ඔයාගේ මහත්තයා එහෙම වුණාට අපේ මහත්තුරු එහෙම නෑනේ
කේන්තිය අඩු කරගත්තාම හිතට දැනෙන සැනසීම ගැන මං හැම ලිපියකම වගේ ලියනවා. විශේෂයෙන්ම දරුවන්ගේ වැඩකටයුතුවලදි අම්මා කෙනෙක් විදියට ඉවසීම කොච්චර දුරට ප්‍රගුණ කරන්න ඕනද කියන එක ගැනත් මම අවස්ථා ගණනකම ලියලා තියනවා. එහෙම ලියලා විතරක් නිකන් නොඉඳ ඒ විදියට වැඩ කරන මගෙත්, ඉවසීම පොඩ්ඩක් අඩුවෙලා දරුවන්ට කෑගහපු අවස්ථාවක් ගැනයි මේ කියන්න හදන්නේ. මොකද කොච්චර ඉවසීමෙන් වැඩ කළත් මේ වගේ අහඹු දේවල් අපි හැමෝටම වෙන්න පුළුවන්.
ගිය සතියේ දවසක මං වෙනදා වෙලාවටම ඇහැරලා උදේ වැඩ ටිකත් කරලා 5.30 වෙද්දි නතාරි දුවව ඇහැරුවා. 5.30 ඇත්තටම වේලාසන වැඩියි නතාරි දූට ඇහැරෙන්න. 6.30 හොඳටම ඇති. ඒත් එයාමයි එයාව 5.30ට ඇහැරවන්න කියන්නේ. එයාම කියනවා එයා හෙමින් වැඩ කරන නිසා එයාට පුළුවන් කලින් ඇහැරුණාම හිමීට ලෑස්ති වෙන්න කියලා. ඉතින් කෙල්ල හැමදාම 5.30ට ඇහැරලා, දත් මැදලා, ඇඟ සෝදගෙන, ඇඳුම් ඇඳගෙන 6.30ට උදේ කෑම කන ගමන් ටීවී එකේ යන ළමා වැඩසටහනක් හරි, නැත්තම් කුකින් වීඩියෝ එකක් හරි බලනවා.
ඉතින් එදා මං නතාරි දූව ඇහැරවලා, කුස්සියට ගිහින් ඇවිත් 6ට විතර බලද්දිත් නතාරි නිදි. මං ආයේ කිව්වා, “මැණිකේ 6ත් වෙලා, ඇහැරෙන්න. ඔන්න මමා 5.30ට ඔයාව ඇහැරුවා, ඔයා තමයි ඇහැරුණේ නැත්තේ” කියලා. එවලේ දූ ඇහැරෙනවා වගේ දැකපු නිසා ආයේම මම මගේ වැඩ ටික කරන්න ගියා. හැබැයි 6.30ට බලද්දිත් නතාරි නිදි. ඔන්න එවලේ මට පොඩි කේන්තියන් ඇවිත් “නතාරි නැගිටින්නෙ නැද්ද? 6.30යි. පරක්කු වෙයි” කියලා සද්දෙට කිව්වා. ළඟටත් ගිහින් පොඩ්ඩක් සැරෙන් කතා කළා. නතාරි විතරක් නෙවෙයි ඒ සද්දෙට ඔවිත් ඇහැරුණා. දෙන්නම ඇස් ලොකු කරන් මගේ දිහා බයවෙලා වගේ බලන් ඉඳලා ලෑස්ති වෙන්න ගියා.
දහම් එතකොටම වගේ මගේ පිටිපස්සෙන් ඇවිත්, “ඇයි රෝසි කෑගහන්නේ? වෙලාව හොඳටම ඇතිනේ. වැඩිත් එක්ක. තාම 6.30යි” කියලා හරිම ආදරෙන් මට කිව්වා. “අනික ඇයි මේ කවදාවත් නැතුව ඔයාට කේන්ති ගිහින්?” කියලාත් ඇහුවා. එවලෙයි මට තේරුණේ මට කේන්ති ගිහින් කියලා. ඇයි මට මේ පුංචි දේකට කේන්ති ගියේ කියලා මටම හිතුණා.
පැංචියෝ දෙන්නා දත් මදිද්දී මං දෙන්නා ළඟට ගිහින් බදාගෙන හාද්දකුත් දීලා “නතාරි ගොමෙන්නේ, ඔවී ගොමෙන්නේ” කියලා දෙන්නාගෙන්ම සමාව ගත්තා. ජපන් භාෂාවෙන් ‘ගොමෙනසයි’ කියන්නේ ‘සමාවෙන්න’ කියන එකට. ‘ගොමෙන්නේ’ කියන්නේ ඒක කෙටි කරලා. ඉතින් දෙන්නම මාව බදාගෙන හිටියා පොඩ්ඩ වෙලාවක්.
එදා දහමුත් ඔෆිස් ගිහින්, පැංචියෝ දෙන්නත් ඉස්කෝලේ ගියාම මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා. බලද්දි දහම්ගෙන්. ඒ මැසේජ් එකේ හරිම වටින දේවල් ටිකක් එයා ආදරෙන් කියලා තිබ්බා.
