GPS තාක්ෂණයෙන් දැවිතෙල් ප්‍රවාහනය නියාමනය කරන්න යයි
බවුසර් මගින් දැවිතෙල් ප්‍රවාහනය කිරීම ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ නියාමනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.
නැව් මගින් බැහැර කරන දැවිතෙල් යොදා ගැනීම විශාල ජාවාරමක් දක්වා වර්ධනය වී ඇති අතර ඒවා රට තුළ ප්‍රවාහනය කරන ඇතැම් පුද්ගලයින් රහසිගත ආකාරයෙන් ජල මූලාශ්‍රවලට මුදාහැරීම මගින් විශාල පරිසර හානියක් සිදුවන බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වාදෙයි.
වාර්ෂිකව දැවි තෙල් කිලෝ ලීටර් 64,000ක් පමණ මෙරටට ගෙන එන බවට අනාවරණය වී ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.
දැවි තෙල් ප්‍රවාහනය කිරීම විධිමත් ආකාරයෙන් නියාමනය කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.
බවුසර් මගින් දැවිතෙල් ප්‍රවාහනය ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ නියාමනය කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.
දැවිතෙල් ප්‍රවාහනය කිරීම සඳහා දැනට ආයතන 23 කට බලපත්‍ර ලබාදී ඇති අතර ඉන් ආයතන දෙකක් විසින් ඒවා ගබඩා කර තබා ගැනීම සිදුකරන බව වාර්තා වේ.
දැවිතෙල් ප්‍රවාහනය ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ නියාමනය කිරීමට පියවර ගෙන ඇති බැවින් කිසියම් බලපත්‍රලාභියෙක් ඒවා පරිසරයට මුදාහරින්නේ නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට මෙන්ම බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.
