Latest News

අධිවේගයේ සිදුවූ අනතුරින් කොරියන් භාෂා ගුරුවරිය මරුට

සුඛෝපභෝගී ජීප් රථයක් අධිවේගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 16 දශම 1 සපුගස්කන්ද ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රියේ ටයිල් පැටවූ ලොරියක ගැටීමෙන් ගුරුවරිය එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, කඩවත රම්මුතුගල ගෝනහේන පාර පදිංචි කොරියන් භාෂා ගුරුවරියක් වන ගිතානි මානෙල් ප්‍රියන්ති නමැති 47 හැවිරිදි එක් දරු මවක්.

අනතුරින් ජීප් රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ටයිල් පැටවූ ලොරිය මාතර දෙස සිට කඩවත දෙසට ධාවනය වීමේ දී එම දිසාවටම පිටුපසින් ධාවනය වෙමින් තිබු සුඛෝපභෝගී ජීප් රථය ලොරියේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබූ බව පොලිසිය සඳහන් කළා.

මෙහිදී පොලිසිය සඳහන් කලේ, ජීප් රථය ලොරියෙ ගැටීමත් සමග එය සුන්බුන් ගොඩක් බවට පත්වී ඇති අතර ගුරුවරිය හඳුනාගත නොහැකි ලෙස බරපතළ තුවාල සිදුවී ඇති බවයි.

ජීප් රථ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය සහ අධික වේගය අනතුරට හේතුව වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අතුරුගිරිය රථවාහන පාලක මධ්‍යස්ථානය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එස් අශෝක කුමාර මහතාගේ උපදෙස් මත සිදු කෙරෙනවා.