නවතම ප්‍රවෘත්ති

කුස්සියෙන් එළියට අඩිය තියන්න පුළුවන් හයියක් හැම ගැහැනියකටම තියෙනවා

1839 අවුරුද්දෙ, ඒ කියන්නේ හරියටම අවුරුදු 183කට කලින් ස්කොට්ලන්තය, තරුණියන් පිරිසක් යොදාගෙන හරි අපූරු තරඟයක් සංවිධානය කළා. ඒ තරඟයේ එකම අරමුණ වුණේ රටේ ලස්සනම තරුණිය තෝරන එක. එහෙම තෝරලා ඇයට ‘Queen of Beauty’ කියන සම්මානය ලබාදෙන්නයි ඔවුන් තීරණය කරලා තිබුණේ. අන්තිමට මේ තරඟයේ ඒ සම්මානය ලබාගන්නේ ‘Jane Georgiana Sheridan’ කියන 30 හැවිරිදි විවාහක තරුණිය. ඇය ජයග්‍රහණය කරපු ඒ තරඟය තමයි මුල්ම රූ රැජින තරඟය බවට ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

මේ ඉතිහාසය ටිකක් මතක් කළේ පසුගියදා අපේ රටෙත් සංවිධානය කරලා තිබුණු එවැනිම රූ රැජින තරඟයක් ගැන කියන්න. ඒ තමයි ශ්‍රී ලංකා විවාහක විශ්ව රූ රැජින’ (Mrs.Sri Lanka Universe 2022) තේරීමේ තරඟය. එය ජයග්‍රහණය කළේ හංසනී චතුරංගි පෙරේරා. ඒ අනුව ඇය මෙම වසර අවසානයේ දකුණු කොරියාවේ පැවැත්වෙන විවාහක විශ්ව රූ රැජින’ (Mrs.Universe) තරඟබිම නියෝජනය කරන්න සුදුසුකම් ලබාගත්තා. ඇගේ සුන්දර රුවින් තමයි  මෙවර ධරණී කවරය හැඩවෙලා තියෙන්නේ.  

පුංචි කාලේ ඉඳන්ම මං හීන දැක්කේ වෛද්‍යවරියක් වෙන්න. ඒ නිසා උසස් පෙළ කළෙත් විද්‍යා විෂය ධාරාවෙන්. හැබැයි කාලෙත් එක්ක මට රූ රැජින තරඟ ගැන පොඩි ආසාවක් ආවා. එහෙමයි කියලා ඉතින් ඒ පැත්තෙන් ලොකු ලොකු දේවල් නම් කරන්න ලැබුණේ නෑ. ඒත් මෙවර ශ්‍රී ලංකා විවාහක විශ්ව රූ රැජින තරඟයට ඉදිරිපත් වෙන්න ඕන කියලා හිතුණා.”

හංසනී කියන විදියට ඇයව රූ රැජිනක් කරන්න තවත් කෙනෙකුට ලොකු ආසාවක් තිබිලා තියනවා. ඒ වෙන කාටවත් නෙවෙයි ඇගේ අම්මට.

මගේ අම්මා විදේශගතවෙලා ඉන්නකොට ඒ රටට ලෝක රූ රැජින තරඟයක් නියෝජනය කරපු ලංකාවේ කෙනෙක් ආවලු. ඒ වෙලාවේ අම්මගේ යාළුවෝ කිව්වලු අම්මටත් ඒ වගේ රූ රැජින තරඟයකට ඉදිරිපත් වෙන්න කියලා. එතකොට අම්මා ඒ අයට කිව්වලු එයාට ඉදිරිපත් වෙන්න බෑ ඒත් මගේ දුවව මං කවදා හරි රූ රැජිනක් කරනවා කියලා. ඉතින් අම්මා ඒ කතාව නිතර නිතරම මට කිව්වා. අන්තිමේ ඒක අහල අහලම මටත් රූ රැජිනක් වෙන්නේ මොකක්දෝ ආසාවක් ඇතිවුණා.”

මොන වැඩේදි වුණත් අම්මගේ ආශිර්වාදය ලැබෙනවා නම් බය වෙන්න හේතුවක් නෑ කියනවනේ. ඉතින් ඒ කතාව ඇත්තක් කරලා අම්මගේ ආශිර්වාදයත් එක්ක අන්තිමේ හංසනී නවතින්නේ ශ්‍රී ලංකා විවාහක විශ්ව රූ රැජින බවට පත්වෙලා.

