විශේෂාංග

අරගලකාරයො එදා හෝටලේට විතරක් නෙවෙයි අපේ හනිමූන් එකටත් ගිනි තිබ්බා

එක කැදැල්ලක විසීමේ ආදරණීය සිහිනය සිත්හි තබාගෙන සිටි ගයාන් ජයනෙත්තිටත්, අචිනි කෞෂල්‍යාටත් ඒ ලස්සන දවස උදාවුණේ 2022 මැයි මාසයේ නවවනදායි. ඒ එදිනට දෙදෙනාගේ විවාහ මංගලෝත්සවය යෙදී තිබුණු බැවිනි. එම දිනය කිසිදා අමතක නොවන මතක සටහනක් කරගැනීමට අවශ්‍ය වූ නිසාත්, නෑ හිතවතුන්ගේ ආශිර්වාදය ලබමින් ඒ නව ගමනට මුල පුරන්නට ඕනෑ වූ නිසාත් දෙදෙනාගේ තෝරාගැනීම වූයේ මීගමුව කුරණ පිහිටි තරු පන්තියේ හෝටලයක් වූ ග්‍රෑන්ඩීසා (Grandeeza) උත්සව ශාලාවයි. එහි සොඳුරු වටපිටාවද දෙදෙනාගේම සිත්ගත් බැවින් මංගල රාත්‍රිය ගත කිරීමට ඔවුන් තෝරාගත්තේද එහිම කාමරයකි.

එසේ ඔවුන්ගේ ජීවිතයේ සොඳුරුතම දවස නිමාවෙමින්, රාත්‍රිය එළැඹෙද්දී රට එකම ගිනිගොඩක් බවට පත්වෙමින් තවත් බොහෝ දේ සිදුවෙමින් තිබුණි. ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී උද්ඝෝෂකයින්ට පහරදීමේ සිදුවීම මුල්කරගනිමින්, ක්ෂණිකව කෝපාවිශ්ඨ වූ ජනතාව අතින් සිදුනොවිය යුතු බොහෝ දේ ඒ වනවිටත් සිදුවෙමින් පැවතුණි.

“ඒ වෙනකොට රටේ තැන තැන කලබල තියෙනවා, දේපළවලට ගිනි තියනවා කියලා දැනගෙන හිටියත්, අපේ ජීවිතේ ලස්සනම දවසේ අපි හිටපු හෝටලයටත් ඒ ගින්න කඩා පාත්වේවි කියලා අපි දැනගෙන හිටියේ නෑ. මගේ සහෝදරිය ඉන්නේ ඉතාලියේ. ඇයට ලංකාවට එන්න පහසු දිනයකුත් බලලයි වෙඩින් එකට දින දාගත්තේ. පහුවදාට හෝම්කමින් එකත් නිසා මගේ අක්කයි, එයාගෙ මහත්තයයි, දරුවෝ දෙන්නයි, හෝටලයේ හතරවෙනි තට්ටුවේ කාමරේක නතර වුණා. හෝටලේට කලහකාරී පිරිස් කඩා පාත්වෙන්න මොහොතකට කලින් අපි කට්ටියම එහි රෙස්ටෝරන්ට් එකෙන් කෑම ගත්තා. එතකොට සෑහෙන පිරිසක් හෝටලයේ හිටියා. උත්සව ශාලාවේ හෝම්කමින් එකකුත් තිබුණා. අපි කෑම කාලා අක්කලාගේ කාමරේට ආවා. ඒ වෙලාවේ අචිනි උඩ අපේ කාමරේට ගිහින් කේක් එකක් තිබිලා අරගෙන ආවා. ඒ ඇවිත් විනාඩියක් ගියේ නැහැ එකවරම කරන්ට් එක ගියා. ඊටපස්සේ කෑගහන සද්දය එක්ක බඩු පොඩි කරන සද්ද එක්ක මහා කලබලයක් ඇහුණා. සිද්ධවෙන්නේ මොනවද කියලා අපිට තේරුම්ගන්න පුළුවන් වුණත්, මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරිවුණා. පනහක් හැටක් විතර කලහකාරී පිරිස් හෝටලයේ ඇතුළට ඇවිත් හිටියා. කාමරයෙන් පිටත බලද්දී කෑකෝ ගසමින් විශාල පිරිසක් එළියේ ඉන්නවා දැක්කා.

