ගෙදරට වෙලා කකා බිබී ඉන්න ගෑනුන්ට මොන මහන්සියක්ද?
ගොඩක් වෙලාවට ගෑනු විදියට අපි හිතන්නේ මේ ලෝකේ වැඩියෙන්ම ඉවසන්නේ සහ දරාගන්නේ අපි කියලා. ඒත් ගෑනු තරමටම නැත්තම් ඊටත් වඩා ඉවසන, දරාගන්න, බලාගන්න ආදරණීය පිරිමි මේ ලෝකේ ඉන්නවා. ගොඩාක් ගැහැනු අයට තමන්ගේ වෙහෙස විතරක් දැනෙන නිසාමද මන්දා පිරිමියාගේ කැපකීරීම්, දරාගැනීම් දැනෙන්නේ නෑ. ඒ හින්දාම පවුල් ජීවිතේදි පිරිමියාට ලැබිය යුතු ගෞරවය ලැබෙන්නේ නෑ.
ඕකේ අනික් පැත්තත් ඒ වගේමයි. සමහර පිරිමි හිතනවා රස්සාවක් කරලා, මුදල් හරිහම්බ කරලා පවුල නඩත්තු කරන කෙනා තමන් හින්දා සහකාරියගේ ඉවසීම්, දරාගැනීම්, කැපකිරීම්වලට වටිනාකමක් නෑ කියලා. ඒ නිසා එවැනි පිරිමින්ගෙන් ඒවාට ගෞරවයක් ලැබෙන්නේ නෑ. ඉතින් දෙන්නගෙන්ම ඔය දේ එකම විදියට වෙද්දි පවුල් ජීවිතේ එපාවෙනවා වගේම දෙන්නට දෙන්නා රුස්සන්නේ නැති තැනකුත් එනවා. හැබැයි මේකෙන් ලොකුම පාඩුව සිද්ධ වෙන්නේ දරුවන්ට. අම්මා තාත්තාට, තාත්තා අම්මාට නිසි ගෞරවයක් ලබා නොදෙද්දි දරුවන්ට ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. ඊටපස්සේ එයාලටත් තමන්ගේ අම්මා තාත්තා ගැන තියෙන ගෞරවය අඩුවෙනවා. ඊටපස්සේ ඉතින් දරුවො උස්මහත් වෙච්චි කාලෙක, එයාලා අපි ගැන බලන්නේ නෑ… කිසිම ආදරයක් කරුණාවක් නෑ කියලා දරුවන්ට චෝදනා කරලා තේරුමක් නෑ. ඒ නිසා දෙදෙනාගේ අදහස්වලට, කැපකිරීම්වලට ගෞරව කිරීම නිසා පවුල් ජීවිතේ සුන්දර වෙන බව වගේම දරුවන් පවා ආදරණීය වෙන බව මම අත්දැකීමෙන් දන්නවා.
ඉස්සර නතාරි දූ ළඟම ඔවින්යා දූත් ඉපදුණු නිසා මං හිටියේ ගොඩක් ලොකු පීඩනයකින් බව කලින් ලිපියකත් මම ලියලා තියනවා. ඒත් මං හැම වැඩක්ම මට පුළුවන් විදියට කළා. ඒ වගේම දහම් ඒ වැඩවලට ගොඩක් උදව් කළා. ඉතින් ඔහොම ඉද්දි දවසක් පොඩි බහින්බස්වීමක් වෙලා දහම් කිව්වා “ඔයා ගෙදර වැඩ ටික විතරනේ කරන්නේ, ඒකටත් මං පුළුවන් හැමවෙලේම උදව් කරනවානේ” කියලා. ඒ කතාවට මට ගොඩක් දුක හිතුණා. මතක විදියට මම දහම්ට මූණ නොදී දවස් දෙක තුනක් අහන දේට චිතරක් උත්තර දීලා කතා නොකර හිටියා. එයාම කතා කරද්දි මං කිව්වා “ඔයා සති දෙක තුන ගෙදර නැති දවසට හැමදේම කරන්නේ මං, මට මහන්සි දැනුණත් මහන්සිය නිවාගන්න බෑ. රෑ මැද ඇහැරන් ඔවී දූ අඬද්දි පාන්දර වෙනකන් නළවලා පැය හතරක් වගේ මං නිදියන්නේ. ඒත් මට පුළුවන් උපරිමේ මං කරනවා. ඒක ඔයාට දැනෙන්නේ නෑ. කිසි රෙස්පෙක්ට් එකක් නෑ…” කියලා එයා මං කීව දේ අහන් ඉඳලා එයාගෙ පැත්ත ගැන මට තේරුම් කරා.
