ඉස්කෝල නිවාඩු කාලෙදි අම්මා ගෙදර ප්‍රින්සිපල් වුණොත් නම් වැඩේ අවුල්
මේ ගෙවෙන්නේ ජපානයේ ඉස්කෝලවල පළවෙනි වාරේ නිවාඩුව. නත්සු යසුමි කියලයි කියන්නේ. නත්සු කියන්නේ ග්‍රීස්ම කාලෙට. මේ දවස්වල මෙහේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 කිට්ටු වෙන්න යනවා. අගෝස්තුවේ රස්නේ ගොඩාක් වැඩියි. ඒ නිසා මේ තමයි පාසල් නිවාඩු කාලවලින් ලැබෙන දිගම නිවාඩුව. එහෙමත් නැත්නම් Summer Vacation එක.
දරුවන්ගේ ඉස්කෝලේ නිවාඩු කිව්වාම ගොඩක් දෙනෙකුට එකපාරටම කියවෙන්නේ “අපෝ” කියලනේ. සමහර අම්මලාට නිවාඩුව ඉවරයක් වෙනකල් ඉවසිල්ලක් නෑ. දඟ වැඩ, පුංචි පුංචි හිතුවක්කාරකම් නිසා දරුවන්ට කොච්චර ආදරේ වුණත් එයාලගේ නිවාඩු කාලෙදි ඔලුවට පොඩි පීඩනයක් එන එක සාමාන්‍ය දෙයක්. මට කියලත් වෙනසක් නෑ. ගෙවල් හැඩි කරද්දි අස් කරලා ඉවරයක් නෑ. බිම වැටුණ සෙල්ලම් බඩු කකුලට පෑගුනාම රිදුණාට වඩා කේන්ති යන එකයි මට වෙන්නේ. ඉතින් මං ඉස්සර නම් යක්ෂයා ආවේස වුණා වගේ කෑගහනවා. ඇත්තමයි දැන්නම් මට ඒවා මතක් වෙද්දි ලැජ්ජයි. ඊට වඩා දුකයි.
ඒ වගේ හේතු නිසා දරුවන්ගේ ඉස්කෝලේ නිවාඩුව සමහර දෙමව්පියන්ට අපෝ කියැවෙන දෙයක් වුණාට, දරුවෝ ඉන්නේ ඒ නිවාඩුව එනකල් ඇඟිලි ගැන ගැන. ඒක තමයි එයාලගේ සතුට. ඉතින් එයාලට සතුට ගේන දේ එයාලාගේ අම්මා වුණ මට වදයක් වෙන්න බෑ කියලා මං හිතුවා. එයාලා සතුටින්ම ගතකරන නිවාඩුව මගෙත් සතුටින්ම ගත කරන කාලය කරගන්න ඕනේ කියලා මම හිතුවා. ගෙදර වැඩ කොච්චර තිබුණත් එයාලා වෙනුවෙන් මගේ කාලය වෙන් කරන්න ඕනේ කියලා හිතුවා. ඒ වගේම මේ මුළු පාසල් නිවාඩුවෙම මං මගේ සතුට හොයාගන්නේ දරුවන්ගේ නිවාඩුව මාත් උපරිමයෙන් රස විඳින ගමන් කියලා තදින්ම හිතාගත්තා.
ගිය සිකුරාදා තමයි දුවලා දෙන්නාට නිවාඩු ලැබුණේ. හෝම්වර්ක් ගොඩාක් එවලත් තිබුණා. මේ නිවාඩුව දිග නිසා හෝම්වර්ක් ගොඩක් එවනවා. ඒක සාමාන්‍යයි. සෙනසුරාදා උදේ මං දහම් එක්ක එයාලගේ පොත් බෑග් අස් කරලා, පොත්පත් අස් කරලා, හෝම්වර්ක් වෙන් කරලා තිබ්බා. දහම් කොහොමත් මටත් වඩා ආසාවෙන් ඒ වැඩ කරනවා. ඉස්කෝලෙන් මේ සැරේ එවලා තිබුණා රවුම් ඇඳපු කොළයක්, ස්ටිකර් ටිකක් එක්ක. හැම දවසකම අම්මාට උදව්වක් කරලා ඒ එක රවුමක ස්ටිකර් එකක් අලවන්න ඕනේ. ඉතින් අක්කායි නංගායි මේ දවස්වල මට උදව් කරන්න පොර කනවා. නිවාඩු කාලේ කියලා නෑ හැමදාම ශරීර උෂ්ණත්වය මැනලා ලියන්න ප්‍රින්ට් කරපු කොළයකුත් දෙන්නාටම එවලා තිබුණා. ඉතින් ඉස්කෝලේ යන්නේ නෑ කියලා නොඉඳ ශරීර උෂ්ණත්වය මැනලා දෙන්නාගෙම කොළවල ලියනවා.
