Latest News

ගර්භණි රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක්

පවතින ඉන්ධන අර්බුදය හමුවේ දුෂ්කරතාවට පත්ව සිටින ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් පදිංචි ස්ථානයට ආසන්න වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉල්ලීමක් කර තිබෙනවා.

එම සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස අනුයුක්ත කිරීමට අපහසු ගර්භණී නිලධාරිනියන් රාජකාරි කටයුතු වලට බාධාවක් නොවන අයුරින් නිවසේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය රාජකාරි ඉටු කිරීමට අවස්ථාව සලසන ලෙස එම ලිපිය මඟින් දැනුම් දී තිබෙනවා.

රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කිරීම යන මැයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.

එහි 02 වැනි වගන්තියෙහි සඳහන් වන රාජ්‍ය නිලධාරීන් පදිංචි ස්ථානයට ආසන්න වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරිමේ කරුණ ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් සඳහා අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු බව මන්ත්‍රීවරියන්ගේ සංසඳය පෙන්වා දී තිබෙනවා.