දරුවන්ගේ ගුණ යහපත්කම් දැක්කම ඇඟේපතේ හිතේ අමාරු ඔක්කොම යනවා
ගෙවුණ බ්‍රහස්පතින්දා මං අයාන් පුතාව එක්ක ඇවිත් නාවලා, එයාලා එද්දි කන්න හදලා තියපු ඥාණකතා දෙකකුත් කන්න දීලා, දූලා දෙන්නත් එන වෙලාව ළඟ නිසා, එයාලා එනකල් බලන් හිටියා. මට පුංචි කලන්තයක් වගේ ආවා නිසා මං සෝෆා එකෙන් හාන්සි වුණා. මාසේ අසනීප දවස් ටික ගෙවෙන නිසා අපහසුතාවයට එන පොඩි කලන්තයක් කියලා මට තේරුණා. මං සෝෆා එකේම හාන්සි වෙලා පොඩි වෙලාවක් ඉඳිද්දී පුරුදු විදියටම දුවලා දෙන්නා දොර ඇරගෙන “තදයිමා” කියාගෙන ගෙදරට ආවා. ගෙදර සාමාජිකයෙක් ගෙයි ඇතුළට එද්දි පුරුද්දක් විදියට ඒ වචනය ජපානේ පාවිච්චි කරනවා. ඒකට “ඔකයරී” කියලා අයාන් පුතා උත්තර දෙනවා මට ඇහුනා. ඒත් මට තිබ්බ අපහසුවට මට නැගිටින්න අමාරු නිසා මං හිටපු විදියෙන්ම හිටියා. නතාරි දූ මං ගාවට ඇවිත් මගේ මූණ අල්ලලා ඔවින්යාට කිව්වා “කෑගහන්න එපා, මමාට රෙස්ට් කරන්න දෙන්න” කියලා.
නතාරි දූ කොහොමත් එහෙමයි. මං ගෙදර වැඩ කර කර හිටියත් මාව එක්ක ඇවිත් ඉඳගන්න, රෙස්ට් කරන්න කියලා කියනවා. ඒ ගතිගුණ එයා කොහොම පුරුදු වුණාද කියලා මංවත් දන්නේ නෑ.
ඔවින්යා දූ ආපහු මං ගාවට ඇවිත් මට පුංචි හාද්දකුත් දීලා මගෙන් ඇහුවා “මමා ශෝදොකු කරා, මෙලොන් පාන් කන්නම්” කියලා. ශෝදොකු කියන්නේ අත් පිරිසිදු කරගත්තා කියන එකට. ගෙට ඇතුල්වෙන තැන මං සැනිටයිසර් එකක් තියලා තියන්නේ. එයාලා ගෙට ඇතුල් වෙන්නේ ඒකෙන් අත් පිරිසිදු කරන්. කොරෝනාවලට පිං සිද්ධ වෙන්න හොඳ පුරුද්දක් ඉබේම අපේ දිහා පුරුදු වුණා. දූලා දෙන්නා ශ්‍රී ලංකන් මෙලොන් පාන් කියන්නේ අපේ ඥාණකතාවලට. එයාලා ආස නිසා මං මාසෙට දෙපාරක් විතර ඥාණකතා හදනවා.
ඔවී දූ එහෙම කිව්වාම මං හා කියන්න ඔලුව වැනුවා. ඒත් නතාරි දූ නම් ඔවින්යාට කිව්වේ “එළියේ ඉඳලා ආවේ Germs තියෙන නිසා ඉස්සෙල්ලා නාන්න ඕනේ, ඊටපස්සේ කමු, මමා එහෙමනේ කියන්නේ” කියලා. අමාරුවෙන් හිටියත් පුංචි හිනාවක් මගේ මූණේ ඇඳුනේ හිතේ සතුටට.
