නවතම ප්‍රවෘත්ති

සැලෝන් එකට මගේ නම දාගන්නවට වඩා මම බැලුවේ මාකට් කරන්න පුළුවන් නමක්

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට නැවුම්වූත්, පලදායීවූත් වෙනසක් එක් කරමින් රූපලාවණ්‍ය ශිල්පීන්ගේ ජාත්‍යන්තර ඇකඩමිය (LAB) පිහිටුවන්නේ මෙයට වසර දහඅටකට ප්‍රථමයි. සිසුන් හයදෙනෙකුගෙන් පමණ ඇරඹුණද අද වනවිට එම ඇකඩමියෙන් දැනුම හා කුසලතා වර්ධනය කරගෙන ක්ෂේත්‍රයට එක්ව ඇති පිරිස දසදහසක් පමණය. මවගෙන් ලද දැනුම මෙන්ම අත්දැකීම් ඔස්සේද තම හැකියාව ඔප්නංවා ගන්නට කටයුතු කළ ඇය Naturals Unisex Salon Sri Lanka ඔස්සේ ක්ෂේත්‍රයට නව සන්නාම නාමයක් එක්කළ හසිනි හර්ෂිකා ගුණසේකරයි. ජනප්‍රිය රූපලාණ්‍ය ශිල්පිනී දීපිකා ගුණසේකරගේ දියණිය වන ඇය LAB ඇකඩමියේ පාඨමාලා අධ්‍යක්ෂවරියද වෙයි. ව්‍යාපාර කළමනාකරණය පිළිබ ගෞරව උපාධිධාරිනියකද වන හසිනි, තායිලන්තයේ කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍ය සංස්කෘතිය පිළිබ ඩිප්ලෝමාධාරිනියක මෙන්ම APHCA වෘත්තීය නියාමන මණ්ඩලයේ සාමාජිකාවකද වේ. මෙවර ධරණී කවරය හැඩගැන්වෙන්නේ ඇයගේ සොුරු රුවිනි.

අපි ඔබව රූපලාවණ්‍ය ශිල්පිනියක් විදියට හුන්වන්නද, එහෙමත් නැත්නම් ව්‍යවසායිකාවක් විදියට හුන්වන්නද?

ඇත්තටම මම කැමතියි මාව ව්‍යවසායිකාවක් විදියට හඳුන්වනවට.

ඔබ මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ ඔබගේ මව නිසාද? මවගේ කාර්යබහුලකමත් සම ඔබේ කුඩා කාලය ගෙවුණේ කොහොමද?

අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි තමයි අපේ පවුලේ සාමාජිකයෝ. ඇත්තටම රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ගැන මට කැමැත්තක් ඇතිවෙන්න මූලික හේතුව මගේ අම්මා. අම්මව මම හැමදාමත් දැක්කේ කාර්යබහුල කෙනෙක් විදියට. අවුරුදු හතළිහක විතර කාලයක් ඇයගේ ඒ කැපවීම, උනන්දුව මම දැක්කා. ඒ වගේම ඇය ඇයගේ ගණුදෙනුකරුවන්ව ලස්සන කරන්නේ බොහොම ආදරෙන්. ඒ කැපවීම එක්ක අම්මට අපි වෙනුවෙන් පවා  ඇතැම් අවස්ථාවල වෙලාව නොතිබුණු තරම්. ඒත් මම ඇයගෙන් දැක්ක දෙයක් තමයි අපි මොන ක්ෂේත්‍රයේ කටයුතු කළත්, ඊට දක්වන කැපවීම, උනන්දුව ඉතාම වැදගත් කියන කාරණය.

 

ඒ කියන්නේ මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ඔබට අදහසක් එන්නේ කුඩා කාලෙදිමයි කියන එකද?

