දෙන්නට දෙන්නා හොර රහසේ මේ වැඩේ කරලා බලන්න
අද පවුල් ජීවිතවල වැඩි හරියක් අවුල් ඇතිවෙලා තියෙන්නේ ඔබට ජීවිතේ ගැන තියෙන අවබෝධය මදි හින්දා. සමහර ආරවුල් ඇතිවුණාම ඒ ආරවුලට හේතුව තේරුම් ගන්න ඔබට අවබෝධයක් නෑ. ආරවුලක හේතුවක් තේරුම් ගත්තොත් විතරයි ඒ හේතුව නැතිකරලා ආරවුල නැතිකරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ගොඩාක් අය අතින් සිද්ධවෙන්නේ ඇතිවුණු ආරවුලට විකල්ප පිළිතුරු හොයාගෙන ගිහින් තව තවත් ඒ ආරවුල් දික් ගස්සගන්න එක. ඒ නිසා ජීවිතවල ඒ විදියට ඇතිවෙන ආරවුල් දුරදිග නොයවා විසඳගන්න උපකාරී වෙන වටිනා කාරණා තුනක් අපි ඔබට කියලා දෙනවා. ඒ තමයි බුදුරජාණන්වහන්සේ දේශනා කරපු ඛමා, දමා සහ සමා කියන ප්‍රතිපදා තුන. ඒ අතරින් මං කැමතියි අද ‘ඛමා’ කියන ප්‍රතිපදාව ගැන ඔබට කියලා දෙන්න.
‘ඛමා’ කියන්නේ ඉවසීමට. විවාහ ජීවිතේ ගත්තොත් ස්වාමියා හෝ බිරිඳ තමන් අකමැති දෙයක් කරද්දී, අකමැති වචන කතා කරද්දී ඔබට ඉවසන්න පුළුවන් නම් ඒකට තමයි අපි ඛමා ප්‍රතිපදාව කියලා කියන්නේ. හැබැයි අද බහුතරයක් පවුල් ජීවිතවල අපිට දකින්න ලැබෙන්නෙ මේකෙ අනිත් පැත්ත.
අක්කෝසන්තං පච්චක්කෝසති
රෝසන්තං පටිරෝසති
භණ්ඩන්තං පටිභණ්ඩති
ඒ ගාථාවෙන් කියවෙන විදියට බණිනකොට ආපස්සට බණින්න හිතෙනවානම්, ගැටෙන කෙනෙක් එක්ක ආපස්සට ගැටෙන්න හිතෙනවානම්, ගහද්දි ගහන්න හිතෙනවානම් ඒක තමයි අක්ඛමා පටිපදාව. නමුත් භාග්‍යවතුන්වහන්සේ දේශනා කරනවා,
අක්කෝසන්තං න පච්චක්කෝසති
ආක්‍රෝශ කරන කෙනාට පෙරළා ආක්‍රෝශ කරන්නෙ නැත්නම්, සරලවම කිව්වොත් බණිනකොට බැණුම් අහගෙන ඉන්න පුළුවන්නම්,
රෝසන්තං න පටිරෝසති
ගැටෙනකොට පෙරළා නොගැටී ඉන්න පුළුවන්නම්,
භණ්ඩන්තං න පටිභණ්ඩති
කවුරුහරි තමන්ට ගහද්දි ගුටිකාගෙන ඉවසගෙන ඉන්න පුළුවන්නම් ඒක තමයි අපි ජීවිතේ පුරුදු පුහුණු කළ යුතු ඛමා ප්‍රතිපදාව කියලා.
දැන් බලන්න විවාහ ජීවිත ගතකරන ඇතැම් අයගේ පවුල් ජීවිතවල අපි දකිනවා බිරිඳ බණිද්දි සැමියත් බණිනවා. සැමියා බැණ්නොත් බිරිඳත් අනිත් පැත්තට බණිනවා. නැත්නම් ගැහුවොත් ගහනවා. එහෙම වුණාම ඇතිවෙච්ච ආරවුල දික්ගැස්සෙනවා මිසක් විසඳෙන්නෙ නෑ.