මට එයාලාගේ නිවාඩුව සතුටින් එයාලා එක්ක ගෙවන්න ඕන වුණ නිසා මමත් පුංචි දේවල් ටිකක් කළා. පැටව්ට නිවාඩුයි කියලා දවල් වෙනකල් නිදාගන්නේ නැතුව මම වෙනදා වගේම උදෙන් ඇහැරුණා. පැටව්න්ගේ කෑම පෙට්ටිවලටම දවල් කෑම ලෑස්ති කළා. මෙහේ බෙන්තො ගැන මං කලින් ලිපියකත් ලිව්වේ, අන්න ඒ වගේ මං තුන්දෙනාටම උදේට බෙන්තෝ තුනක් හැදුවා. අක්කලා දෙන්නා ඉස්කෝලේ යද්දී කෑම ගෙනියන්නේ නෑ. එයාලට ඉස්කෝලෙන් දවල් කෑම ලැබෙනවා. අයාන් පුතා විතරයි මොන්ටිසෝරි එකට දවල් කෑම ගෙනියන්නේ. ඉතින් මං ඒක හේතුවක් කරගෙන තුන්දෙනාටම බෙන්තෝ හැදුවා. ඒකෙන් අක්කලා දෙන්නා තමයි ගොඩාක්ම සතුටු වුණේ. එයාලගේ නිවාඩුවට ඒ විදියට ලස්සන එකතු කළාම මටත් සතුටුයි. උදෙන්ම එයාලගේ දවල් කෑම ලස්සනට හදලා වෙන්කරලා තියෙන නිසා මටත් ඒක ලොකු පහසුවක් වුණා.
ඉතින් මේ දවස්වල හවස් වෙද්දි දූලා දෙන්නාගේ යාළුවෝ දෙතුන් දෙනෙක් අපේ ගෙදරට එනවා. එයාලා ගේම්ස් ගහනවා. ඒ ඇරුණම එක එක සෙල්ලම් කරනවා. ඉතින් ඒ දරුවන්ටත් එක්කම මං මොනවහරි හදනවා. සඳදා ඉඳන් සිකුරාදා වෙනකන් දවස් පහටම කප් කේක්, මාශ්මෙලෝ, කිසස්, ඥාණකතා, චොක්ලට් කේක් වගේ ජාති හදලා දුන්නා. ඊළඟ දවස් පහට හදලා දෙන දේවල් ටිකක් දැනටමත් මං හිතලා ඉවරයි. මේ දවස්වල වැඩිපුරම මං එයාලගෙන් අහන්නේ අද මොනාද කන්නේ කියලා. ඒ තමයි මගේ ආදරේ මගේ දරුවන්ට පෙන්නන්න පුළුවන් ලස්සනම විදිය කියලා මං අත්දැකීමෙන් දන්නවා. ඒකෙන් එයාලගේ නිවාඩුවට තවත් සතුට එකතු වෙනවා.
රස්නේ නිසා එළියේ සෙල්ලම් කරන්න, පාර්ක්වලට ගිහින් සෙල්ලම් කරන්න අමාරුයි. ඉතින් සතිඅන්තය තියන් ඉන්නවා එයාල එක්ක එළියට ගිහින් මොනාහරි කාලා, චිත්‍රපටයක් බලලා නැත්තම් ඉන්ඩෝ ප්ලේ කරන තැනක සෙල්ලම් කරන්න දීලා එක්ක එන්න. දරුවොත් ගෙයිම හිරවෙලා ඉන්න කැමති නෑනේ.
හැමදාම උදේවරුවේ කෑමෙන් පස්සේ එයාලාම හෝම්වර්ක් ටිකක් කරනවා. ඊටපස්සේ ගේ අනික් පැත්ත ගහගෙන සෙල්ලම් කරනවා. දරුවෝ එහෙමනේ. ඉතින් ඒවාට තහංචි නොදා එයාලගේ නිවාඩුව, නිවාඩුවක් විදියට එයාලට දැනෙන්න දෙන්න ඕනේ. එහෙම හිතන්න පුරුදු වුණු නිසා මටත් මේ නිවාඩුව වෙනදා වගේ හිත පීඩාවට පත්කරන දෙයක් වුණේ නෑ. එයාලා එක්ක මාත් ගේම්ස් ගැහුවා. පොඩි පොඩි වැඩ කරද්දි එයාලාවත් හවුල් කරගත්තා. දවස ගෙවෙනවා දැනුණේවත් නෑ. කාර්යබහුල වුණත් දවසේ අන්තිමට හිතට දැනුණේ පුදුමාකාර සතුටක්. මගේ ආදරේ, සහයෝගය එක්ක දරුවෝ සතුටෙන් දවස වින්දා කියලා දැනුණාම හිතට දැනෙන හැඟීම වෙනස්ම එකක්.
දරුවන්ගේ නිවාඩුව අපිව කාර්යබහුල කරනවා තමයි. ඒත් ඒක සතුටක් කරගත්තම පීඩනය අඩුයි. මට ඕනේ නිවාඩුවේ ගෙවෙන හැම දවසක්ම දරුවන්ට විශේෂත්වයක් දැනෙන්න දෙන්න. දවස ගාණේ මතක හිටින ලස්සන මතක එකතු කරලා දෙන්න. මගේ බලාපොරොත්තුව ගෙවුණ සුමානේට වඩා හොඳින් අලුත් සුමානේ එයාලගේ නිවාඩුව සතුටෙන්ම පුරවන්න.
දරුවන්ගේ ජීවිතවලට සතුට පුරවන තරමට අපි එයාලගේ ජීවිතේ සුන්දරම මතක වෙලා ඉඳීවි. දෙමව්පියෝ විදියට ඊට වඩා සැනසීමක් තියෙන්න පුළුවන්ද?
හෂිණී මනමේන්ද්‍ර