මෙහෙමයි. අපේ ගෙදරම තමයි අම්මගේ සැලෝන් එක තිබුණේ. එතැනදී රූපලාවණ්‍ය විතරක් නෙවෙයි, අම්මා කේක් හදනවා, මල් හදනවා. ඒ එක්කම ඒවා තව අයට උගන්වනවා මම පුංචි දවස්වල ඉඳලම දැක්කා. සමහර වෙලාවට ඇය නිදි මරනවා. සීමාවක් නැතුව වැඩ කරනවා. ඇයගේ කැපවීම විටෙක පුදුමයි. මමත් මේ බොහෝ දේවල් දිහා බලලා ඉගෙනගත්තා. හැබැයි කුඩා කාලේ මම මේ ක්ෂේත්‍රය තෝරගන්නවා කියන අදහසක හිටියේ නැහැ. අම්මා ඊට බලපෑමක් කළෙත් නැහැ.

 

එතකොට කොහොමද හසිනි මේ ක්ෂේත්‍රයට යොමුවෙන්නේ?

මම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලියලා ගෙදර ඉන්නකොට ඊළඟට මොනවද කරන්නේ කියලා කල්පනා කළා. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ දැනුම ලබාගත්තොත් හොඳයි නේද කියලා අපි දන්න අංකල් කෙනෙක් ඒ වෙලාවෙ කිව්වා. තායිලන්තයේ ඊට සුදුසු කැම්පස් එකක් තියෙන බවත් කිව්වා. ඒ තොරතුරු හොයලා බලලා මම කැමති වුණා ඒ දැනුම සොයාගෙන යන්න.

 

ඒ දැනුම සොයාගෙන ගිය ගමනේ තවත් වෙනසක් ඔබේ ජීවිතයේ සිදු වෙනවා. කොහොමද ඒ හමුවීමට මුල පිරෙන්නේ?

දවසක් මම කැම්පස් එකේ ඉඳලා වැඩකට යනවා එළියට. ඒ යන්නේ යාළුවෙක්ගෙන් පාර අහගෙන. එයා මට වැරදි බස් නොම්බරයක් තමයි කියලා තියෙන්නේ. ඉතින් මට වැරදි බස් එකක ගිහින් වැරදි හෝල්ට් එකක බහින්න සිද්ධ වෙනවා. වටපිට බලද්දි සුදුපාට හම තියෙන අය අතරේ කළු පාට සමක් තියෙන කෙනෙක් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා. ඊටපස්සේ මම එයා එක්ක කතා කළා පාර දන්නවද අහන්න. ඔහු බංගලාදේශ මුස්ලිම් ජාතිකයෙක්. ඔහුත් මගේම කැම්පස් එකේ සීනියර් කෙනෙක්. අපි විනාඩි විස්සක් විතර බස් එකේ එන්න ඕනෙ. ඒ එනගමන් අපි අපේ රටවල්වල විස්තර, ගෙවල්වල විස්තර කතා කරමින් ආවා. එදා ඉඳලා අපි හොඳ යාළුවෝ වුණා. එහෙම තමයි එදා මට මගේ සැමියා ‘ෂුවෝ’ව මුණගැහුනේ.

 

කොහොමද ඒ යාළුකම ආදරයකට පෙරළන්නේ? ගෙදරින් අකමැත්තක් තිබුණේ නැද්ද?

යාළුවෝ විදියට අපි දෙන්නා අතරේ ලොකු අවබෝධයක්, වටහාගැනීමක් තිබුණා. දවසක් ෂුගේ තාත්තා එයාව බලන්න තායිලන්තයට ආපු වෙලාවක, අපිව දැකලා මේ දෙන්නට දෙන්නා කැමතියි වගේ නේද කියලා තේරුම් අරන් තිබුණා. ෂුත් ඒ වෙනකොට මගේ යාළුවෙක් විදියට ලංකාවට ඇවිත් අපේ ගෙදරටත් ඇවිත් හිටියේ. 1998 තමයි මට ඔහුව මුණගැහුනේ. මගේ දෙමව්පියන්ට මේ ගැන මුලින්ම කිව්වේ එයාගෙ දෙමව්පියෝ. අපි 2005 අවුරුද්දේ හඳහන් බලලා, දෙපාර්ශවයේම ආශිර්වාද මැද විවාහ වුණා. ඒ අවුරුදු හයක ආදරයකින් පස්සේ. දැන් අපට දියණියන් දෙදෙනෙක් ඉන්නවා.

