පුතා කවදාහරි ගැහැනියකට අත ඉස්සුවොත් මගේ අඩුපාඩුවක් විදියටයි මං ඒක දකින්නේ
පුවත්පතට ලිපි ලියද්දි මම නිතරම තෝරාගන්නේ මගේ අත්දැකීම් සහ මගේ පවුල් ජීවිතය එක්ක බැඳුනු සිදුවීම්. ඒත් අද මං ලියන්නේ මගේ අත්දැකීමක්වත් මගේ පවුල් ජීවිතය සම්බන්ධ අත්දැකීමක්වත් නෙවෙයි. නොහඳුනන කාන්තාවක් නිසා මං විඳපු අත්විඳීමක්.
මීට අවුරුද්දකට විතර උඩදී එක කාන්තාවක් මගේ ෆේස්බුක් මැසෙන්ජරයට පින්තූරයක් එවලා තිබුණා. එහි සිටින්නේ ඇය බවත්, ඇගේ සැමියා ඇයට දරුණු විදියට පහර දුන් බවත් සඳහන් කර තිබුණා. ඒක බොහොම සංවේදී පින්තුරයක්. මූණ තඩිස්සි වෙලා නහයෙන් ලේත් පෙරාගෙන කොණ්ඩෙත් අවුල් වෙලායි ඒ පින්තූරයේ ඇය හිටියේ.
“මගේ හස්බන්ඩ් මට ගැහුවා අක්කේ” කියලා ඇය මට එවලා තිබ්බා. “ඇයි මෙහෙම ගහන්නේ මොකක්ද හේතුව?” මං ඇහුවාම “හේතුවක් නෑ මට එකපාරට ගැහුවා” කියලයි ආපහු ඇය කිව්වේ.
“නංගි ඔයාගේ අම්මාට කියන්න, මේක මට කියන්න සුදුසු දෙයක් නෙවෙයි” කියලා කියද්දි ඇය මට කිව්වේ “බෑ අක්කේ මගේ අම්මාගේ පපුව පැලිලා මැරෙයි මේවා දැනගත්තොත්” කියලා. තාත්තාට කියන්න කිව්වාම කිව්වේ “එයාට මේ වගේ දේකට පෙනී හිටින්න කොන්දක් නෑ” කියලා. එවලේ ඇයට තිබ්බ අසරණකම ගැන මගේ හිතට තද වේදනාවක් දැනුණා.
මං එතැනින් එහාට තව විසඳුමක් විදියට එයාගේ හස්බන්ඩ්ගෙ අම්මාට කියන්න කියද්දි එයා “එයාගේ පුතාව සුද්ද කරනවා අක්කේ” කිව්වා.
ඇත්තටම මට ඇයට දෙන්න වෙන විසඳුමක් තිබ්බේ නෑ. “නිකන් ගහන්නේ නෑනේ නංගි මනුස්සයෙක්, අනික ඔහොම ඔය විදියට, හේතුවක් නැතුව. ඔයාට මට කියන්න බැරිනම් කමක් නෑ ඒත් ඔයාගේ වැරැද්දක් තිබ්බත් මෙහෙම ගහන්න හොඳ නෑ. ඔයාට මොනාහරි වුණානම්” කියලා නැවත මං කියද්දී,
“නෑ අක්කේ මං මොකුත් කිව්වේ නෑ, එළියට ගිහින් සිගරට් එක බොන්න ගෙදර ඉඳන් බොන්න එපා කියලයි කිව්වේ, එතකොටයි මට ගැහුවේ. ඔළුවට හයියෙන් ගැහුවා. මගේ ඔළුව පුපුරන්න වගේ” කියලා ඇය කිව්වා.
“මීට කලිනුත් ගහලා තියෙනවද?” කියලා මං අහද්දි “ඔව් එක වතාවක්” කියලා ඇය ආපහු කිව්වා..
පස්සේ දිගටම ඇය කතාව කියද්දි මං ඇයට කිව්වේ නීතිමය පියවර අරන් වෙන්වෙන්න කියලා. “බෑ අක්කේ, මගේ දරුවත් මගෙන් උදුරගනීවී. අක්කා හිතනවද ඒ අම්මායි පුතයි මට නිකන් ඉන්න දෙයි කියලා” ඒත් එක්කම එයා මට කිව්වා හස්බන්ඩ් එයාට ගොඩක් ආදරෙයි, හොඳට සලකනවා. ඒත් ඒක බලන් ඉන්න බැරුව නැන්දම්මා හස්බන්ගේ ඔළුව අවුල් කරනවා කියලා.