ටිකක් කල්පනා කරලා බැලුවොත් ඔබට තේරුම්යාවි මොන කාරණාවලටද අපි මේ මෙච්චර ගැටෙන්නෙ කියලා. හිතන්න අපිට මොකක්හරි අපේක්ෂාවක් තියෙනවා කියලා. අපි ඒකට ගොඩක් බැඳිලා නම් ඉන්නෙ ඒ අපේක්ෂාව ඉෂ්ඨ කරගන්න අපි සටන් කරනවා.
සමහරවිට ඒක මහලොකු අපේක්ෂාවක් නොවෙන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් ඔබට ගෙදර ටීවී එක බලද්දි ඔබ කැමති රූපවාහිනී නාළිකාවක් සුසර කරගන්න වෙනවා. හැබැයි ඔබේ බිරිඳට හෝ ස්වාමියාට ඒ මොහොතේ බලන්න අවශ්‍ය නාළිකාව ඒක නොවෙන්න පුළුවන්. ඉතාම පුංචි අපේක්ෂාවක්. හැබැයි දුරදිග හිතන්නෙ නැතුව ගැටෙන්න ගියොත් ඒ පුංචි දේත් ඇති ලොකු ආරවුලක් ඇති කරන්න.
බහුතරයක් පවුල් ජීවිත ගත්තොත් මේ වගේ අදහස් නොගැළපීම නිසා ආරවුල් ඇතිවෙන අවස්ථා ඕනතරම් තියෙනවා.
එහෙම නොගැළපෙන අදහස් තියෙන තැන්වලදී එක්කෙනෙක් විතරයි නම් ඉවසන්නේ එයාට කාලයක් යද්දි හිතෙන්න පුළුවන් ඇයි මම විතරක් ඉවසන්නෙ කියලා. ඇයි එයාට මං වෙනුවෙන් එහෙමවත් කැපකිරීමක් කරන්න බැරි කියලා. අනිත් කෙනා තමන් වෙනුවෙන් ඉවසයි කියලා හිතන එකත් අපේක්ෂාවක්.
ඒ නිසා දරුවනි හොඳට මතක තියාගන්න, මේ අපේක්ෂාව කියන්නෙ බරක්. මේ බරෙන් නිදහස් වෙන්නනම් අපි ජීවිතේ පුරුදු කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි උපේක්ෂාව. උපේක්ෂාව කියන්නෙම සැහැල්ලුවක්.පවුල් ජීවිතවල තියෙන මේ අදහස් නොගැළපීම ගැන තේරුම්ගන්න මම තව උපමාවක් කියන්නම්. වහලක පරාල දෙකක් මූට්ටු කරන්න යනවා කියලා හිතන්න. එතකොට ඒ වැඩේ පහසු වෙන්නනම් පරාල දෙකේ යම්කිසි කැපීමක් කරලා පොඩි කට්ට දෙකක් හදාගන්න ඕන. හැබැයි ඒකට එක පරාලයක් විතරක් කපලා බෑ. දෙකෙන්ම සමාන කොටස් දෙකක් කපලා අයින් කරගත්තොත් විතරයි පරාල දෙක ශක්තිමත්ව සවි කරගන්න ලැබෙන්නෙ. එහෙම කළාම ඒක දීර්ඝ කාලයක් පවතිනවා. මොකද ඒක ලේසියෙන් බිඳින්න බැරි ශක්තියක් නිසා.
පවුල් ජීවිතත් හරියට මේ පරාල දෙකේ කතාව වගෙයි. සමහරවෙලාවට අපිට අනිත් කෙනාගෙ හැඟීම්, අපේක්ෂා තේරුම් අරගෙන අඩියක් පස්සට ගන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක එක්කෙකෙන් කරලා බෑ. දෙන්නම කරන්න ඕන. එතකොට තමයි දෙන්නගෙ බැඳීම ශක්තිමත් වෙලා පවුල් ජීවිතේ ශක්තිමත් වෙන්නෙ. එහෙම නැතුව වටෙන් පිටෙන් මුක්කු ගහලා පවුල් ජීවිත ශක්තිමත් කරගන්න බෑ.
