ප්‍රීතිමත් ජීවිතයකට

නීති දාන්නෙ මළපෙරේතකමට මිසක් ආදරේට නෙවෙයි

මේක ආදරේ ගැන කතාවක්. මං තදින්ම විශ්වාස කරනවා අපේ ජීවිතවල සතුට රැඳිලා තියෙන්නේ ආදරේ හින්දා කියලා.

මගෙයි දහම්ගෙයි ආදර සම්බන්ධය පටන්ගනිද්දි මං හිටියේ උසස් පෙළ පන්තියේ. දහම් දෙවැනි වතාවට උසස් පෙළ කරන ගමන්. මුල් කාලේ දහම්ට ළංවෙන්න මට ලොකු බයක් තිබ්බා. ඒ වෙද්දී මට තිබුණ ප්‍රේම සම්බන්ධතා දෙකක් බිඳවැටීම නිසා ඇතිවෙච්ච වේදනාබර අත්දැකීම් නිසා ආයේ අලුත් සම්බන්ධයකට යන්න මං බයවුණා. දහම්ට මං හැමවෙලේම කිව්වේ ඔයත් මාව අතෑරලා යයි කියලා. ඒත් අද අපි දරුවො හදලා ජීවිතේ සතුටෙන් විඳිනවා.

මාව අතාරින්න හේතු සියගාණක් ලැබෙද්දිත් දහම් කළේ මට ආදරේ කරන්න හේතු හොයාගත්තු එක. ආදරේ කියන මාතෘකාව කෙනෙක් නිසා අවලස්සන වෙද්දී තව කෙනෙක් ඒ අවලස්සන වුණ තැන් පවා ලස්සන කරලා ජීවිතේ සතුටින් පුරවනවා. ඒ නිසා ආදර සම්බන්ධයක් බිඳුනට පස්සෙ, ඒ ඒ පුද්ගලයා නිසා ඇතිවෙන අමිහිරි මතක මුල්කරගෙන ආදරේට වැරදි නිර්වචන දීම සාධාරණ නෑ කියලයි මමනම් හිතන්නේ.

සමහරවෙලාවට මේ ලෝකේ ආදරයක් කියලා දෙයක් නෑ කියලා කෙනෙකුට හිතෙන්නේ ආදරේ කරපු අයගෙන් ලැබුණ නරක අත්දැකිම් හින්දා වෙන්න පුළුවන්. මගේ ජීවිතේට ඇවිත් ගිය, මට ආදරේ කරපු, ආදරේ වගේ රඟපාපු කිසිම පිරිමියෙක් එක්ක මගේ හිතේ කිසිම වෛරයක් නෑ. මට ඒ හැම කෙනෙක් සම්බන්ධවම තියන්නේ ස්තූතිවන්ත හැඟීමක් විතරයි. මම හිතනවා ඒ අය මව රවට්ටපු නිසා, මට රිද්දපු නිසා තමයි අද මගේ ජීවිතේ බෙදාගන්න පුළුවන් හොඳම පිරිමියාව තෝරාගන්න මට පුළුවන් වුණේ කියලා. ඒ නිසා කවදා කොහේදී පරණ ප්‍රේමවන්තයෙක් මුණගැහුනත් මට පුළුවන් හිතේ කිසිම කහටක් නැතුව ඒ අයට සුන්දර හිනාවකින් සංග්‍රහ කරන්න.

