හිතේ හැටියට කෑමක් බීමක් හදලා නොදී මහත්තුරු පිටින් කනවා කියලා බැන්නම හරිද?
පිටරටක ජීවත්වෙන මගේ අත්දැකීම් සහ ජීවිත පාඩම් ‘ධරණී’ පාඨකයින් එක්ක බෙදාගන්න අරගෙන මම හිතන්නෙ දැන් අවුරුද්දකටත් ළඟයි. ඉතින් එහෙම ලියන ලිපිවලට ඉතාම හොඳ ප්‍රතිචාර වගේම සමාජ මාධ්‍ය තුළ පලවුණාම ඇතැම් අවස්ථාවල විවේචන සහ චෝදනාත් එල්ලවෙලා තියෙන බව මම දැක්කා.
ලොකුම චෝදනාව තමයි මම මගේ පවුල ගැන සහ පුද්ගලික දේවල් කතා කරනවා වැඩියි කියන එක.
ඇත්තටම දවස ගාණේ ලියන්න මම හේතු හොයාගන්නෙ මගේ පුංචි පවුල ඇතුළෙන්. බැඳලා අවුරුදු 12ක් ගිහින් තිබුණත් දහම්ගේ ආදරේ දවස ගාණේ අලුත් විදියකට මගේ ජීවිතේට ළං කරගන්න හැටි මම ලියන්නේ ලොකු සතුටකින්.
ඉතින් කසාද බැඳලා අවුරුද්ද, දෙක යද්දි ඉස්සර වගේ ආදරේ නෑ කියලා දමලා ගහලා යන අයට මං ඒ ලියන දේවල්වලින් පුංචිම හරි දෙයක් ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම් ඒක තමයි මේ ලිපියේ අරමුණ වගේම මගෙත් සතුට වෙන්නේ.මම මගේ ජීවිතේ සම්බන්ධව ඉතාම තෘප්තිමත් නිසා ජීවිතේ ගැන, මගේ මහත්තයා හෝ දරුවෝ ගැන සතුටින් කතා කරන්න දේවල් මිසක් චෝදනා කරන්න දේවල් මට නෑ. ඒ නිසා පුද්ගලිකත්වය මතු කරනවා කියලා නොහිතා මම ලියන එක වචනයකින් හරි ජීවිතේට සතුට එකතු කරගන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න.
අද මට ලියන්න තියෙන්නේ කෑම ගැන කතාවක්.
අපි කන මස් වර්ගවලින් මම කන්න ආසම කුකුල් මස්. ඒත් දහම් කුකුල් මස්වලට කැමැත්තක් ඇත්තෙම නැති තරම්. එයා කැමති අනිත් මස් වර්ග කන්න. හැබැයි මං ජපානෙට ආපු මුල් කාලේ කුකුල් මස් ඇරුණාම අනිත් මස් වර්ග ගෙනාවේ නෑ. ඒ මම ඒවා නොකන නිසා. ඉතින් අපි කෑමට එළියට යන වෙලාවල්වල දහම් අනිත් මස් වර්ගවලින් හදපු කෑම අරගෙන කනවා මම දැකලා තියෙනවා. පස්සේ මට හිතුණා මං කරන්නේ වැරැද්දක් නේද කියලා. මං රාබු කන්නේ නැති නිසා රාබු ගේන්නෙත් නෑ, අනික් මස් වර්ග නොකන නිසා ඒවා ගේන්නෙත් නෑ. දහම් මට ඒකට මොකුත් කියන්නෙත් නෑ. හැබැයි එයා පිටින් ඒවා අරගෙන කනවා. ඊටපස්සෙ මට හිතුණා මං නොකන එක වෙනම දෙයක්, ඒත් මට එයාට ඒක උයලා දෙන්න පුළුවන්නේ කියලා. පස්සේ මං දවසක් එයා කැමති මස් වර්ග ගෙනත් ඉව්වා. එදා එයා රසයි කියලා හරි කැමැත්තෙන් කෑවා. පස්සේ මං අලුත් රෙසපි හොයාගෙන යාළුවන්ගෙනුත් අහගෙන අර මස් වර්ග එක එක ක්‍රමේට සුමානෙකට පාරක් හදලා දෙන්න පුරුදු වුණා. රාබුත් කිරට, තෙලට, මැල්ලුමට හදලා දුන්නා එයා ආස නිසාම. ඇත්තටම මං මෙතන උත්සාහ කළේ මස් කන එකේ පව පින ගැන කතා කරන්න නෙවෙයි.
සමහර වෙලාවට අපි රසට ගුණට මොනවා උයලා දුන්නත් වැඩක් නෑ, අපි දෙන්නේ එයාලා ආස දේ නෙවෙයි නම්. ගෙදරින් කන්න නොලැබෙන ගොඩක් කෑම පිටින් කන්න පිරිමි හුරු වෙන්නෙ එහෙම වුණාම. එතකොට අපිට පේන්නේ ඒ අය පිටින් කන එකේ වැරැද්ද විතරයි. එයාලාට ඕන දේ අපි නොදුන්න වැරැද්ද අපිට පේන්නේ නෑ.