ඒ වගේම තව දෙයක්. දෙන්නා කැත්තට පොල්ල වගේ ඉන්න ගමන් මේ කට්ටෙ කපාගන්න බෑ. ඒකට හැඟීමක් තියෙන්න ඕන. එහෙනම් කොහොමද ඒ හැඟීම ඉස්මතු කරගන්නෙ?
ඒකට දරුවනි අපි තුළ විශේෂ ගුණයක් තිබිය යුතුයි. ඒ ගුණය තමයි අනෙකාගේ ගුණ දැකීමට තියෙන හැකියාව. හැබැයි මේ හැකියාව හැමෝටම නෑ.
බැලූ බැල්මට කෙනෙකුගේ නුගුණ කොයිතරම් තිබුණත්, ඒ උඩින් පේන නුගුණට වඩා හැංගිච්ච ගුණ ඕනතරම් තියෙන්න පුළුවන්. ඒක හරියට මේ වගෙයි.
හිතන්නකෝ අධික වතුර පිපාසාවෙන් පෙළෙන කෙනෙක් බොහොම අමාරුවෙන් විලක් හොයාගෙන කැලෑවක යනවා කියලා. ඔහොම ගිහින් බොහොම වෙහෙසිලා විලක් හොයාගන්නවා. විලේ යට වතුර තියෙනවා. හැබැයි උඩ සෙවල, පරඬැල් පිරිලා. හැබැයි අර පුද්ගලයා වතුර බොන එක ප්‍රතික්ෂේප කරාවිද? නෑ. මොකද වෙලාවෙ හැටියට අමාරුවෙන් හොයාගත්තු මේ විල සෑහෙන්න වටිනවා. ඒ නිසා අර සෙවල, පරඬැල් ටික අත් දෙකෙන් ඈත්මෑත් කරලා වතුර ටික බොනවා වගේ තමන්ගේ ස්වාමියාගේ හෝ බිරිඳගේ මතුපිටින් දකින දොස් ටික හිතින් ඈත්මෑත් කරලා අභ්‍යන්තර ගුණ දකින්න පුරුදු වෙන්න කියලා කියනවා. එහෙම කරනකොට එයා ගැන අකමැත්තක්, අප්‍රසාදයක් හිතේ තියෙනවා නම් ඒක නැතිවෙලා යනවා. ඒ වෙනුවට එයා ගැන යම්කිසි ආකාරයක ඇගයීමක් අපේ හිතේ ඇතිවෙනවා. අන්න ඒ ඇගයීම තිබුණොත් විතරයි අපිට එයා වෙනුවෙන් ඉවසන්න පුළුවන් වෙන්නේ.
ඒ නිසා විවාහ ජීවිතයක් ඇතුළෙ ඉවසීම වැඩි කරගන්න නම් තමන්ගේ ස්වාමියා හෝ බිරිඳ ගැන හිතේ තියෙන ඇගයීම වැඩි කරගන්න වෙනවා. හැබැයි ඔබ පුරුදු වෙලා ඉන්නෙ අනිත් කෙනාගෙ වැරදි අඩුපාඩුම දකින්න නම් මේ වැඩේ මුලදි ටිකක් ආමරුයි. ඒ නිසා මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් සැලැස්මක් මම ඔබට කියන්නම්.