ඒ මොහොතේ, ගයාන් අචිනි ඇතුළු සියල්ලෝම හිටියේ තැතිගැන්මෙනි. ඇතැමුන් රූපවාහිනී යන්ත්‍ර ඇතුළු වටිනා දේවල් ගලවාගෙන යද්දී, පැමිණි ඇතැමුන් කෑම කන පිඟන් කෝප්ප පවා ඉඳුල් පිටින්ම ඔසවාගෙන ගොස් තිබුණි. ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ටත්, හෝටලයේ එදින නවාතැන් ගෙන සිටි අයගේ බඩු භාණ්ඩත් කොල්ලකමින් පලා යද්දී, ඒ කවර අරගලයකට අයත් පිටපතක් දැයි නොදත් අහිංසකයෝ වඩාත් තැතිගත්හ. ගයානුත්, අචිනිත් එදෙස බලා සිටියේ කම්පාවෙනි. තම ආදරණීයම රාත්‍රිය, එසේ ගිනි ගනිද්දී පිරිසක් අනුන්ගේ දේපළ මංකොල්ල කමින්, ජයපැන් බොමින් සිටියෝය.

ටික වෙලාවකට පස්සේ අපි, අපි හිටපු කාමරේට ආවා. හිතාගන්නවත් බැහැ, දොරවල් කඩලා දාලා කාමරේ කිසිම දෙයක් තිබුණෙ නැහැ. සල්ලි, රත්තරන් බඩු ලොකර් එකේ තිබු‍ණේ. පවුම් තුනක කර මාලය, ලක්ෂ පහක් පමණ වටිනවා. මුදලින් රුපියල් ලක්ෂ හයක් පමණ තිබුණා. ලිකර් බෝතල්, වයින් බෝතල් තිබුණා. පහුවදාට හෝම්කමින් එක ගන්නත් එක්කනේ හිටියේ. කොහොමහරි ඇඳේ මෙට්ටෙත් ආපු අය අරගෙන ගිහින්. අතේ තිබුණු නිසා අපේ මුදු දෙක අපිට ඉතිරි වුණා.

එපමණක්ද නොවේ ඔවුන්ගේ මුදල් පසුම්බි, දුරකතන චාජර් පවා පැමිණිවුන් මංකොල්ල කා ගොස් තිබුණි. ඔවුන්ගේ ඇඳුම් බෑග්ද පෙනෙන්නට තිබුණේ නැත. අක්කගේ කුඩා දියණියන් දෙදෙනාගේ කරාබු යුගළයන්ද පැමිණි අය ගෙන ගොස්ය. ගයාන් කියන්නේ බිරිඳගේ කරමාලය, ගෙල පැළඳිදාම අහිමිවීම තුළ මිනිස් ලොව නොමිනිස්කම් ගැන අලුතින් හිතන්නට දේ ඉතිරිව ඇති බවයි.

කරමාලේ ගන්න අපි ජුවෙලරි ෂොප් එකට කිහිප වතාවක් ගියා. මේ දවස්වල රත්තරන් මිල ඉහළ නිසා, ලක්ෂ හයහමාරයි කිව්ව මාලේ අපි ලක්ෂ පහකට ගත්තේ. අචිනිට ඕන කිව්ව මාලේ ඒක. ඒක ඇයට අරගෙන දුන්නේ ඇය ඒ මාලෙට ගොඩක් කැමති වුණ නිසයි. පහුවදා වෙච්ච සිද්ධිය අපි මුහුණුපොතේ දැම්මා. කරමාලේ ආපහු ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් නැහැ. ඒත් ලැබුණොත් එය අපට වටිනවා. ඒ ගැන තොරතුරක් දෙන කෙනෙකුට වටිනා තෑග්ගක් දෙනවා කියලත් කිව්වා. මේ ගැන අපි පොලිසියටත් පැමිණිලි කළා.