ලෝකයේ ප්‍රධාන රූ රැජින තරඟ කීපයක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම එකක් තමයි විශ්ව රූ රැජින කියන්නේ. මං එහි විවාහක විශ්ව රූ රැජින තරඟයේ ලාංකික මට්ටමින් තිබුණු තරඟයටයි පසුගියදා සහභාහි වුණේ. ඉතින් ඒක මට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. මතක් කරන්නම ඕන ඒ තරඟයේ ජාතික අධ්‍යක්ෂ විදියට කටයුතු කළේ මලිත් රණසිංහ. ඔහු තමයි තරඟය සංවිධානය කළේ. මාව ඒ වෙනුවෙන් පුහුණු කළේ නිලූ සේනානායක සහ අර්ජුන සේනානායක. මං මාස ගණනාවක් එකදිගට පුහුණුවීම් කළා. මගේ ඇඳුම් සහ මෝස්තර නිර්මාණය සිදුකළේ යසඉසුරි කිරිබණ්ඩාර. දැන් ලොකුම හීනය තමයි පළවැනි වතාවට විවාහක විශ්ව රූ රැජින කිරුළ ලංකාවට අරන් එන එක. ඒ වෙනුවෙන් මං උපරිම මහන්සි වෙනවා.”

විශ්ව රූ රැජින තරඟයට දිගු ඉතිහාසයක් තිබුණත් එහිම දිගුවක් වන විවාහක විශ්ව රූ රැජින තරඟයක් මුලින්ම සංවිධානය කරලා තියෙන්නේ 2007 අවුරුද්දේ ඉඳන්. කොහොමින් හරි ලෝක මට්ටමින් පැවැත්වෙන එම විවාහක විශ්ව රූ රැජින තරඟය එළැඹෙන දෙසැම්බරයේ දකුණු කොරියාවේ පැවැත්වෙනවා. දැනට රටවල් 98ක තරඟකාරියන් ඒ වෙනුවෙන් ඉදිරිපත්වීමට නියමිත බවයි ආරංචිය. ඉතින් ඒ වෙනුවෙන් ලංකාව නියෝජනය කරලා ජයග්‍රහණයක් මෙරටට ගේන්න හංසනී මේ දවස්වල ලොකු හීනයක ඉන්න බවයි අපිත් එක්ක කිව්වේ.

මීට කලින් විවාහක ලෝක රූ රැජින කිරුළු දෙකක් ලංකාවට ගේන්න රෝසි සේනානායකත්, කැරෝලයින් ජූරිත් සමත්වුණා. ඒත් තවමත් විවාහක විශ්ව රූ රැජින ජයග්‍රහණයක් අපේ රටට ලැබිලා නෑ. මං උපරිම කැපවෙනවා ඒ කිරුළ අපේ රටට ගේන්න. කෙනෙක් හිතනවා නම් ඒ ජයග්‍රහණයට ලස්සන විතරක් තිබුණම ඇති කියලා ඒක විහිලුවක්. මොකද දැනුම, බුද්ධිය, ශක්තිය, පෞරුෂය වගේ ගොඩාක් දේවල් ඒකට ඕන. ඉතින් මං පෞද්ගලිකව ඒ හැමදේම වෙනුවෙන් මහන්සි වෙනවා. එක පැත්තකින් මං දුවලා දෙන්නෙක් ඉන්න මවක්. තවත් පැත්තකින් බිරිඳක්. ඊළඟට ගෘහනියක්. ඒ වගේම මං රැකියාවක් කරනවා. ඉතින් මට ලොකු අභියෝගයක් කාලය කළමනාකරණය කරගෙන මේ තරඟය වෙනුවෙන් මහන්සි වෙන එක. ඒත් රට ඒ වෙනුවෙන් මං මහන්සි වෙනවා.”

 

*හංසනී මෙතැනට එද්දි ප්‍රතික්ෂේප වුණු තැන් තියෙන්න ඇති. කකුලෙන් ඇදපු මිනිස්සු ඉන්න ඇති. එහෙම නේද?

මං මේ තරඟයට සූදානම් වෙද්දිත් සමහරු කිව්වා ඔයාට ඕක කරන්න අමාරුයි කියලා. ඒත් මං හිතුවා පටන්ගත්ත දේ ඉවරකරලා මිසක් පස්ස බලන්නේ නෑ කියලා. ඇත්තටම කිව්වොත් මාව ප්‍රතික්ෂේප කරපු මිනිස්සු, මගේ කකුලෙන් ඇදපු මිනිස්සු තමයි මට මේ ගමන එන්න ලොකුම අභිප්‍රේරණය වුණේ. මං ඒ හරහා ගොඩාක් ශක්තිමත් වුණා. ඒ වගේම මගේ පවුලේ අය මට ගොඩාක් උදව් කළා. මගේ දුවලා දෙන්නා තාම පොඩියි. ඒත් එයාලා තමයි බලෙන් වගේ මාව ජිම් එකට පවා යැව්වේ. මගේ රැකියා ස්ථානයත් මතක් කරන්න ඕන. ඔවුන් මට තරඟය වෙනුවෙන් ලොකු නිදහසක් දුන්නා.”