ඔබ මේ වැඩේට පුංචි පොතක් අරගන්න. ඊටපස්සෙ එයාට හොරෙන් අඩුම ගානේ දවසකට එයාගේ එක ගුණයක් හෝ හොයාගෙන මේ පොතේ ලියන්න. එයා කරන කියන දේවල් මතක් කරලා ‘අනේ එයා ඒ දේ කරන්නෙ මට පොඩි හරි ආදරයක් තියෙන නිසානේ’ කියලා හිතලා දවසට එක ගුණයක් හරි හොයාගෙන ලියන්න. මම කියන්නෙ ඔබට අනිත් කෙනාගෙ ගුණ දකින එක එච්චරම අමාරුනම්. ඊටපස්සේ ඒ පොත එයාගේ උපන්දිනේ දවසට උපන්දින තෑග්ගක් විදියට දීලා බලන්න. ඒක දැක්කම එයාට ගොඩක් ආදරේ හිතෙයි. එයාටත් ඔබ ගැන හිතේ ඇගයීමක් ඇතිවෙන්න ගනියි. එතකොට එයත් ඔබේ ගුණ සිහිකරාවි. ඔය විදියට දෙන්නාට දෙන්නගේ ඇගයීම වැඩිවෙලා ඉවසන්න ඕන තැන්වල ආයාසයකින් තොරව ඉවසන්න පුළුවන් වෙයි. එතකොට අපේක්ෂා ඉෂ්ඨ නොවුණත් උපේක්ෂාවෙන් ඒවා දරාගන්න පුළුවන්කම ලැබෙයි. තමන්ගේ හිතේ කෙනෙක් ගැන ඇගයීමක් තියෙද්දී එයා මොන වැරැද්ද කළා වුණත් අපිට ඒ දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන්කම ලැබෙනවා. ජීවිතේ සතුටින් ඉන්නනම් අනෙකාගේ ගුණ දැකිය යුතුමයි. ඒ නිසා මේ වැඩේ කරලා බලන්න. මම ඔබට පොරොන්දු වෙනවා වැඩිකල් යන්න කලින් ඔබට ප්‍රීතිමත් විවාහ ජීවිතයකට මඟ හැදෙනවාමයි.
මං මේකට තව උදාහරණයක් කියන්නම්. අපේ භාග්‍යවතුන්වහන්සේ වැඩ ඉන්න කාලෙ එක්තරා බිරිඳක් හිටියා. ඇගේ නම තමයි ථේරිකා. අතීත ජීවිතවල ගොඩක් බුදුවරු ඇසුරු කරලා බොහෝ පින් තිබුණු කෙනෙක්. විවාහ වෙලා ටික කාලයක් යද්දී ථේරිකාට ධර්ම දේශනාවක් ඇහිලා අර පින මතුවෙලා ජීවිතේ ගැන අවබෝධ වෙන්න පටන්ගන්නවා. ඊටපස්සේ මෙයාට හිතෙනවා මට දැන් මහණවෙන්න ඕන කියලා. මේ ථේරිකා කියන්නේ කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ කාලෙ මහණ වෙලා උපසම්පදාව ලබපු කෙනෙක්. ඉතින් ඒ සංසාර පුරුද්ද තමයි මේ භවයෙත් ඉස්මතුවුණේ. නමුත් එයාගේ ස්වාමියාට මේක තේරුණේ නෑ. ඒ නිසා මහණ වෙන්න යන්න ඉඩ දුන්නෙ නෑ.
හැබැයි තමන්ගේ අපේක්ෂාව ඉෂ්ට වුණේ නෑ කියලා ථේරිකා ආවේගශීලී වෙලා ගැටෙන්න ගියේ නෑ. එයා කල්පනා කළා ‘මහණ වෙන්න මට තව පින් මදිව ඇති. ඒ නිසා ගිහි ජීවිතයේ ඉන්න ගමන් මං ඒකට අවශ්‍ය කුසල් රැස්කර ගන්නවා’ කියලා.
