වැරැද්දක් වුණාම හංවඩු ගහන පිරිමි අතරේ දහම් මට සමාව විතරක් නෙවෙයි ආදරෙත් වැඩියෙන් දුන්නා
‘හැමදේම වෙන්නේ හොදට…’ මොනා හරි වුණාම හිත හදාගන්න විතරක් ඒ වචන තුන හොඳයි කියලා ගොඩක් අය කිව්වාට, මට ජීවිතේ ලැබුණ අත්දැකීම්වලට අනුව නම් මං විශ්වාස කරනවා ‘ඇත්ත, හැමදේම වෙන්නේ හොඳට…’ කියලා
ජීවිතේට සමහර නරක කාල එනවා, ඉවසන්න අමාරු වෙලාවල් එනවා. එවලෙට අපිට ජීවිතේ එපා වුණාට, මැරෙන්න ඕන කියලා හිතුණට ඒ නරක කාල එක්ක ගැටිලා ශක්තිමත් වුණාම සමහර දේවල් වෙද්දි ‘මේවත් ප්‍රශ්නද?’ කියලා හිතෙන තරමට අපි හිතින් හයිය වෙනවා. ඉවසන්න අමාරු වෙලාවල්වල ඉවසලා ලැබුණ පන්නරය නිසාම අමාරු තැන්වලදි අපි ලේසියෙන් දිනනවා. ඉතින් ඒ නිසාම මං විශ්වාස කරනවා හැමදේම වෙන්නේ හොඳට තමයි කියලා.
දහම් මට හැමවෙලේම කියන දෙයක් තියෙනවා. ඒ තමයි, ‘‘හැමදේටම වෙලාවක් තියනවා, හොඳම වෙලාව එනවා, ජීවිතේ වෙන හැමදේම වෙන්නේ හොඳට කියලා හිතලා ඒවාට මූණ දෙන්න’’ කියලා.
අදත් මේ ලියන්නේ මගේ එහෙම අත්දැකීමක්.
අපිට නතාරි දූ ලැබිලා, ඒ ළඟම ඔවින්යා දූ ලැබෙන්න ආවම මං හිටියේ ගොඩක් මානසිකව වැටිලා. දහම් එයාගේ උපරිම සහයෝගේ දෙද්දීත් මට තිබුණේ කළකිරීමක්. කිසිම දෙයක් තේරුම්ගන්න පුළුවන් මානසිකත්වයක නෙවෙයි මම හිටියේ. දහම් මට තේරුම් කරත් මම එයාට බණිනවා ‘‘ඔයාට මාව තේරුම්ගන්න බැරිද?’’ කියලා. දහම් වෙන රටකට, වෙන පළාතකට දවස් ගණන් වැඩවලට යද්දී මං හැමදාම රණ්ඩු වුණා. ඔය කාලෙම ඔවින්යා දූත් ලැබුණා. ඒ කාලෙ තවත් මානසිකව වැටිලා මං තවත් කළකිරුණා. මේ ගෙවෙන්නේ මගේ ජීවිතේ හොඳම කාලයක් කියලා තේරුම්ගන්න බැරි තරමටම මට මාව එපා වුණා. තව මං නතාරි දූ ළඟටම ඔවී දූ ලැබුණ එකට දොස් කිව්වෙත් දහම්ට. මොනතරම් මෝඩ දේවල්වලටද මං රණ්ඩු වෙලා තියන්නේ කියලා දැන් නම් මතක් වෙද්දී හිනා යනවා.