කෑම බීම ටික වගේම ජීවිතේ අනිත් හැමදේමත් එහෙමයි. කසාද බැන්දාම, පිරිමියා විතරක් අපිව සතුටු කරන්න ඕන කියලා අපි බලාපොරොත්තු වෙනවා ගොඩක් වෙලාවට. ඒ වගේම සමහර වෙලාවට අපි හිතනවා අපි එයාලව සතුටින් තියනවා කියලා. කෑම බීම ටික හදලා දීලා, ඇඳුම් පැළඳුම් ටික ගෙනත් දීලා, ඒවා හෝදලා, මැදලා දීලා ඔක්කෝම කරනවා වෙන්න පුළුවන්. ඒත් හදලා දෙන කෑම එකේ ඉඳලා මැදලා දෙන ෂර්ට් එකත් එයා ආස විදියේ එකක් නෙවෙයි නම් අපි කොච්චර මහන්සි වුණත් වැඩක් තියෙනවද?
සමහර වෙලාවට මහත්තයාට දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ අසනීප තියෙනවානම්, අනිවාර්යයෙන්ම කෑම බීමවල රහට වඩා ගුණ ගැන හිතන්න වෙනවා. කෑම පාලනය කරන්න වෙනවා. හැබැයි කොලෙස්ටරෝල් තියෙන සමහර මහත්තුරුත් ඔෆිස් එකේ කැන්ටින් එකෙන් බිත්තර ඔම්ලට් එකක් අරගෙන දවල් බත් එකට එකතු කරගන්න වෙලාවල් තියෙනවා. අපි ගෙදරදි ඒවා හදලා නොදෙන්නෙ එයාගෙම හොඳට තමයි. ඒත් එහෙම වෙලාවකවත් ටිකක් මානුෂීය විදියට හිතලා ඉඳලා හිටලා හරි ආස දෙයක් උයලා දෙන්න පුළුවන්නම් නෝනට හොරෙන් කැන්ටිමෙන් ඔම්ලට් එකක් දාගෙන කන්න මහත්තයට හිතෙන්නෙ නැති වෙන්න පුළුවන්.
සම්බන්ධතා ගත්තත් එහෙම තමයි.
තමන්ගේ සැමියා හරි බිරිඳ හරි නොගැළපෙන සම්බන්ධයක පැටලුණාම, ඒ නිසා පීඩා විඳින ගොඩක් ගෑනු පිරිමි ඒ වැරදි සම්බන්ධකමේ වැරැද්ද දකිනවා. ඔව් ඒක වැරැද්දක්, ලොකු වැරැද්දක්. ඒත් එහෙම සම්බන්ධෙකට යන්න පුළුවන් පුංචි හරි ඉඩක් අපි නොතියන්න ඕන කියන එකයි මං මේ කියන්නේ. අඩුපාඩු අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා. වැරදි අපි හැමෝගෙන්ම වෙනවා. ඒත් සැමියාගේ, බිරිඳගේ වැරැද්දකට ඇඟිල්ල දික්කරන්න කලින් ඒ වැරැද්දට හේතුවුණු කළකිරවීම, හිත් රිදීම, අතපසුවීම, අඩුපාඩුව ගැනත් ටිකක් කල්පනා කරන්න.
ආදරේ හිස් වුණාම ඒ තැන්වලට යක්කු රිංගනවා කියලා කතාවකුත් තියෙනවා. යකෙක් රිංග ගත්තාම එලවන්න ගොඩක් අමාරුයි. ජීවිතේට හදාගන්න බැරි පසුතැවීම් ගොඩක් එකතු වෙලා ජීවිතේ විනාශ වෙන එක විතරයි වෙන්නේ. ඉතින් ආදරණීය සැමියාගෙන්, බිරිඳගෙන් එහෙම වැරැද්දක් වෙන්න ඉඩ නොතියා ඉන්න බලන්න. දවස ගාණේ ආදරේ නැවුම් කරගන්න හේතු හොයාගන්න. අපි කැමති දේම විතරක් නෙවෙයි ඒ අය කැමති දේත් හිතන්න. ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත් තමන්ගේ සැමියා, බිරිඳ වෙනුවෙන් පුංචි ආදරණීය විනාඩි ගාණක් ඉතුරු කරගන්න. හිස් තැනක් නොතියන්න ඒ හිත්වල ආදරේ පුරවන්න. ඒ ආදරේ දෙගුණ තෙගුණ වෙලා ලැබෙද්දි පවුල් ජීවිත සුන්දර වෙනවා බලන් ඉඳිද්දීම.
හෂීණී මනමේන්ද්‍ර