ඔවී දූත් නතාරි අක්කා කියන දේ කිව්ව ගමන් පිළිපැද්දා. එයා නාගෙන ආවාම අක්කා Hair Dryer එකෙන් කොණ්ඩෙ වේලනවා මට ඇහුනා. මගේ ඇඟේ අමාරුව කොහෙන් ගියාද මන්දා. ඒත් මං හාන්සි වෙලාම ඒ සතුට හිත පුරා වින්දා. නතාරි දූත් ඊගාවට නාලා කොණ්ඩේ වේලගෙන, දෙන්නාම එකට ඥාණකතා කෑවා.
මං පස්සේ දෙන්නාවම වැළඳගෙන දෙන්නාටම ස්තූති කරා. නතාරි දූට විශේෂයෙන්ම. නංගිව ලස්සනට මෙහෙයවපු විදියට. එයා එයාගේ ලොකු අක්කාගේ චරිතෙට ලස්සන පණක් දුන්නා වගේ සෞම්‍ය හැඟීමක් මට දැනුණේ.
ඇත්තටම දරුවෝ තුන්දෙනා ඉස්කෝලේ ගිහින් ආපු ගමන් මං කරන්නේ නාවන එක. ඒක මේ කොරෝනා නිසා කරන දෙයක් නෙවෙයි. නතාරි දූ පෙරපාසල් යන කාලේ ඉඳන්ම ගෙදර ආපු ගමන් මං නාවනවා. ඔවින්යා දූටත් එහෙමයි. අයාන් පුතාටත් එහෙමයි. ඉස්කෝලේ ඇරිලා හවස් වෙලා ගෙදර ආවත් දරුවෝ නානවා. ඒක එයාලට හුරුයි.
මට ගොඩක්ම සතුටු හිතුණේ දවස ගානේ මං කටින් කියවලා කරන දේ, මට අපහසුවෙන් හිටපු වෙලාවෙදි එයාලාම හිතලා කරපු එකට. නතාරී ඒ දේ කරන්න නංගිව මෙහෙයවපු එකට. ඒ මං එහෙම දෙයක් එයාලගෙන් බලාපොරොත්තු වුණේම නැති නිසා. මගේ හිතේ තිබ්බ සතුටටද මන්දා මගේ ඇඟේ තිබ්බ අපහසුව ඉබේම නැති වුණා. එදා වුණ සිද්ධියත් දහම්ට මං කීවේ සතුටෙන්.
දහම් මට කිව්වෙත්, බල නොකර සාමාන්‍ය දේවල් විදියට අපි හොඳ දේවල් දරුවන්ට හුරු කරාම ඒවාට දරුවෝ ඉබේම පුරුදු වෙනවා. මං ඒ දේ හොඳම විදියට කරලා තියෙන නිසා එයාටත් සතුටුයි කියලා. දහමුත් එහෙම පුංචියට මාව වර්ණනා කරද්දී මට දැනුණේ ලොකු සතුටක්.
බලනොකර, ගහන්නේ බණින්නේ නැතුව අපි දරුවන්ගේ ජීවිතේ දෙන දේ ඕනම තැනදි එයාලා හරි විදියට පාවිච්චි කරනවා. පුංචිම පුංචි දෙයක් වුණත්, මගේ අපහසුතාවය එක්ක එදා වුණ ඒ පුංචි සිදුවීම මගේ හිතට ලොකු සතුටක් ගෙනවා.
මගේ දරුවන්ට මේ විශ්වයට ස්තූතිවන්ත වෙලා මං දවස සතුටින් පුරවගත්තා.
පුංචියට හරි අපි අපේ දරුවන්ට එදිනෙදා හොඳ දේවල් ආදරෙන්ම ක්‍රියාත්මක කරනවා නම් අපි නොහිතන වෙලාවක එයාලා ඒ දේවල්වලින්ම අපේ හිත් සතුටු කරනවා. අම්මා කෙනෙක් විදියට මාත් ගොඩක් සතුටු වුණා. දවස ගානේ මගේ ලොකු දූ ටික ටික ලොකු වෙනවා කියලා එදා මං තේරුම්ගත්තා.️
හෂිණි මනමේන්ද්‍ර