මම දකින විදියට ආදරේ කියන්නේ නිදහසට තවත් අර්ථකථනයක්. ආදරේ ඇතුළේ නිදහස තියෙන තරමට ඒ බැඳීම් සුන්දරයි. අරක කරන්න එපා මේක කරන්න එපා, කොණ්ඩේ කපන්න එපා, මේක්අප් කරන්න එපා, කොටට අඳින්න එපා කියලා ආස දේවල් සීමා කරන බැඳීමක් ඇතුළේ නියම ආදරයක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. එහෙම බැඳීම් ඇතුළේ තියෙන්නේ ලෝබකම, තණ්හාව විතරයි. මුල් කාලෙදි මාත් හිතුවේ නීති දාන්නේ ආදරේට කියලා. ඒත් කවුරුම හරි ඒ අයට ඕනෑ විදියට අපේ ජීවිතේ පාලනය කරනවානම් එතැන ආදරයක් නෑ කියන දේ මං ‍කාලයත් එක්ක තේරුම්ගත්තා. හැබැයි ඒ දේවල් තේරුම්ගන්න කලින් ඒ ආදරේ කරන පුද්ගලයා මං ළඟ රඳවගන්න ඕන නිසා ඒ හැමදේම කළා. ඒත් ඒක ආදරේ නෙවෙයි කියලා දැනෙද්දී මං රැවටිලා ඉවරයි.

ඇත්තටම අද මගේ ජීවිතේ ආදරේ නිසා හෝ ආදරය කරන කෙනා නිසා මාව අනවශ්‍ය විදියකට පාලනය වෙන්නේ නෑ. ඒ ආදරේ ඇතුළේ මට පුදුමාකාර සැහැල්ලුවක්, සැනසීමක් වගේම නිදහසක් දැනෙනවා. ඒ ආදරේ ඇතුළේ ලෝබකමක් හෝ තණ්හාවක් නෑ. හැබැයි ඒ හැමදෙයක්ම කාලයත් එක්ක අවබෝධයෙන් තේරුම්ගත්තු දේවල් මිසක් එකපාර වුණ දේවල් නෙවෙයි.

ආදරේ කරන කෙනෙක් තමන්ගෙන් ඈත්වෙන්න හදද්දී ආදරේ කරපු කෙනාගේ ජීවිතේ නැති කරන්න හිතෙනවා නම්, කරන්න උත්සාහ කරනවා නම් එතැන ආදරයක් තිබිලා නැතිබව මුලින්ම තේරුම්ගන්න ඕන. තමන්ගේ ආදරේ නැතිවුණා කියලා දිවි නහගන්නවා නම් ඒකත් ආත්මාර්ථකාමීකමක්. සමහරවිට අපි ආදරේ අය අපිට නොලැබෙන්න පුළුවන්. එහෙම වුණා කියලා ඒ අයට හිරිහැර කරන එකවත්, වෛර කරන එකවත්, තැන තැන අපහාස කරන එකවත් නෙවෙයි කරන්න ඕනේ, තමන් ළඟ සතුටින් ඉන්න බැරි නම් සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් ගාව සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන එකයි. ආදරේ ඇතුළේ අසීමිත ලෝබකම, තණ්හාව නැති ඕනම කෙනෙක්ට ඒ දේ කරන්න පුළුවන් කියලා මං අත්දැකීමෙන් දන්නවා. එහෙම අත්දැකීම් තියෙන අය මං මේ කියන සැනසීම ගැනත් දන්නවා.

මං තව දෙයක් දන්නවා. අවුරුදු 16, 17 පුංචි දරුවන්ට මෙහෙම අත්දැකීමක් ලැබුණාම දරාගන්න අමාරුයි. අපිත් ඒ කාලේ පහුකරලයි ආවේ. හරිම වචනෙන් කිව්වොත් බූට් එකක් කනවා කියන්නේ පුදුම දුකක්. ඒත් වයසින් මුහුකුරා යද්දි නැතිවුණ සම්බන්ධකම් ගැන සුන්දර මතක විතරක් ඉතුරු කරගෙන වැස්සට ගොඩවුණ මිනිසුන්ට පවා ස්තූතිවන්ත වෙන්න අපිට පුළුවන් වෙනවා.

ආදරේ කියන්නේ ජීවිතයක් නැති කරන එක නෙවෙයි, නැතිවෙන්න හදන ජීවිතේකට පවා ජීවත්වෙන්න හේතු දෙන එකට.

හෂීණි මනමේන්ද්‍ර