කඩු පාරක් කාලා මැරෙන එක Silent Treatment එකකට වඩා සැපයි
මේ ලෝකයේ තමන් ආදරය කරන කෙනෙකුට ලබා දිය හැකි දරුණුතම දඬුවම තමයි Silent Treatment කියලා කියන්නේ. මෙතැනදී සරලවම සිද්ධවෙන්නේ තමන්ගේ සහකරු හෝ සහකාරිය සමඟ කතාබහ කිරීම, Communicate කිරීම සැලකිය යුතු කාලයකට නවතා දැමීමයි. සමහරු තමන්ට ප්‍රශ්නයක් වුණාට පස්සේ තරහ නිවෙනතෙක්, ඔලුව පොඩ්ඩක් Relax වෙනතෙක් කාත් එක්කවත් කතා කරන්නේ නැතුව පැයක් දෙකක් ඉන්නවා. ඒක නෙමෙයි Silent Treatment කියලා කියන්නේ. Silent Treatment වලදී වරු ගණන්, දවස් ගණන් කතා කරන්නේ නැහැ. මෙය සිද්ධ වෙන ආකාර දෙකක් තියෙනවා.
පළවෙනි අවස්ථාවේදී Silent Treatment එක පටන් ගන්නේ ප්‍රශ්නයක් මැදදි වෙන්න පුළුවන්. කතාබහ කරලා ප්‍රශ්නය විසඳා ගැනීම වෙනුවට සමහරු කරන්නේ කතාබහ කිරීම සම්පූර්ණයෙන්ම නවතලා දාන එකයි. ගොඩක් වෙලාවට වැරැද්ද කරලා තියන කෙනාම තමයි Silent Treatment දෙන්න පටන් ගන්නේ. මේකෙන් වෙන්නේ අනිත් කෙනා සම්පූර්ණයෙන්ම කරකවලා අතහරිනවා වගේ වැඩක්. ඔහුට හෝ ඇයට හිතාගන්න බැරිවෙනවා ඇත්තටම වැරැද්ද තියෙන්නේ තමන්ගෙ අතේද කියලා! කොච්චර උත්සාහ කළත් Silent Treatment ලබාදෙන කෙනාගෙන් වචනයක්වත් එළියට ගන්න බෑ. වචනයක් හරි කතා කළත් ඒකත් ඕනෑවට එපාවට තමයි කතා කරන්නේ. ඉතිං ඔන්න Silent Treatment එකට ලක්වෙන කෙනාගෙ ඔලුව තනිකරම පැටලුණු නූල් බෝලයක් බවට පත්වනවා.
දෙවැනි අවස්ථාවේදී සමහර මිනිසුන් හේතුවක් නැතුවම අනිත් කෙනා සමඟ කතාබහ කිරීම නවත්වලා දානවා. උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්. මම දන්න එක්තරා යුවළක ස්වාමිපුරුෂයා හිටිහැටියෙම කිසිම ප්‍රශ්නයක් වෙලා නැතුවත්, තමන්ගෙ බිරිඳ සමඟ කතා කිරීම නවත්තලා දානවා. ළඟකදි ඔවුන් විනෝද චාරිකාවක් ගියාලු. ස්වාමිපුරුෂයා හරිම සතුටින් කතාබහ කරලා හිටියාලු. බිරිඳ ස්ථිරවම මට පැවසුවා ඔවුන් දෙදෙනා අතර කිසිම ප්‍රශ්නයක් ඒ වෙලාවෙදි ඇතිවුණේ නැහැ කියලා. ඔන්න එකපාරටම ස්වාමිපුරුෂයා කතා කරන එක නවත්වලා දානවා. ඔහු තමන්ගේ බිරිඳව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. බිරිඳ මොනවා ඇහුවත්, කිව්වත් ඔහු නිහඬවම ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා. දවස් තුනේ ට්‍රිප් එකේ අන්තිම දවස පුරාවටම ස්වාමිපුරුෂයාගේ හැසිරීම ඔන්න ඔය වගෙයි.
මෙහිදී අනිත් කෙනා කෙතරම් හඬා වැලපුණත් ඔවුන් නැවත තමන්ගේ Partnerට (සහකරුට) කතා කරන්නේ කැමති දවසක කැමති වෙලාවක විතරයි. එදාට කිසිම දෙයක් නොවුණ විදිහට හරිම ආදරණීයව මොවුන් කතා කරන එක තමයි ලස්සනම වැඩේ කියලා කියන්නේ. ඉතින් අර කතා නොකරපු කාලපරාසය පුරාවටම Partnerට (සහකරුට) හිතාගන්න බැරුව ඉන්නවා ‘‘මොන මංගල්ලයක්ද දෙයියනේ වුණේ?’’ කියලා. සමහර වෙලාවට මෙවැනි අවස්ථාවලදී Silent Treatments ලබාදෙන පුද්ගලයා, අනිත් කෙනාට අතීත වැරදිවලට හිටිහැටියෙම දඬුවම් ලබා දෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිසිම හේතුවක් නැතුව ඔවුන්ව රිද්දනවා වෙන්නත් පුළුවන්. හැබැයි මම ආයෙත් කියනවා මෙම දඬුවම් දීම සහ රිද්දීම සම්පූර්ණයෙන්ම ඔහු හෝ ඇය සිදු කරන්නේ වචනයක්වත් කතා නොකර නිහඬවම සිටීමෙන් පමණයි.