මේ වෙනකොට හංසනී කියන්නේ වයස අවුරුදු තිස්ගණන්වල පසුවෙන යුවතියක්. ඒත් ඇය දැක්කම නම් ඇයට එච්චර වයසක් කියන්න බෑ. ඒ ගැන අපි ඇයගෙන් අහද්දි හිනාවෙන ගමන් ඇය කිව්වේ මෙන්න මෙහෙම කතාවක්.

මං පුංචි කාලේ ඉඳන්ම මගේ රූපය ගැන හිතුවා. දැන් මට අවුරුදු 35ක්. ඒත් අදටත් මගේ වයස ඇහුවම සමහරු පුදුම වෙනවා. අනේ බොරු කියන්න එපා කියනවා. ඔයාට හරි පොඩි පෙනුමක් තියෙන්නේ කියනවා. දුවලා එක්ක යද්දි වුණත් සමහරු දුවලගෙන් අහනවා මේ ඔයාලගේ අක්කද කියලා. මං කියන්නේ ගෑනු ළමයෙක් වුණාම පුංචි කාලේ ඉඳන්ම තමන්ගේ පෙනුම ගැන හිතන්න ඕන. කෙනෙක් හිතනවා නම් විවාහයෙන් පස්සේ ඔක්කොම ඉවරයි කියලා එහෙම නෑ. මට නම් වයස කියන්නේ තවත් එක ඉලක්කමක් විතරයි.”

පිරිමිත් එක්ක ගත්තම විවාහයෙන් පස්සේ කාන්තාවකට එන වගකීම් සමුදාය වැඩියි. ඒ නිසාමදෝ වැඩිදෙනෙක් විවාහයෙන් පස්සේ කරන්නේ තමන්ගේ හීන බලාපොරොත්තු හිතේම දියවෙන්න ඇරලා කුස්සියට කොටුවෙන එක.

මං දන්න විදියට හැම ගැහැනියක් තුළම කුස්සියෙන් එළියට පැනලා දුවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. මමත් එහෙම කෙනෙක්. මං එහෙම දුවපු නිසයි අද මං මෙතැන ඉන්නේ. ඒත් එහෙමයි කියලා මගෙන් පවුලට වෙන්න ඕන යුතුකම් වගකීම් ටික මං මගඇරගෙන නෑ.”

උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දෙහිවල, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට පාසල් ගිය ඇය ඒ කාලේ ඉඳන්ම ටිකක් දඟ චරිතයක් කියලයි අපිට කිව්වේ. මේ අතරේ ඇගේ පෙනුමත් එක්ක රංගනයට අවස්ථාවක් ලැබුණොත් බාරගන්නවද කියලත් අපි නිකමට ඇහුවා.

මං ගීත රූප රචනා සහ වෙළඳ දැන්වීම් කීපයකම පෙනී ඉඳලා තියෙනවා. ඒ නිසා රංගනය අලුත් අත්දැකීමක් නෙවෙයි. ඒ නිසා හොඳ නිර්මාණයකට දායක වෙන්න ලැබුණොත් සලකලා බලනවා.”

කතාබහ අවසන් කරමින් හංසනී එහෙම කිව්වේ මෙතෙක් ඇය හිසේ දරන් හිටපු කිරුළ අතට ගන්න ගමන්. ඉතින් එළැඹෙන දෙසැම්බරයේ විවාහක විශ්ව රූ රැජින කිරුළ මෙරටට ගේන්නට ඇයට ‘ධරණී’ වෙනුවෙන් අපිත් සුබ ප්‍රාර්ථනා කළා. ඒ අවස්ථාවේ අතට ගත් කිරුළ නැවත හිස මත රඳවාගනිමින් ඇය සමස්ත ලාංකීය කාන්තාවන් වෙනුවෙන්ම මෙන්න මෙහෙම හරි අපූරු කතාවකුත් කිව්වා.

මං විශ්වාස කරනවා හැම ගැහැනියකගේම හිසේ කාටත් නොපෙනෙන ඔටුන්නක් තියෙනවා. ඒ නිසා මං හිතනවා හැම ගැහැනියක්ම රැජිනක් කියලා. අපි හැසිරෙන විදියෙන්, කතාකරන විදියෙන්, තීරණ ගන්න විදියෙන්, අරමුණුවලට යන විදියෙන් වගේම ජීවත්වෙන විදියෙන් අර කාටත් නොපෙනෙන ඔටුන්න අපිට දකින්න පුළුවන්. අද සැබෑ ඔටුන්නක හිමිකාරියක් වෙන්න මට ඒ මං විතරක් දැක්ක වෙන කවුරුත් නොදැක්ක ඔටුන්න ලොකු ආශිර්වාදයක් වුණා. ඉතින් රටේ හැම ගැහැනියක්ම ඒ ඔටුන්න තමන්ට ආශිර්වාදයක් කරගත්තොත් සුන්දර ගමනක් යන්න පුළුවන්.”

 

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප ක්‍රිෂාන් කාරියවසම්