මැරෙන්නවත් මට නිදහසක් නෑනේ
ගෙදර සමහර වැඩ කවුරු කරලා දුන්නත් ඒවා අපේ අතින් වෙන තරම් හොඳට වෙන්නේ නෑ වගේ හැඟීමක් සමහර වෙලාවට දැනෙනවා නේද? ඒ නිසා මොන අපහසුතා තිබුණත් ඒ වැඩ අපේ අතින්ම වෙන්න ඕන කියලයි අපිට හිතෙන්නේ. මට වගේම ඔයාලටත් ඒ අත්දැකීම ඇති.
ඉතින් අපේ මේ නිවාඩු කාලේ සතුට, විනෝදය එක්ක ගෙවුණා වගේම නොහිතුව විදියට වසංගත රෝගයක් නිසා අපි හැමෝම අසනීප වුණා. ඒ දවස්වල දහම් හිටියෙත් ඔෆිස් එකේ වැඩ වගේකට පිටරටකට ගිහින්. මුලින්ම අසනීප වුණේ නතාරි දූ. ඊටපස්සේ එකපෙළට ඔවින්යා දූ, මම, අයාන් පුතාත් අසනීප වුණා.
මට උණ හැදුණත් මොකක්දෝ වාසනාවකට ඔලුව උස්සගෙන වැඩ කරගන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා මම කළේ දවස් දෙක තුනකට ඇතිවෙන්න එක සැරේ කෑම උයලා ෆ්‍රිජ් එකේ දාගන්න එක. එහෙම කරන ගමන් කොච්චර අමාරුකම් තිබුණත් මම දහම්ට කිව්වෙම “ඔයා බයවෙන්න එපා මං හොඳින්, මට ලොකු අමාරුවක් නෑ” කියලා. මොකද රාජකාරි වැඩ ඔලුවේ තියාගෙන පිටරටක ඉඳපු එයාගේ හිතට පීඩනයක් දෙන්න මට අවශ්‍ය වුණේ නෑ.
අනිත් එක මට ඒ අතරතුරේ දහම් නිතරම කියන කතාවක් මතක් වුණා. ඒ තමයි කාගෙන්වත් උදව් අරගන්නේ නැතුව ඉන්න තරමට ජීවත්වෙන එක ලේසියි කියලා. ඒ නිසා ජපානයේදී අපි ළඟින්ම ආශ්‍රය කරන යාළුවෝ කීපදෙනාටවත් අසනීප වුණු බවක් මම කියන්න ගියේ නෑ. එහෙම නොකිව්වේ ඊටපස්සේ එයාලා කෑමබීම හදාගෙන අපේ ගෙදර එන්න, අපි ගැන බලන්න කරදර වෙන නිසා. මොකද ඒ අයත් රස්සා කරන, කාර්යබහුල අයනේ.
ගෑනු අපි හැමවෙලේම අපේ දරු පවුල අංක එකට දාලා හිතන හින්දද කොහෙද අපේ හිත් අමාරුම වෙලාවට ගොඩාක් ශක්තිමත් වෙනවා. දහම් එද්දි දරුවන්ට ගොඩාක් දුරට සනීපයී. එතන ඉඳන් මට විවේක ගන්න දීලා හැමදේම කළේ එයා. ඒත් ඉතින් මට ඇඟට අපහසුවක් නොදැනුණ හැමවෙලේකම මං කළේ ගෙදර අයට කන්න උයලා, අපිළිවෙලට පේන තැන් අස් කරපු එක. දහම් මට විහිලුත් කළා “අසනීප වෙලා ඉඳිද්දිත් වැඩ කරන එක සනීප කරන්න බැරි ලෙඩක්” කියලා. ඒකයි මම කලින්ම කිව්වේ කොච්චර අසනීප වෙලා හිටියත් සමහර වැඩ අපේ අතින්ම වෙන්න ඕනේ කියල හැඟීමක් දැනෙනවා කියලා.