මං එතැනින් ඒ සංවාදය ඉවර කළේ එයා මට ඒ පින්තූරේ එවලා, ඒ දේවල් කියලා මගෙන් බලාපොරොත්තු වුණේ මොකක්ද කියලාවත් මට නොතේරුණ නිසා. ඒක එයාගේ අසරණකමද? නැත්නම් තීරණයක් ගන්න බැරිතරම් එයාට එයා ගැන විශ්වාසයක් නැද්ද? නැත්තම් සමාජයට බයේ එයාගේ ජීවිතේ ගැන තීරණයක් නොගෙන ඉන්නවාද කියලා මට තේරුණේ නෑ. ඒත් මට පුළුවන් උපරිම විදියට එයාට ඇහුම්කන් දීලා මං එයාගේ හිත ආදරෙන් හැදුවා. හැබැයි මං කිසිම තැනක ඉවසන්න කියන වචනය එයාට කිව්වේ නෑ. ඒත් එයා හැමවෙලේම කිව්වේ එයාගේ මහත්තයා හොඳයි එයා තව ඉවසනවා කියලා.
ඉවසන්න අමාරුම තැනදිත් ඉවසන්න ඕනේ කියන කතාව විශ්වාස කළත්, ඒ නිසා මට ජීවිතේ හොඳම ප්‍රතිඵල ලැබිලා තිබුණාත්, මේ වගේ අවස්ථාවකදී එහෙම කරන්න කියලා මම කිසිම ගැහැනියක්ව සනසන්න යන්නේ නෑ. ඒ නිසා පුළුවන් තරම් එයාගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න ශක්තිමත් කරන එකයි මං කරන්නේ.
හිරිහැර විඳ විඳ ජීවත්වෙන එක නෙවෙයි පවුල් ජීවිතේ කියන්නේ. පවුල් ජීවිතේ රැකගන්න හැරෙන හැරෙන පැත්තට ගුටි කකා ඉවසන්න ඕනේ කියලා කවුරුහරි හිතනවා නම් ඒතරම් බයාදුකමක් තවත් නැතුව ඇති.
මට හිතුණා ඇයට ශක්තිමත් පවුලක් තිබුණානම් දෙවැනි වරටත් ඇය ඇගේ සැමියාගෙන් පහරවලට ලක්වෙන්න ඉඩ නොතිබුණා කියලා. දෙමව්පියෝ විදියට අම්මලා තාත්තලා දරුවන්ගේ පවුල්වලට ඇගිලි ගහන්න හොඳ නෑ තමයි. ඒත් ඔයාගේ දුව, එයා හොයා ගත්ත හරි, ඔයා හොයලා දුන්න හරි පිරිමියෙක්ට කසාද බන්දලා දුන්නේ, තාඩන පීඩනවලට යටත්වෙලා මැරුම් කන්න නෙවෙයි කියලා ඔයාගේ පපුවට දැනෙනවා නම් අන්න ඒ තැන්වලදි දරුවා වෙනුවෙන් පෙනි හිටින්න. දරුවාගේ පැත්තේ ඉන්න. ප්රශ්නය මොකක් වුණත් මගේ දරුවාට අත උස්සන්න දෙන්නෙ නෑ කියන තැන ඉන්න ශක්තිමත් අම්මෙක් තාත්තෙක් වෙන්න. ඒ වගේම නිවට, බයාදු විදියට ඒ දේවල් දරාගෙන ඉන්න ඕන නෑ කියන එක තේරුම් කරලා දීලා තමන්ගේ දරුවා ශක්තිමත් කරන අම්මෙක් තාත්තෙක් වෙන්න.
සමාජය මොනවා හිතයිද? පවුල කැඩුණාම මිනිස්සු මොනවා නොකියයිද? මටත් තාත්තා ගැහුවා ඒත් මං ඔයාලා ගැන හිතලා ඉවසපු නිසයි අද අපේ පවුල මෙහෙම රැකුනේ, පවුල් ජීවිත ඔහොම තමයි, දරුවො හින්දා ඉවසන්න වගේ කතා කියලා දරුවාට කරන්න තියෙන ලොකුම වැරැද්ද කරන්න එපා.
ගැහැනු වේවා, පිරිමි වේවා හැම දරුවෙකුටම කරදරයක් වෙද්දි මුලින්ම මතක් වෙන්නේ අම්මා තාත්තා. එහෙම වෙලාවට ඒ අම්මා තාත්තා දෙන්නත් ඉවසන්න කියලා දරුවාට පිටුපාද්දි මොනවා හිතෙයිද? තමනුත් ගුටි බැට කාගෙනයි පවුල රැකගත්තේ කියන මෝඩ මතවල ඉන්නේ නැතුව එතැනින් ඉස්සරහට හිතන්න. තමන්ගේ පවුල් ජීවිතේ ඇතුළේ තමන් විඳවපු දේ තමන්ගේ දරුවාත් විඳින්න ඕන නෑ කියලා තේරුම්ගන්න. ඉවසන්න ඕන දේවල් වගේම ඉවසන්න ඕන නැති දේවලුත් මේ ලෝකේ තියන බව දරුවට ඒත්තු ගන්නන්න.
