දිව්‍යලෝකේ කොහොමද කියලා කියන්න මම එහෙ ගිහින් නෑනේ මැණිකේ
“මමා හෙවන් එකට (දිව්‍යලෝකේ) යන අය කවුද? හෙල් එකට (අපායේ) යන අය කවුද?” කියලා නතාරි එකපාරටම මගෙන් ඇහුවේ, එයාගේ කොණ්ඩේ පීර පීර ඉන්නකොට. එයාට ගොඩක් දේවල් ගැන ගොඩාක් ප්‍රශ්න තියෙනවා අහන්න. කැඩිච්ච සිංහල එක්ක ඉංග්‍රීසිත් එකතු කරලා කතා කරන්න කෙල්ල දැන් හුරුවෙලා. එයා දන්නවා මට ජපන් භාෂාව ටිකක් අපහසුයි කියලා.
“දිව්‍යලෝකේ යන්නේ හොඳ වැඩ කරන අය, නරක වැඩ කරන අය තමයි අපායේ යන්නේ” කියලා මාත් උත්තර දුන්නා.
“හෙල් එක බෑඩ් ද මමා?” ආපහු ප්‍රශ්නයක් අහනවා කියලා මං දැනන් හිටපු නිසාම මගේ මූණේ පොඩි හිනාවක් ඇඳුනා.
“යූටියුබ් එකේ වීඩියෝ තියෙනවා හෙල් එක මොන වගේද කියලා. පෙන්නන්නද?” මූණට ආපු හිනාව එක්කම මං නතාරි දූගෙන් ඇහුවාම, “නෝ නෝ මමා අයි ඩෝන්ට් වොන්ට් ටු සී” කියලා “මමා හෙවන් ෆන් ද?” කියලා ආපහු ඇහුවා. ප්‍රශ්න අහන්න ගියාම කෙළවරක් නෑ. ඒත් මං ඒවාට උත්තර දෙන්නේ ආසාවෙන්.
“මං හෙවන් ගිහින් නෑ මැණිකේ, ඒ නිසා මමා ඒ ගැන දන්නේ නෑ” කියලා උත්තර දුන්නේ තව ප්‍රශ්නයක් කෙල්ලගෙන් බලාපොරොත්තු වෙන ගමන්මයි.
“නනහා කිව්වා හෙවන් එක ෆන් කියලා” ආපහු කිව්වා. නනහා කියන්නේ නතාරිගේ යාළුවා.
නතාරිගේ කොණ්ඩේ ගොතන ගමන් ඉස්සරහ කණ්ණාඩියෙන් නතාරිගේ මූණ බලන් මං කිව්වා “නතාරී අපි මේ ඉන්න ගෙදරත් දිව්‍යලෝකයක්, අපි සතුටින් ඉන්නේ කොතැනද එතන දිව්‍යලෝකයක්.”
එතකොටම නතාරි පැත්ත හැරිලා, “ආහ්.. මමා සතුටින් නම් ෆැමිලි එක හෙවන්, මමා ඇන්ග්රි නම් ෆැමිලි එක හෙල් නේ” කිව්වා.
මගේ පැත්ත හැරුණ නතාරි දූගේ නළල ඉඹලා “මමා ඇන්ග්රි වෙන්නේ නෑ” කියලා මම කිව්වා.
“අයි ලව් යූ මමා, යු ආ ද බෙස්ට් මමා එවර්” කියලා කෙල්ල මාව තද කරලා බදාගත්තා.
ඇස් දෙක මගේ තෙත් වුණත්, මාව මගේ දරුවන්ට දැනෙන විදිය නතාරි දූගේ වචනවලින් මට දැනුණා. මගේ තරහව අපේ පවුල අපායක් කරනවා කියලත්, මගේ සතුට අපේ පවුල දිව්‍යලෝකයක් කරනවා කියලත් මට ඉගැන්නුවා.
ඇත්තමට අපේ පවුල දිව්‍යලෝකයක් වගේම අපායක් වෙන්නේ අපේ ක්‍රියාවන් එක්ක. ඒක පුංචි වුණත් දරුවන්ට හොඳටම දැනෙනවා. ඉස්සර මට පුංචි දේකට පවා නොහිතන විදියට තරහා යනවා. දැන් ඒක ගොඩාක් අඩුයි. ඒත් තව අඩු කරගන්න ඕනේ කියලා ගෙවෙන හැම දවසක දැනෙනවා.
ඔයා සතුටින් ඉන්නකොට පවුලේ සතුට රැකෙනවා කියලා දහම් කියන දේ මගේ ලොකු දුවත් එයාට දැනෙන විදියට කිව්වේ ඒකයි.
ගෙදරදොරේ වැඩ එක්ක පුංචි පීඩනයක් අපිට එන්න පුළුවන්. ඒ පීඩනේ අපි නොදැනුවත්ව අපේ දරුවෝ පිටින් යැවෙන්නත් පුළුවන්. අපි නොදැනුවත්වම අපි ගැන කළකිරවීමක් අපේ දරුවන්ගේ හිත්වලට අපි විසින්ම ඇතුල් කරනවා ඒකෙන්. ඒක ඔයාටත් වෙලා ඇති. මටත් වෙනවා. මං ඒක පුළුවන් හැම මොහොතෙම හදාගන්නවා.
මං පොඩ්ඩක්වත් කැමති නෑ මගේ දරුවන්ට මාව එපා වෙනවට. නතාරිට මහා ලොකුවට දෙයක් නොතෙරෙන කාලෙත් “මේ ලෝකේ ඉන්න හොඳම අම්මා ඔයා” කියලා මට කීවාට, මං ආස එයා ලොකු වුණාම එයාගෙන් ඒක අහගන්න. ඒ සතුට මට දිව්‍යලෝකෙ සතුටටවත් සමාන කරන්න බැරි වෙයි.
අපි අතින් වැරදි අඩුපාඩු වේවි. ඒත් පුළුවන් තරම් ඒ අඩුපාඩු දරුවෝ වෙනුවෙන් නොකර ඉන්න උත්සාහ කරන්න ඕන කියලා මට හිතුණා. ඒ නිසා මං හිතුවා මට කේන්තියක් එන හැමවෙලේම නතාරි දූ මට කිව්ව වචන ටික මතක තියාගන්නවා කියලා.
“අම්මා සතුටින් නම් පවුල දිව්‍යලෝකයක්, ඒත් අම්මා තරහින් නම් පවුල අපායක්…”
මේ වචන ටික මගේ කේන්තිය නිවලා හිතට සැනසීමක් දේවි.
හෂීණී මනමේන්ද්‍ර