ගයාන්, අචිනි වාගේම ඔහුගේ සහෝදරියගේ පවුලේ උදවියද එදින රාත්‍රියේම කිරිබත්ගොඩ පිහිටි නිවසට එන්නේ, අත තිබූ සියල්ල අහිමිව බලාපොරොත්තු වූ සුන්දර සිහිනය වෙනුවට හිත් කණස්සල්ලෙන් පුරවා ගනිමිනි. ඒ වනවිට පුතුගේ ලස්සන දවස දෑසින් දැක දහවල සතුටු වූ මෑණියන් නිවසට වී බලා සිටියේ බියේ ගැහෙමිනි. ඇයට ඇඟට ලේ උනන්නට ඇත්තේ පුතුත්, ලේලියත් දියණිය හා ඇගේ පවුලේ උදවියත් දෑසින් දැක්ක පසුය.

රටේ ස්ථාන කිහිපයක ඒ වනවිට වාහන ගිනි තබා විනාශකොට තිබුණත් ගයාන් හා සහෝදරිය පැමිණ තිබූ වාහන දෙකට අලාභයක් කර තිබුණේ නැත.

මේ සිද්ධියෙන් පස්සේ වුණත් දිගින් දිගටම කණස්සල්ලට පත්වෙන දේවල් වෙනවා. මම කරමාලේ ගැන කියලා දාපු පෝස්ට් එකටත් සමහර අය විවේචනය කරලා තිබුණා. ඇත්තටම ඒ සිදුවීමට මුහුණ දුන් කෙනා තමයි එහි බරපතළකම දන්නේ. ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් කල් බොහෝදෙනාගේ පිළිතුර දාර්ශනිකයි කියලා කියනවනේ. ඒ වගේම හෝටල් කළමනාකාරීත්වය ගැනත් සහනක් කරන්නට ඕන. ඔවුන් දැනගෙන ඉලා තියෙනවා හෝටලයට පහර දෙන්න එනවා කියලා. කෑම ගන්න ආපු අයට ඉක්මනින් යන්න කියලත් තියෙනවා. හැබැයි කාමරවල හිටපු අයට ඒ අවදානම ගැන ඔවුන් කිව්වේ නෑ. අපේ විවාහ මංගල උත්සවයට ලක්ෂ ගාණක් වියදම් කරලා එම ස්ථානය තෝරාගත්තේ විශ්වාසයෙන්. සිදුවුණ සිද්ධිය අනපේක්ෂිත වුණත් අපට මොනවද වුණේ කියනෙක අදටත් හෝටල් කළමනාකාරීත්වය දුරකතන ඇමතුමක් දීලාවත් හොයලා බැලුවේ නැහැ.

ඊට බලපෑ කාරණා කුමක්දැයි කියන්නට නොහැකි නමුත් තම ගණුදෙනුකරුවන්ගේ ආරක්ෂාව ගැන සහතිකයක් නොතිබීම නම් කණගාටුදායකය. එමෙන්ම මෙසේ බඩු භාණ්ඩ සොරාගත් උදවිය ගැන දින දෙක තුනකට පසුව සීසීටීවී කැමරාවලින් දර්ශනය වෙද්දී ගෙනගිය බොහෝ බඩු භාණ්ඩ අතරමග දමා ගොස් තිබුණි.

අපිත් පොලිසියට ගිය වෙලාවේ දැක්කා මිනිස්සු හෝටලේ තිබුණු පින් උස්සගෙන ගිහින් තිබුණේ ඉුල් පිටින්. අරගලය කියලා ඇතැමුන් අනුන්ගේ දේවල් උදුරා ගැනීමක් කළේ. ඒ අරගලය මොකක්ද කියන්න නම් මම දන්නේ නැහැ. කොහොම නමුත් අපේ ජීවිත කාටවත් කරදරයක්, හිරිහැරයක් නොවෙන විදියට ගත කරනවා. මේ හැමදේම ජීවිතයට පන්නරයක් කරගන්නවා. කා එක්කවත් තරහක් නැහැ.

ඔහු කියන්නේය. ගයාන්ගේත්, අචිනිගේත් ඒ ලස්සන දවස, ඔවුනට එදා අහිමි වුවත්, බොහෝ ලස්සන දවස් එම ආදරණීය යුවළට මුණගැහේවායි ‘ධරණී’ අපගේ ප්‍රාර්ථනයයි.

දීපා වසන්ති එදිරිසිංහ