ගුටි බැට කාගෙන පවුල් රැකගන්න එක නෙවෙයි ගැහැනුකම කියන්නේ. පුළුවන් හැමවෙලේම ගැහැනියක් විදියට ශක්තිමත් වෙන්න. එකපාරක් අත උස්සන්න දුන්නොත් ආයෙත් ගහනවාම තමයි. තමන්ගේ ජීවිතේ අයිතිය තියන්නේ තමන්ට මිසක් කොළේකට අත්සනක් දාලා කසාද බැන්ද පලියට පිරිමියාට නෙවෙයි. ලේ එන්න ගහන පිරිමියෙක් ළඟ ආදරයක් නෑ. ඒක මොන විදියකටවත් සාධරණීකරණය කරන්න බෑ.
කවදාහරි මගේ දුවලා කසාද බඳින්න ලෑස්ති වෙලා බඳින්න කලින් දවසේ කිව්වොත්, අම්මේ මට මෙයාව හරියන්නේ නෑ කියලා, මං එයා එක්ක එයාගේ පැත්තෙන් හිටගන්නවා.
ඒ වගේම දරුවො බැඳලා, බැඳපු කෙනා පාරක් හරි ගහලා තිබ්බොත්, කසාද ජීවිතේ එහෙම තමයි, ඉවසන් ඉන්න, ඔයාම හොයාගත්තු කෙනානේ.. කියලා මගේ ගෑනු දරුවෝ දෙන්නා කවදාවත් මනසින් වට්ටලා තනි කරන්නෙත් නෑ. මං එයාලා වෙනුවෙන් ඉන්නවා.
අම්මා කෙනෙක් දරුවෙක්ව කසාද බන්දලා නිවසින් පිටමං කරන්නේ, මානසිකව හෝ ශාරීරිකව පීඩා විඳින්න නෙවෙයි. සතුටෙන්, සැනසීමෙන් ජීවත් වේවි කියන බලාපොරොත්තුවෙන්.
ඒ වගේම මගේ පුතා කවදාහරි ගැහැනියකට අත ඉස්සුවොත්, මං ඒ දැරිවිගේ පැත්තේ හිටගන්නවා. වැරැද්ද කාගේ වුණත් මං ගන්නේ ඒ දැරිවිගේ පැත්ත. එහෙම දෙයක් වුණොත් මගේ දරුවාව හදපු විදියේ අඩුපාඩුවක් විදියටයි මං ඒක දකින්නේ. මගේ පුතාට තාම අවුරුදු 5යි. ඒත් ගැහැනියකට ගෞරව කළ යුතු විදිය දැන්ම ඉඳලම මම ඔහුට කියලා දෙනවා. ඒක මගේ වගකීමක් විදියටයි මම දකින්නේ.
ගැහැනියක් ළඟ වගේම පිරිමියෙක් ළඟත් හික්මීම තියෙන්න ඕනේ. ආවේගයට අතක් උස්සන්න කලින්, කොච්චර ලොකු ප්‍රශ්නයක් වුණත් කතා කරලා විසඳගන්න පුළුවන් හික්මීමක්, පරිණත බවක් ගැහැනු පිරිමි දෙපාර්ශවයටම තියෙන්න ඕනේ.
මං දන්නේ නෑ මට පින්තූරේ එවපු කාන්තාව තාමත් ඒ පවුල් ජීවිතේ ඇතුළේ හිරවෙලා තාඩන පීඩනවලට ලක්වෙනවද කියලා. ඒත් මගේ පුද්ගලික මතය නම් පවුල රැකගන්න ඕන කියලා කිසිම කාන්තාවක් හෝ කිසිම පිරිමියෙක් ඒ විදියට වද වේදනා විඳගෙන ඉන්න අවශ්‍ය නෑ කියන එකයි.
ඒ නිසා මේ ලිපිය කියවන අම්මලා, අද ඉඳලම ඔබේ දුවට වගේම පුතාටත් ඉවසීමේ සීමාව කියලා දුන්නොත්, අඩුම තරමේ අනාගතයේවත් මෙවැනි ප්රශ්නවල අඩුවක් දකින්න පුළුවන් වේවි.
හෂීණි මනමේන්ද්‍ර