ඔවී දූ ලැබිලා එයාට අවුරුදු දෙක පිරුණාම අපි ලංකාවට ආවා පොඩි නිවාඩුවකට. මං ජපානෙන් එද්දිම දහම්ට කිව්වා ‘‘අපි දූලා දෙන්නා අම්මලා ගාව තියලා, එළියට ගිහින් එමු. මෙහෙදි එහෙම දරුවෝ තියලා අපි දෙන්නට විතරක් එළියට ගිහින් එන්න චාන්ස් එකක් ආපහු ලැබෙන්නේ නෑනේ. මට ආසයි ඔයා එක්ක පොඩ්ඩක් තනියෙන් ගෝල්ෆේස් පැත්තට ගිහින්, මං ආස ඉස්සෝ වඩයක් කාලා, පොඩ්ඩක් ඇවිදලා එන්න’’ කියලා. ඒත් දහම් මොකුත්ම කීවේ නෑ. ලංකාවට ආවට පස්සෙත් මං ඒ යෝජනාව කළාම දහම් මට කිව්වා, ‘‘රෝසී, මං ආස නෑ දරුවෝ කා ළඟවත් තියලා යන්න, අපි දෙන්නට එහෙම යන්න ඉක්මනට කාලයක් ඒවී, අපි මේ පොඩි කාලේ ඉවසමු’’ කියලා.
එවලේ මට හොඳටම කේන්ති ගියා. ‘‘ආච්චි සීයා ගාවනේ දරුවො තියලා යන්නේ, මට ඔයා එක්ක එළියට ගිහින් එන්න ආස නිසානේ යමු කිව්වේ, දරුවෝ එක්ක ගියාම මට තැන විතරයි වෙනස් වෙන්නේ වෙන කිසි දෙයක් නෑ. ඔයාට මං වෙනුවෙන් එහෙමවත් වෙලාවක් නැද්ද? ඕනනම් පැයක් යාවී’’ කියලා පුදුමාකාර කේන්තියකින් තව දේවල් කිය කිය මං දහම්ට බැන්නා.
මං හිටියේ පීඩනයකින් කියලා දහම් තේරුම් ගත්ත හින්දාද මංදා එයා මට වචනයක්වත් කිව්වේ නෑ. පස්සේ මට කිව්වා, ‘‘මේ අපි දෙන්නාගේ දරුවෝ මට මගේ දරුවෝ දෙන්නා එක්ක තියලා යන්න විශ්වාස එකම කෙනා ඔයා. ඒ ඔයා එයාලාගේ අම්මා නිසා. මෙයාලා ඉපදුණේ හැදුනේ ලංකාවේ නෙවෙයි. එයාලාව මෙහෙට හුරු නෑ. මෙහේ අයට හුරු නෑ. අපේ දරුවන්ගේ ඕනෑ එපාකම් මෙහේ අය දන්නේ නෑ, දන්නේ අපි. ඒ නිසා මං කැමති නෑ මගේ දරුවෝ කාටවත් වදයක් කරදරයක් වෙනවට. ඒකයි මං අපි දෙන්නාගෙන් කවුරුවත් නැති තැනක එයාලව තියන්න අකමැති. ඔවී අපි නැති තැනක ඉන්න ආස නෑ ඒක ඔයා දන්නවානේ. අපි දෙන්නට තනියෙන් එහෙ මෙහෙ යන්න කාලයක් එයි, ඒ වෙලාව එනකන් ඉවසන්න. මේ පුංචි කාලෙ තමයි අපි දරුවෝ ළඟම ඉන්න ඕනේ.’’
ඉතින් දහම් ඔහොම තේරුම් කරලා කිව්වාමත් මං හිටියේ මගේ මතේමයි. මං ඇත්තටම ඒ කාලේ ටිකක් මුරණ්ඩුයි. ඉතින් මට දහම් ගැන කළකිරුණා. මට හැමවෙලේම හිතුණා එයාට මං වෙනුවෙන් වෙලාව නෑ. රෑ නිදියන ටිකට විතරයි මාව ඕනේ. ඊටපස්සේ මං ගැන වගේ වගක් නෑ. මට කොච්චර උදව් කළත්, ආදරෙන් දේවල් තේරුම් කළත් මට දහම් ගැන කළකිරුණා.