Silent Treatment එකක් අවසානයේ එම දඬුවමට ලක්වෙන පුද්ගලයා වංකගිරියක අතරමං වෙනවා. කාලයක් යද්දී ඔවුන් හිතන්න පටන් ගන්නවා වැරැද්ද තිබෙන්නේ තමා තුළ සහ එම නිසා අනිත් කෙනා තමන්ට මේ විදිහට සැලකීම සාධාරණයි කියලා. කාලයක් යද්දි මෙම සිතිවිලි යටි හිතට අවශෝෂණය වීමත් සමඟම Silent Treatments වලට ලක්වන පුද්ගලයා ඇතුළාන්තයෙන් බිඳවැටෙනවා. විශාල ඍණාත්මකතාවයක් ඔහු හෝ ඇය වටා නිරන්තරයෙන්ම පවතිනවා. Partner තමන්ට මේ විදියට සලකන්නේ තමන් හරිම නරක පුද්ගලයෙක් නිසා කියන සිතුවිල්ල ඉතාම භයානකයි නේද? ඔන්න ඊටපස්සේ කාලයක් ගියවිට සමහර වෙලාවට Silent Treatments ලබාදෙන පුද්ගලයන් හිතුමනාපෙට වැරදි කරන්නත් පටන් ගන්නවා. උදාහරණයක් විදිහට ස්වාමිපුරුෂයා වෙන ගැහැනු ළමයෙක් සමඟ අනවශ්‍ය විදිහට Chat කරන්න ගන්න පුළුවන්. හැබැයි එහෙම වුණත් බිරිඳට මේ ගැන ස්වාමිපුරුෂයාගෙන් ප්‍රශ්න කරන්න හිතෙන්නේ නැහැ. මොකද එයා හිතනවා මේ හැමදේම සිද්ධ වුණේ තමන්ගෙම වැරදි නිසා කියලා. ඒ තරමටම තමන් වැරදි කියන සංකල්පය ඇයගේ ඔලුව ඇතුළට කිඳාබැහැලා ඉවරයි. ස්වාමිපුරුෂයාගේ නිහඬ දඬුවම් සමඟ ඇය විසින්ම ඇයගේ පෞරුෂත්වය හෙමින් හෙමින් විනාශ කරගන්නවා.
ඒ සමඟම ආත්ම විශ්වාසය සීඝ්‍රයෙන් කඩාගෙන වැටෙනවා. ඔවුන් නිරන්තරයෙන්ම බයෙන් සිටිනවා තමන්ගෙන් වැරැද්දක් සිද්ධවෙයි සහ ඉතාම ඉක්මනින් ඔවුන්ට තවත් Silent Treatment එකක් ලැබේවි කියලා. මෙහි අවසානය ගොඩක් වෙලාවට Anxiety තත්ත්වයක්. පර්යේෂණ වාර්තා අනුව Silent Treatments හරහා Anterior Cingulate Cortex (වේදනාවට අදාළ) ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සරලවම Silent Treatment හරහා ඔයාගේ ශරීරය වේදනාවට පත් වෙනවා. ඔයත් Silent Treatments වලට ලක්වෙන කෙනෙක් නම් සමහර වෙලාවට හිටිහැටියෙම බඩේ අමාරු, දරාගන්න බැරි වේදනාවක් සහිත ඔලුවේ කැක්කුම, කැරකැවිල්ල, වමනය වගේ තත්ත්වයන් ඔයාට ඇති වෙන්නත් ඉඩකඩ තියෙනවා.
ඒ වගේම Depression තත්ත්වවලට මිනිසුන්ව අරගෙන යන්නත් Silent Treatments වලට පුළුවන්. මිනිසා කියන්නේ ස්වභාවිකව සමාජශීලී සත්වයෙක්. අපි නිතරම කැමති කතාබහ කරලා හිනාවෙලා ඉන්න. අපේ අදහස් අන් අය සමඟ බෙදාගන්න. Silent Treatment ලබාදෙන පුද්ගලයෙකුව ඔයා ආශ්‍රය කිරීම හරහා සන්නිවේදනය කියන මූලික අයිතිය ඔයාට ඉබේම අහිමිවෙලා යනවා. තව කෙනෙක් එක්ක කතා කරන්නත් මෙවැනි අවස්ථාවලදී සමහරු බිය වෙනවා. මොකද ඒක තමන්ගේ සහකරු හෝ සහකාරිය දැනගත්තොත් වැරදි ප්‍රතිරූපයක් මවාගෙන වැඩි වැඩියෙන් Silent Treatments ලබාදේවි කියන බය ඔවුන්ගේ හිත තුළ දළුලමින් පවතින නිසා. ක්‍රමක්‍රමයෙන් ඔයා මානසික සිරගෙයක් ඇතුළේ සිරවෙනවා.
‘‘අනේ ඒක එයාගේ හැටි, එයා කොහොමත් ප්‍රශ්නයක් වුණහම කතා කරන්නේ නැහැ! එයා හරි යනකන් මං ඉතින් මගේ පාඩුවේ බලාගෙන ඉන්නවා!…’’ මෙන්න මේ විදිහට තමයි ගොඩක් දෙනෙක් තමන්ගේ Silent Treatments ලබාදෙන Partner ව සාධාරණීකරණය කරන්නේ. පර්යේෂණ වාර්තා අනුව Silent Treatment ලබාදෙන ගොඩක් දෙනෙක් Narcissistic Personality තිබෙන අය. සරලවම කියනවා නම් ගහන්නේ බණින්නේ නැති වුණාට මේ අය සමඟ ඇතිවෙන සම්බන්ධතා තනිකරම Toxic Relationships!
අවසානයට කියන්න තියෙන්නේ, Silent Treatments වලට දීර්ඝකාලීනව ලක්වීමට වඩා කඩු පහරකින් එකවර මියයාම සැපතක්! (Do not justify silent treatments )
හසින්ත හේවාවසම්