ඔහුගෙන් ඔබේ ව්‍යාපාර කටයුතුවලට ලැබෙන සහයෝගය මොන වගේද?

ඇත්තටම අපි දෙන්නා එදා ඉඳලම අදටත් හොඳම යාළුවෝ. ඔහු මගේ ව්‍යාපාර කටයුතුවලට ධෛර්යමත් කරනවා වගේම, හොඳ තේරුම් ගැනීමක් ඇතුළේ අපේ ජීවිත ලස්සනට ගලාගෙන යනවා. ඒ තේරුම් ගැනීම මගේ කටයුතු සියල්ලට පහසුවක්.

 

රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධිය වගේම මුදල් යහමින් තියෙනවානම් එහෙම පවුලක කෙනෙකුට සාර්ථක වෙන්න අමාරු නැහැ කියලා ඇතැමුන් තුළ මතයක් තියෙනවා. ඔබ ඒ ගැන මොන වගේ අදහසක්ද දරන්නේ?

මම නම් එහෙම හිතන්නේ නැහැ. මගේ අම්මා ඉතාම සාර්ථක ගමනක් ආවා. ඇයට හොඳ පිළිගැනීමක් තිබුණා. මම අම්මගෙන් ඉගෙනගත් දේවල් මට හයියක් වුණා. ඒ වුණත් මට ඕන වුණේ වෙනස් ගමනක් යන්න. මම අම්මගේ ඇසිස්ටන් විදියට වැඩ කළා. අම්මා වැඩ කරන විදියයි මං වැඩ කරන විදියයි වෙනස්. මාකටින් කියන දේ මට වැදගත්. අම්මා නම් ඉස්සර බෝඩ් එකක් දානවටවත් කැමති නෑ. එතැනදී මම මගේ උත්සාහය තුළ මගේ ටාගට් එකට යන්න කැපවුණා. කවුරු හිටියත්, මට ඒ දැක්ම නැත්නම් මගේ සැලසුම් අසාර්ථක වෙනවා. පරම්පරාවේ සල්ලි තිබුණට ව්‍යාපාරයක් පවත්වගෙන යන්න බෑ. එයට නිර්මාණශීලීත්වය වගේම දැක්ම බලපානවා.

 

ඇතැමුන් පහසුවෙන් මුදල් ඉපයිය හැකි ක්ෂේත්‍රයක් ලෙසත් රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ලඝු කරනවා?

වෘත්තීය අධ්‍යාපනය කියන දේ එතැනදී වැදගත් වෙනවා. එයත් හරියට දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ තමයි. මම තායිලන්තේ ඉගෙනගනිද්දී අපේ බැච් එකේ ළමයි තුන්සියයක් විතර ඉගෙනගත්තා. ඒ ඉගෙනුම කරලා ඇවිත් ළමුන් හයදෙනෙකුගෙන් මම පාඨමාලා උගන්වන්න පටන්ගත්තා. තෘතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අනුමත කළ විෂය මාලාවක් එක්ක ජාත්‍යන්තර පිළිගත් City & Guilds සුදුසුකම එක්ක කර්මාන්තයට ජාත්‍යන්තර පිළිගැනීමක් එක්කරන්න කටයුතු කළා. කවුරු වුණත් මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන්න නම් දැනුම අලුත් කරගෙන අලුත් දේ එක්ක ඉදිරියට ගියොත් පැවැත්ම තහවුරුයි.

 

ඔබට මේ වෙනකොට රූපලාවණ්‍ය ආයතන ශාඛා කීයක් තියෙනවද?