මට දහම් කියන හැම වචනයක්ම ඇත්ත කියලා තේරුණේ මගේ අතින් වැරදි වෙලා ඒ වැරදිවලින් ඇත්දැකීම් ලැබිලා මං ජීවිතේ ඉගෙනගනිද්දී. ඒත් මං එදා මට ඇයි මේවා නොතේරුණ් කියලා දුක් වුණේ නෑ. පහුවෙලා තේරුම් ගත්ත එක ගැන සතුටු වුණා.
අයාන් පුතාත් ලැබුනාට පස්සේ අපි මැලේසියාවට ආවා ටික කාලෙකට. දහම් රැකියාව කළ තැන ව්‍යාපෘතියකට ආවේ. දිගුකාලීන ව්‍යාපෘතියක් නිසා මුළු පවුල පිටින්ම යන එක සාමන්‍ය සිරිත. අයාන් පුතාවත් එහෙදී පෙරපාසලකට දැම්මාට පස්සේ, දහම් මං වෙනුවෙන් හැම මාසෙකටම සැරයක් නිවාඩුවක් දැම්මා. පැටව් තුන්දෙනාම ඉස්කෝලේ ගියාම පැය පහක් තිබුණා අපි දෙන්නාට රෝන්දේ යන්න. මං ඒකට කිව්වේ ‘අපේ ආදරණීය පැය පහ’ කියලා.
මගේම වැරැද්දක් නිසා මංම හිතින් විඳව විඳව ඉඳපු කාලයක් ඒක. ඒ කාලෙදී දහම් එයාගේ ආදරේ මට උපරිමෙන් අඩු නැතුව දුන්නා. ගෑනියෙක්ගෙන් වැරැද්දක් වුණාම පුළුවන් තරම් ඒ ගෑනිව හංවඩු ගහන පිරිමි අහලා, දැකලා තිබුණාට හැම පිරිමියෙක්ම එහෙම නෑ කියලා දහම්ගෙන් මං තේරුම්ගත්තා. මගේ ජීවිතේ මගෙන් වුණ වැරදි හිමීට හදන ගමන්, ආදරෙන් තේරුම් කරන ගමන් මගේ ජීවිතේට ආපහු සදාකාලික වසන්තයක් දහම් අරන් ආවා. එතැන ඉඳන් මං දහම්ට ආපහු අලුතෙන් ආදරේ කරන්න ගත්තා.
මැලේසියාවේදී වගේම ජපානෙට ආවාමත් දහම් නිවාඩුවක් දාලා මං එක්ක පොඩි රෝන්දයක් යන්න වෙලාව හදාගන්නවා. දැන් මං දන්නවා හැමදේටම වෙලාවක් තියෙනවා. ඒ වෙලාව හොඳම විදියට නියම වෙලාවට ලැබෙනවා. පොඩ්ඩක් ඉවසන්න ඕන. ඕනම අමාරු කාලෙකට පස්සේ සුන්දර කාලයක් එනවා, ඒ වගේම දුකට පස්සේ සතුටක් සතුටට පස්සේ දුකක් එන එක ජීවිතේ ස්වභාවය. වුණ දේවල් ගැන හිත හිත දුක් වෙනවට වඩා වුණ දෙයින් හොඳ පැත්ත හිතලා ‘හැමදේම වුණේ හොඳට’ මට ජීවිතේ තේරුම් ගන්න කියලා මං දැන් දන්නවා. මගෙන් වුණ වැරදි ආයේ ආයේ නොවෙන්න මං මගේ හිතටම පොරොන්දු වෙලා මගේ දරුවෝ, මගේ දහම් මගේ ජීවිතේ සතුටු බෙහෙත් කරගෙන ජීවත් වෙනවා.
මගේ හොඳ මං දන්නේ නෑ. ඒත් මගේ වැරදි මං දන්නවා. ඒවා මං ලියන්නේ ඒ වැරදි හදාගෙන මගේ ජීවිතේ හදාගත්ත විදිය කියන්න. ඒ පණිවිඩෙන් කාගෙම හරි ජීවිතයක් හොඳ අතකට හැරෙනවා නම් මට ඒ හොඳටම ඇති.
හෂීණී මනමේන්ද්‍ර