දරුවො ලැබුණා කියලා ගෑනු කෙනෙක් හීනවලට නොයා ඉන්න ඕන නෑ
අපේ රටේ ඉන්න චිත්‍රපට නිෂ්පාදිකාවන් ප්‍රමාණය අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුයි. ඔය අතරිනුත් අපි හොඳට දන්න කියන කෙනෙක් තමයි රේණුකා බාලසූරිය. “ලංකාවේ සිනමාව දැන් අනාථ දරුවෙක් වගෙයි” කියලා පහුගිය දවසක ඇය මාධ්‍යට කියලා තිබුණා. මේ වෙනකොට සිනමා ක්ෂෙත්‍රයේ දිශානතිය ඒ තරම් යහපත් අතක නැති බව බොහෝදෙනෙක් මතු කරන කාරණයක්නේ. කොහොම නමුත් ලංකා සිනමාවේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන්න යන විශේෂ චිත්‍රපටයක් ගැන අපිට මෑතකදී අහන්න ලැබුණා. චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානලාභී අධ්‍යක්ෂක ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණයක්. ඒ වගේම මේ චිත්‍රපටයෙන් අර අතේ ඇඟිලි ගාණටත් අඩුයි කිව්ව ලංකාවේ නිෂ්පාදිකාවන් අතරට තවත් නිෂ්පාදිකාවක් එකතු වෙනවා. ඇය හිරණ්‍යා පෙරේරා. ඉලංගෝගේ ආදරණීය බිරිඳ.
නිෂ්පාදන ක්ෂේත්‍රයට නවක වුණත් ඇය ලංකාවේ මාධ්‍ය ක්ෂෙත්‍රය ඇතුළේ වැඩ ගොඩක් කරපු කෙනෙක්. ඉතින් අපි ඇයගෙන් ඇගේ ගමන ගැනත්, ලංකාවේ හැදුනු මේ සුවිශේෂී චිත්‍රපටය ගැනත් අහලා බැලුවා. ඒ වගේම අද ‘ධරණී’ කවරය සැරසෙන්නේත් ඇගේ රුවින්.
“චිත්‍රපටි, කැමරා එක්ක මට තියෙන බැඳීම අදක ඊයෙක ඇතිවුණු එකක් නෙමෙයි. අවුරුදු අටේදී තාත්තා මට රීල් කැමරාවක් ගෙනල්ලා දුන්නා. එදා ඉඳලා ඉතින් මම කැමරාවට ආදරෙයි. අනික අපේ අම්මයි, තාත්තයි දෙන්නම ෆිල්ම් බලන්න හරි රුසියෝ. මාත් ඉතින් පොඩි කාලේ ඉඳලම එයාලා එක්ක ෆිල්ම් බලනවා.”
හිරණ්‍යා අපිත් එක්ක කතාව පටන්ගත්තේම කැමරාවකින්. කලාවට ආදරය කළත් ඇය අධ්‍යාපනය ලැබුවේ වාණිජ අංශයෙන්ලු. ඇය අලෙවි කළමනාකරණය උපාධියත්, ව්‍යවසායක සහ නව සොයාගැනීම් සම්බන්ධයෙන් පශ්චාත් උපාධියත් ලබාගෙන තියෙනවා.
“ඉගෙනගෙන ඉවරවෙලා මම මාර්කටින් පැත්තෙන් ජොබ් එකක් කළා. හැබැයි මගේ ඇඟේ තියෙන හැකියාව ඒක නෙමෙයි කියලා මට තේරුණා. පස්සේ මම ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක රූපවාහිනී දැන්වීම් අධ්‍යක්ෂවරියක් විදිහට සේවයට එකතු වුණා. එතැනදි මට දැන්වීම්කරණය, කැමරාකරණය සහ අධ්‍යක්ෂණය ගැන හොඳ දැනුමක්, පළපුරුද්දක් ලැබුණා.”
*එතකොට සැමියා ඉලංගෝව මුණගැහුනෙත් ඒ කාලෙද?
“ඔව්. අපේ ක්ෂේත්‍රයේම මිතුරෙක් තමයි මට ඉලංගෝව හඳුන්වලා දුන්නේ. එතකොට ඉලංගෝ තමයි ලංකාවේ හිටපු අංක එකේ දැන්වීම් අධ්‍යක්ෂක. ඉතින් ඔහුගෙන් ඒ දවස්වලත් මට ලොකු සහායක් ලැබුණා. කතාබහ කරන්න අරන් අවුරුදු තුනකට පස්සේ අපි විවාහ වුණා. විවාහ වෙන්න ආසන්න කාලෙදි මම රැකියාවෙන් අයින් වෙලා ඉලංගෝ එක්ක ‘silent frames productions’ කියන අපේම ප්‍රඩක්ශන් හවුස් එක පටන්ගත්තා.”
සයිලන්ට් ෆ්‍රේම් ආයතනය හරහා ඉලංගෝ සහ හිරණ්‍යා නිර්මාණය කළ ජාත්‍යන්තර සම්මානලාභී කෙටි චිත්‍රපටය ‘silent tears’ ගැනත් අපි ඇයගෙන් අහලා බැලුවා.
“ලංකාවේ සිනමාව ලෝකයට ගෙනියන එක තමයි අපේ අරමුණ. ඒ කෙටි චිත්‍රපටය එහි එක් සංධිස්ථානයක්. ඒක ස්විස්ටර්ලන්තේ ලෝකානෝ, ඇමරිකාවේ ග්‍රීන් බේ ඇතුළු ප්‍රකට ජාත්‍යන්තර සම්මාන උළෙල 27ක් නියෝජනය කළා. ඒ වගේම එයින් සම්මාන 19ක් ලබාගන්නත් අපිට පුළුවන් වුණා. ඒ ගැන ඇත්තටම අපි දෙන්නටම හරිම සතුටුයි.”