පස්සේ දරුවො හදලා ඒ දරුවොත් එක්ක බොහොම පින්වත්ත විදියට ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩමින් ජීවත්වෙලා ථේරිකා ජීවිතේ ජීවිතේ මැදි වයසට ආවා. හැබැයි මහණ වෙන්න තිබුණු කැමැත්ත පොඩ්ඩක්වත් අඩු වුණේ නෑ. මහණ වෙන්න ඉඩ දුන්නෙ නෑ කියලා ඒක හිතේ තියාගෙන මහත්තයා එක්ක ගැටීම් ඇති කරගෙන පවුල් ජීවිතේ අවුල් කරගත්තෙත් නෑ.
දවසක් ඔහොම ඉන්නකොට ථේරිකා ලිපේ මැල්ලුමක් තියලා වෙන වැඩක් කරනවා. ඒ අතරෙ මැල්ලුම රොස්වෙන බව මෙයාට දැනුණා. ඊටපස්සෙ අර රොස් ගඳ දිහා අනිත්‍ය සංඥාවෙන් බලලා මනසිකාර කරද්දී ථේරිකා ලිප ළඟ ඉන්න ගමන්ම අනාගාමී වුණා. අනාගාමී වුණාට පස්සේ කාමය ගැන තිබුණු කැමැත්ත සංයෝජනයක් විදියටම දුරු වුණා. ඊටපස්සේ දාගෙන ඉඳපු සියලු ආභරණ ගැලෙව්වා. වෛර්ණ ඇඳුම් අඳින එක නතර කළා. දැන් ස්වාමියාට හරි පුදුමයි. එයා ථේරිකාගෙන් ඇහුවා මොකක්ද මේ වෙනසට හේතුව කියලා.
එතකොට කියනවා මම සංයෝජන පහක් දුරුකරලා අනාගාමී වෙච්ච කෙනෙක්. පුළුවන්නම් මට මහණ වෙන්න අවසර දෙන්න කියලා.
ඊටපස්සේ අර ස්වාමියා ඇගේ ගුණ සිහි කරලා බොහෝ ගරුසරු ඇතිව රාජ ලීලාවෙන් ආරාමයට එක්කරගෙන ගිහින් පැවිද්දට භාරදෙනවා. පැවිදි වුණාට පස්සේ ථේරිකා භික්ෂුණීන්වහන්සේ බුදුරජාණන්වහන්සේගෙන් අරහත්වයට උපදෙස් ඉල්ලුවා. බුදුරජාණන්වහන්සේ ඇයට උපදෙස් දෙනවා අර මැල්ලුම රොස් වෙච්ච වෙලාවේ විමසපු මනසිකාරයටම තවදුරටත් හිත හසුරුවන්න කියලා. මැල්ලුමේ තෙත ගතියට උණුසුම එකතු වෙද්දී තෙතගතිය නැතිවෙලා මැල්ලුම රොස් වුණා වගේ තෙත් වෙච්ච අකුසල් ප්‍රඥාවෙන් උණුසුම් කර කර අකුසල් හිත මලවලා දාලා අවසන ඇය රහත් භික්ෂුණියක් බවට පත්වෙනවා.
ඒ නිසා අපේක්ෂාවට මුල්තැන නොදී උපේක්ෂාවට මුල්තැන දුන්නොත්, ඇගයීම මුල් කරගෙන අනෙකාව ඉවසුවොත් ඔබේ අරමුණත් මුදුන්පත් කරග්නන පුළුවන් දවසක් එයි. හැබැයි අපේක්ෂා ඉටු නොවෙද්දී දිගින් දිගටම ගැටෙන්න ගියොත් ආරවුල් දික්ගැස්සිලා නැති ප්‍රශ්න ඇතිවෙයි. එතකොට ජීවිතේ කිසි සතුටක් නෑ.
ඒ නිසා අද ඉඳලා අනිත් කෙනාගෙ ගුණ දකින්න පුරුදු වෙන්න. අදම අර පොත අරගෙන ලියන්න පටන්ගන්න. ඒක ඔබේ ජීවිතයේ සතුටු උල්පත පාදාගන්නා පොත බවට පත්වේවි.
ඔබ සැමට තෙරුවන් සරණයි!
රුවන් එස්. සෙනවිරත්න