ඉතින් මේ අසනීප දවස් ඇතුළෙත් මට සතුටු වෙන්න කාරණා තිබුණා කිව්වොත් ඔයාලා පුදුම වෙයි. නතාරි දූට අසනීප වෙද්දි, ඔවින්යා දුවයි අයාන් පුතායි නතාරි දූ ගැන දක්වපු සැලකිල්ලට මගේ හිත සතුටු වුණා. දහම් ගෙදර ආවාට පස්සෙත් දවස් 5ක් විතර අපි හැමෝම ගෙදර එකට හිටපු එක මගේ හිත ප්‍රබෝධමත් කළා. මගේ ඇස්මානේට පේන්න ගෙදර හැමෝම හිටපු එක මගේ සැනසීමට ලොකු හේතුවක් වුණා. සද්ද බද්ද තිබ්බත් හිතට හරි නිස්කලංක බවක් දැනුණා. ඇඟට අපහසුතාවයක් තිබුණත් හිතට ලොකු සනීපයක් දැනුණා.
අද වෙද්දි මට තියන්නේ අමාරු දවස් කීපයක් ලේසියෙන් ගෙවුණා වගේ හැඟීමක්. බාහිරින් මොන විදියේ ප්‍රශ්න ආවත් හැම දවසක් දිහාම හොඳ විදියට බලන්න පුරුදු වෙන තරමට ජීවිතේ ගැන සතුටු වෙන්න පුළුවන් හේතු ලැබෙනවා. මම තේරුම්ගත්තේ එච්චරයි.
ඔයාටත් ලෙඩදුක් හැදෙන වෙලාවල් අනන්තවත් ඇති. ඒ වෙලාවට වෙනදා වගේ දුවලා පැනලා වැඩ කරගන්න බැරුවත් ඇති. හැබැයි ඒ වෙලාවට ඔයාට හිතෙනවනම් කාටහරි චෝදනා කරන්න, ගෙදර වැඩ කරගන්න බැරිව ඇතිවෙන පීඩනය වෙන කෙනෙකුගේ පිටින් යවන්න, ඇඟට දැනෙන අපහසුතාවය ඇරුණම ඔයාගේ හිතටත් නිවනක් නැතිවෙයි. ඒ වගේම අසනීප ගතිය ඇරිලා යද්දී හිත් අමනාපකම් ඇතිවෙලා තියෙයි. ඒ නිසා ලෙඩක් දුකක් හැදුණු වෙලාවට, කාගෙහරි සහයෝගයක් ඇතත් නැතත් කරන්න පුළුවන් වැඩ ටික කරලා ඉවසීමෙන් දරාගන්න පුළුවන්නම් ඒක තමයි හොඳම දේ විදියට මම දකින්නේ.
ගෙදරක අම්මා අසනීප වුණාම ඒ ගෙදර වෙන ගැහැනු කෙනෙක් නැත්නම්, තාත්තා හෝ දරුවන්ට අඩුම තරමේ බතක් සම්බෝලයක්වත් හදාගන්නවත් පුළුවන්කමක් නැත්නම් සියලුම වැඩකටයුතු ඇනහිටිනවා. එහෙම වෙලාවට ‘මැරෙන්නවත් මට නිදහසක් නෑනේ’ කියලා අකමැත්තෙන්, තරහෙන් වැඩ කරනවට වඩා අම්මා කෙනෙක් විදියට ඔයාට පුළුවන්නම් වෙනදා වගේම ආදරෙන්, මෛත්‍රියෙන් ඒ වැඩකටයුතු පුළුවන් විදියක කරලා දෙන්න ඒක කොච්චර වටිනවද? සමහරවිට එහෙම කරද්දී වෙනදට කුස්සිය පැත්ත පළාතේ යන්නේ නැති අය වුණත් ඔයාට උදව් කරන්න දෙපාරක් හිතන එකක් නෑ.
මං ගොඩක් වෙලාවට මෙහෙම ලියන්නේ මගේ අත්දැකීම්. බිරිඳක් විදියට, අම්මා කෙනෙක් විදියට මගේ අත්දැකීම් ගෑනු අපි හැමෝගෙම පොදු අත්දැකීම්, අත්විඳීම් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඒ බෙදාහදා ගැනීමෙන් පුංචි පුංචි වැරදි, අඩුපාඩු හදාගෙන සතුටින් ජීවත්වෙන්න කෙනෙකුට උදව්වක් ලැබෙනවානම් මගේ මේ ලිවීමේ එකම බලාපොරොත්තුවත් ඒකයි.
හෂිණි මනමේන්ද්‍ර