සැලොන් හතක් තියෙනවා. Naturals නාමය යටතේ සැලොන් ජාලයක් විදියට එය පවත්වාගෙන යන්නේ. ඕනම කෙනෙකුට මේ හරහා ආයෝජනය කරලා ක්ෂේත්‍රයට එන්නත්, රැකියා අවස්ථා ඇති කරමින්, සාර්ථක වූ ගමනක් යාමටත් හැකියාව තියෙනවා. මම එතැනදි අපේක්ෂා කළේ මගේ නම දාගෙන සැලොන් එකක් කරනවට වඩා එකම සන්නාමයක් යටතේ ශාඛා කිහිපයක් පවත්වාගෙන යන්නයි. ඊට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදෙන්නයි.

 

ඔබ ව්‍යාපාරිකාවක් විදියට බොහෝ කාර්යබහුල කාන්තාවක්. ඒ එක්කම දියණියන් දෙදෙනෙකුගේ මවක්. කොහොමද ඔවුන්ගේ වගකීම් ඔබට දැනෙන්නේ?

මවක් ලෙස ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වගේම අපි දෙන්නම බොහෝ ආදරයෙන් ඔවුන්ගේ අනෙකුත් අවශ්‍යතා ගැන සොයා බලනවා. ඔවුන්ට අනාගතයේ ඉදිරියට යන්න මග පෙන්වීම කරනවා. අපේ ලොකු දුවට දැන් අවුරුදු පහළොවයි. පොඩි දුවට අවුරුදු දහයයි. මම කරන නිසා එයාලත් මේ දේ කරන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. මම මගේ අම්මා නියැළුණු නිසාම නෙවෙයි මේ ක්ෂේත්‍රය තෝරාගත්තේ. ඉතින් එයාලත් එයාලා යා යුතු මාවත නිවැරදිව තෝරාගනීවි.

 

ඉවුම් පිහුම් කටයුතුවලට ඔබේ දායකත්වය කෙබුද?

ඉවුම් පිහුම් කටයුතුවලට නම් මම දක්ෂ නැහැ. ඒ සඳහා අපට සහාය වෙන්න නිවසේ දෙදෙනෙක් ඉන්නවා. ගෙදරදොර අස්පස් කරන කටයුතුවලට නම් මම කෙසේ හෝ කාලය හදාගන්නවා. ෂු ලංකාවේ කෑම බීමවලට කැමති නිසා, අරවා හදන්න ඕන, මේවා හදන්න ඕන කියලා ලොකු ගැටලුවකුත් නැහැ. ඔහු බොහොම සරල කෙනෙක්.

 

මෙම ක්ෂේත්‍රය තෝරගන්න ඉන්න ආධුනික කෙනෙකුට ඔබ ලබාදෙන උපදේශය මොකක්ද?

මේ ක්ෂේත්‍රයේ අනාගතය රැඳිලා තියෙන්නේ ඒ වෙනුවෙන් වන කැපවීම මතයි. ප්‍රතිලාභය මුල්කොටගෙන පමණක් මෙහි රඳා පවතින්න අපහසුයි. අවංකකම, නිර්මාණශීලීත්වය, කැපවීම සාර්ථක ගමනකට හේතුවක්. ඉක්මනින් පෝසත් වෙන්න හිතාගෙන හෝ තව කෙනෙක් කරනවට මෙවැනි ක්ෂේත්‍රයක් තෝරා නොගත යුතුයි කියලයි මම හිතන්නේ. මට තව කෙනෙක් ලස්සන කරන්න පුළුවන් කියන තැන ඉඳලා මේ ක්ෂේත්‍රයට එන්න. ඒ වෙනුවෙන් කැපවෙන්න. ඔබව සාර්ථක වෙන්නත් තව කෙනෙකුගේ මුහුණට දයාබර සිනාවක් ගේන්නත් එවිට හැකියාව ලැබෙනවා.

 

දීපා වසන්ති එදිරිසිංහ

ඡායාරූප ක්‍රිෂාන් කාරියවසම්