පස්සේ මං තේරුම්ගත්තා අපි දෙන්නාම හැමදේම කරන්නේ පවුල වෙනුවෙන්. එයා මට වඩා කැපවෙනවා, ඉවසනවා. මං එයාට වඩා කැපවෙනවා, ඉවසනවා කියලා තරඟයක් නෑ. මොන දේ කරත් ඒ පවුල වෙනුවෙන් කියලා. එදායින් පස්සේ දහම් මට එහෙම කතාවක් කවදාවත් කියලා නෑ. “මං දන්නවා ඔයාට අමාරුයි, පොඩ්ඩක් රිලැක්ස් වෙන්න” ඔහොම දේවල් තමයි කිව්වේ.
අපේ පුංචි පුංචි රණ්ඩු ඔක්කොම තිබුණේ දරුවෝ නිදාගත්තාමයි. මං දරුවෙක්ට සැර වුණාමත් “එහෙම කරන්න එපා, සැර කරන්න එපා, ඒ දිහා මේ විදියට බලන්න” කියලා කියන්නේ දරුවෝ නැති වෙලාවක… දරුවෝ ඉස්සරහා ඒක මට කිව්වාම දරුවන්ට මං ගැන තියෙන ගෞරවය අඩුවෙන හින්දා.
පවුල ඇතුළේ දෙවල් සැලසුම් කරද්දි “රෝසි ඔයා මොකද හිතන්නේ”, “මෙහෙම කරමුද?”,“මේක හොඳද”,“හරි ඔයා කියන විදියට කරමු” වගේ මගෙන් දහම් අදහස් අහන එක මං දකින්නේ එයා මට දෙන ගෞරවයක් විදියට. ඒ දේවල් මගේ හිතට ලොකු සතුටක් ගේනවා. මාත් ඒ වගේමයි. මං මගේ පවුල් ජීවිතේ ඇතුළේ ගොඩල් වෙලාවට ආදර්ශයට ගත්තේ මගේ මහත්තයාව. ගොඩක් වෙලාවට එයා මට දෙන ගෞරවය දැකලා මාත් ඒ විදියටම එයාට ඒ ගෞරවය දෙන්න පෙළඹුණා.
ඒ නිසා ඔයාට මේ මොහොතේ පවුල් ජීවිතේ ගැන මොකක්හරි කළකිරීමක් තියනවානම් පොඩ්ඩක් හිතන්න අතපසු වුණ දේවල් මොනවද කියලා… මගෙන් අනෙක් කෙනාට ලැබිය යුතු ගෞරවය මම දුන්නද? අගය කළ යුතු තැන්වල මම එයාව අගය කළාද? කොන්දේසි විරහිතව ආදරේ දෙන්න මට පුළුවන් වුණාද? අනෙක් කෙනාගෙ අමාරුම මොහොතවල්වල මම එයා ළඟ හිටියද? විශ්වාසය පෙරදැරිව ආදරය දිය යුතු තැන්වලත් මම එයාව විනිශ්චය කළාද? අනිත් කෙනා මත්තෙම වරද පටවන්නේ නැතුව මේ වගේ ප්‍රශ්න කිහිපයක් ඔයාගෙන්ම අහලා බැලුවොත් ඔයාට අතපසු වුණ, මගහැරුණ තැන්වලට උත්තර හොයාගන්න එක හරිම පහසු වැඩක් වේවි.
මට ඉස්සර දහම් ගැන තිබුණේ තණ්හාව, ලෝබකම පිරුණු ආදරයක්. ඒත් අද ඒ ආදරේ එතැනින් ඉස්සරහට ගිහින් කියලා මට දැනෙනවා. ආදරේට වඩා ලොකු ගෞරවයක් මගේ හිතේ මගේ මහත්තයා ගැන තියෙනවා. ඇත්තටම ඒ ආදරය දැන් ගෞරවය මුසුවෙච්ච ආදරයක්. එහෙම වුණාම පංගුපේරුකම් කරන්න හිතෙන්නේ නෑ. පොඩ්ඩ බැරිවුණු ගමන් වචනවලින් දමලා ගහන්න, ආඩපාලි කියන්න හිතෙන්නේ නෑ. පවුල් සංස්ථාව ඇතුළේ දෙන්නගේ ආදරේ ඒ වගේ එකක් කරගන්න පුළුවන්නම් ඒක මේ ජීවිතේට විතරක් නෙවෙයි ආත්ම ගාණකට සැනසීමක්.
හෂීණි මනමේන්ද්‍ර