“රෝසී… දරුවෝ එක්ක ගණුදෙනු කරද්දී රණ්ඩු වෙනවා වගේ හැසිරෙන්න එපා. ළමයි කතා කරනකොට එයාලා කතා කරලා ඉවර වෙනකන් ඉඳලා ඔයා කතා කරන්න. එයාලා කියන එකෙන් වචනයක් අල්ලන් කියවන්න එපා. එකදිගට කියවන්නත් එපා, එයාලා පොඩියි. තේරෙන්නෙ නෑනේ… ඔයාව එපාවෙයි… උදේට එයාලාගේ මූඩ් එක අවුල් වුණොත් දවසම ඉවරයිනේ… ඒත් ඔයා එයාලව බදාගෙන සමාවෙන්න කියලා කියපු එක ගොඩාක් වටිනවා රෝසි… දරුවෙක්ගේ වුණත් හිත රිදුණා කියලා ඔයාට දැනිලා ඔයා දරුවන්ගෙන් සමාව ගත්තානේ. ඒකෙන් කෙල්ලො දෙන්නාගේ මූඩ් එක හරි ගියා. ඔලුවේ අනවශ්‍ය දේ තියන් ඉන්න එපා. විශේෂයෙන් දරුවෝ එක්ක ඉඳිද්දි… ඔයාට අද ඇයි උදේ කවදාවත් නැතුව කේන්ති ගියේ…? හවසට ආවාම කතා කරමුකෝ… මං ඔෆිස් එකට ගිහින් ගන්නම්… මතකනේ, Mama happy home is heaven, Mama angry home is hell. ඔයා තමයි අපේ ගෙදර Mama.”
මට ඒ මැසේජ් එක කියවද්දි හිතට වචනයෙන් කියන්න බැරිතරමේ සැනසීමක් දැනුණා. උදේ මට කේන්ති ගියපු වෙලේ දහම් ඒක ආදරෙන් නිවපු විදියටයි, ආපහු ඒ දේවල් ආදරෙන් කියලා දුන්න විදියයි ගැන ලොකු සතුටක් දැනුණා. ආයෙත් එහෙම දේවල් නොවෙන්න වගේම මගේ ඔලුවට අනවශ්‍ය දේවල් දාන අයව ඈත් කරලා තියන්නත් තීරණය කළා.
ඒ වගේම මම අලුත් පාඩමක් ඉගෙනගත්තා. අපේ අතින් දරුවන්ගේ හරි හිත රිදුණා කියලා දැනුණොත් ඒ ගැන දෙපාරක් නොහිතා සමාවගන්න ඕනේ. අනිත් දේ තමයි මහත්තයා හොඳම යාළුවා වුණාම ගේ ගින්දර පිටට නොදී හරි ඉක්මනට හිත සමබර කරගන්න පුළුවන් කියලා මට දැනුණා.
මම මීට කලිනුත් ලියලා තියෙනවා, මාව හොඳ ගැහැනියක් වගේම, අම්මලා අතර හොඳම අම්මා කෙනෙක් කරන්න පාර පෙන්නන්නේ දහම් කියලා. මට කේන්ති ගිය වෙලාවේ දහමුත් කේන්ති අරන් කෑගහලා මට බැණ්නා නම් සමහරවිට නැති ප්‍රශ්නයක් හැදෙන්නත් තිබුණා.
ඔයාලට දැන් හිතෙයි ඔයා වාසනාවන්තයි, ඔයාගේ මහත්තයා ඔහොම හින්දා, හැබැයි හැමෝම එහෙම නෑනේ කියලා. ඔයාලට මං පුංචි දෙයක් කියන්නද? පවුල් ජීවිතේට බාහිරින් එන පීඩනයක්, ඔලුව අවුල් කරන දෙයක් තියෙනවනම් ඔයා මුලින්ම කතා කරන්න ඕනේ ඔයාගේ මහත්තයා එක්ක. ඒත් අපි හුරුවෙලා ඉන්නේ ළඟම යාළුවට හරි දෙමාපියන්ට හරි කියන්න. ඇත්තටම මාත් ඉස්සර එහෙමයි. ඒත් කසාද බැන්දාට පස්සේ හැමදේම බෙදාගන්න පළවෙනි කෙනා මහත්තයා වෙන්න ඕන කියලා මං තේරුම්ගත්තේ, යාළුවන්ට පෞද්ගලික දේවල් කියලා, ඒවා පිට අයගේ කන්වලටත් ගියාට පස්සේ. අපිට හොඳම යාළුවෝ ඉන්න පුළුවන්. ඒත් ඒ හැමෝටම උඩින් හිතට සමීපම, හොඳම විශ්වාසනීය යාළුවා ඔයාගේ මහත්තයා වෙන්න ඕනේ. ඕනම දෙයක් ඔයාට එයා එක්ක කියන්න පුළුවන් හොඳ යාළුවෙක් කරගන්න. එයාට කේන්ති යද්දි ඔයා එයාව නිවන්න. එතකොට ඔයාට කේන්ති යද්දිත් ඉබේම එයා ඔයාව නිවනවා. දරුවන්ගේ දේවල්, ඒ ප්‍රශ්න හැමවෙලේම මහත්තයා එක්ක සාකච්ඡා කරන්න. විශ්වාසවන්තම කෙනා එයා කියලා මහත්තයාට දැනෙන්න දෙන්න. ජීවිතේ මොන දේ වුණත් එතකොට එයා හිටගන්නේ ඔයාගේ පැත්තේ. අනිත් වැදගත්ම දේ මිනිස්සු අපේ ප්‍රශ්න අහලා දුක් වෙනවට වඩා ඒවා රස විඳිනවා. ඒවා හතර අතේ කියනවා. ඒ නිසා පවුලේ ප්‍රශ්න පවුල ඇතුළේ විසඳගන්න. ඒකෙන් ඔයාට ඇහුම්කන් දෙන හොඳ මහත්තයෙක් වගේම, ඔයාට හොඳම හොඳ යාළුවෙකුත් ලැබේවි. ගැහැනියකට වගේම පිරිමියෙකුටත් මේ වචන ඒ විදියටම පොදුයි.
හෂිනි මනමේන්ද්‍ර