවද කිව්වොත් තමන්ට වගේ තව කී දෙනෙක්ට මෙහෙම දේවල් වෙනවා ඇතිද කියලා ඔහුට හිතුණා. අවසානේ ඔහු තීරණය කළා ඒකට පිළියමක් යොදන්න.
රාත්රිය ගෙවිලා අලුත් දවසක් උදාවුණත් සුන්දර්ට නිවසට යන්න නම් හිතක් තිබුණෙ නෑ. මොකද ඔහුට ඕනෙ වුණා තමන්ට වද දුන්න ප්රශ්නයට උත්තරයක් හොයාගෙනම නිවසට යන්න.
ඔහුගේ හිත කිව්වෙම සිතියම සාක්කුවේ තියෙනවා නම් ඒ ඔස්සේ දිශාව නිවැරදිව බලාගෙන නිවැරදි ස්ථානයට යන්න පුළුවන් කියලයි. ඒක ඔලුවේ තියාගෙන සුන්දර් ඊළඟට කළේ තමන්ගේ කණ්ඩායම කැඳවලා ඒ ගැන ඔවුන්ව දැනුවත් කරන එක. මුලදි ඔවුන් ඒ අදහසට හිත යටින් හිනාවුණත් පස්සේ පස්සේ ඔවුන්ටත් හිතුණා ඒක ප්රයෝජනවත් වැඩක් කියලා. ඊටපස්සේ හැමෝම එකතුවෙලා වැඩේ පටන්ගත්තා.
ඒ 2005 අවුරුද්ද. සුන්දර් තමන්ගේ කණ්ඩායමත් එක්ක එකතුවෙලා දැඩි පරිශ්රමයකින් පස්සේ අතරමං නොවී හිතෙන තැනකට යා හැකි සිතියමක් නිර්මාණය කළා. ඔවුන් ඒකට නම් තැබුවේ ‘ගූගල් සිතියම’ (Google Maps) කියලා. 2005 අවුරුද්දේ ඇමෙරිකාවේ හදපු ඒ සිතියම ඔවුන් 2006 අවුරුද්දේ එංගලන්තයේදී වගේම 2008 අවුරුද්දේ ඉන්දියාවේදීත් අත්හදා බැලුවා. අවසානේ ඒ ඒ රටවල්වලට තේරුම් ගියා සුන්දර්ගේ කණ්ඩායම හදපු ගූගල් සිතියම මුළු ලෝකයටම නිවැරදි මාවත පෙන්වන වැදගත් වැඩක් කියලා. ඒ නිසා සුන්දර්ගේ ගූගල් සිතියමට කෙටි කාලයක් ඇතුළත ලෝකය තුළින්ම ලොකු ඉඩක් ලැබුණා.
සැමියගෙයි බිරිඳගෙයි රණ්ඩුවක් නිසා අපිත් නිතර නිතර පාවිච්චි කරන ගූගල් සිතියම හැදුනේ එහෙමයි. ඒ වෙනකොට සුන්දර් කියන්නේ ගූගල් සමාගමේ ප්රධාන විධායක නිලධාරියෙක්. ඒ නිසා ඔහුට ඔහුගේ දැනුම සහ ගූගල් ආයතනය සතු සුපිරි තාක්ෂණය මේ වැඩේට භාවිතා කරන්න හැකියාව ලැබුණා. අද වෙනකොට ලෝකයේ සෑම පුද්ගලයින් හත්දෙනෙක් අතරින් එක් පුද්ගලයෙක් මේ ගූගල් සිතියම භාවිතා කරන බව සඳහන්. මේ වගේ වැඩකට ඇති වැඩ සිද්ධ වෙනවනම් ඉතින් දෙන්න දෙමහල්ලො අතරෙ පොඩි පොඩි රණ්ඩු සරුවල් ඇතිවුණත් මොකද ඉතින්… නේද?
රුවන් එස්.සෙනවිරත්න