ඔවුන් විතරක් නෙමෙයි අපේ රටේ නම ජාත්‍යන්තරයට අරගෙන යන මේ වගේ කලා නිර්මාණ ගැන අපිත් සතුටු වෙන්න ඕනේ. ලංකාවේ පෙරළියක් කරන්න බලාපොරොත්තු වෙන ඔවුන්ගේ ප්‍රථම චිත්‍රපට නිර්මාණය ගැනයි ඊළඟට ඇය කතා කළේ.
“මීට අවුරුදු තුනකට විතර කලින් තමයි ඉලංගෝට මේ චිත්‍රපටය ගැන අදහස ආවේ. ඉතින් ඔහු කාලය අරගෙන එහි තිර පිටපත ලිව්වා. ඉන්දියාවේ ගෝවාවල තියෙනවා ෆිල්ම් බසාර් සම නිෂ්පාදන වෙළඳපොළ කියලා චිත්‍රපටි වෙළෙඳපොළක්. ඒක තමයි ආසියාවේ ලොකුම ෆිල්ම් මාකර්ට් එක. ඉතින් අපි මේ චිත්‍රපට පිටපත එහෙට අරගෙන ගියා. එහෙදි ගොඩක් රටවල චිත්‍රපට නිෂ්පාදකවරු අපේ චිත්‍රපටය ගැන ලොකු උනන්දුවක් දැක්වුවා. කරන් ජොහාර් ෆිල්ම්ස්, සී ෆිල්ම්ස්, ඔස්කා සම්මානලාභී පැරසයිට් නිෂ්පාදනය කරපු කොරියාවේ භූසාන් වගේ ප්‍රසිද්ධ ආයතන කිහිපයක්ම අපේ ෆිල්ම් එක කරන්න කැමති වුණා. හැබැයි ඒ අයට ඕන වුණේ ෆිම්ල් එක එයාලගේ භාෂාවලින් කරන්නයි. ඉතින් මෙච්චර ඉල්ලුමක් තියෙන මේ ෆිල්ම් එක අපිම කරන්න ඕනේ කියලා අන්තිමට අපි තීරණය කළා. චිත්‍රපටයේ කැමරාකරණය සහ අධ්‍යක්ෂනය ඉලංගෝ කරන නිසා මම චිත්‍රපටය නිෂ්පාදනය කරන එකෙන් හොඳ නිර්මාණයක් සමාජයට දෙන්න පුළුවන් කියලා හිතුණා. මේකේ නම Bend in the coffin (නෙළුම් කුළුණ). මේක දේශපාලනය ගැන සියුම්වට කතා කෙරෙන ඩාර්ක් කොමඩි ගණයේ චිත්‍රපටියක්. ඉලංගෝ, මම සහ අපේ ප්‍රඩක්ෂන් මැනේජර් එකතු වෙලා තමයි චිත්‍රපටයට රංගන ශිල්පීන් තේරුවේ. එතැනදිත් චරිතවලට ගැලපෙනම රංගන ශිල්පීන්ව තෝරගන්න අපිට පුළුවන් වුණා.”
සාමාන්‍යයෙන් මෙච්චර කල් වුණේ ලංකාවේ අය පිටරටවල චිත්‍රපටි ප්‍රතිනිර්මාණය කරන එකනේ. හැබැයි ඒ සංස්කෘතිය වෙනස් කරමින් ‘Bend in the coffin’ සිංහල චිත්‍රපටයේ ඉන්දියානු ප්‍රතිනිර්මාණයක් නිර්මාණය වෙන බවත් හිරණ්‍යා අපිට කිව්වා. ඒ වගේම ලංකාවේ චිත්‍රපටයත් මේ වෙනකොට රූගත කරලා ඉවරයි. සති තුනක වගේ කාලයකින් එය සාර්ථකව රූගත කරන්න පුළුවන් වුණාලු.
“ගිය මාසේ මැද වෙනකොට වැඩ කටයුතු අවසාන කළා. වැස්සෙන් අපිට ටිකක් කරදර වුණා. තෙල් ප්‍රශ්නෙත් අපිට ටිකක් බලපෑවා. රටේ තියෙන ආර්ථික අර්බුදය නිසා හැදුව බජට් එකට වඩා ෆිල්ම් එකේ බජට් එක වැඩි වුණා. හැබැයි ඒ මොන ප්‍රශ්නේ ආවත් අපේ කණ්ඩායම හරිම සහයෝගයෙන්, සතුටෙන් වැඩේ කළා.”
*සිනමා කර්මාන්තයට ලොකු අර්බුදයක් ඇතිවෙලා තියෙන මේ වගේ කාලෙක චිත්‍රපටයකට සල්ලි යට කරන්න බය හිතුණේ නැද්ද?
“නැහැ. ඇත්තටම මේ චිත්‍රපටය ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ලංකාවේ ප්‍රේක්ෂකයන්ට මේක වෙනස්ම අත්දැකීමක් වෙයි. මේක මේ වගේ කාලෙක රටේ මිනිස්සු බලන්නම ඕනේ ෆිල්ම් එකක්. මම වගේම තව දෙන්නෙක් මේ වැඩේට මුදල් යොදවනවා. ඔවුනුත් බය නැතිව මුදල් වෙන් කළේ චිත්‍රපටය ගැන පැහැදුනු නිසයි.”
*සල්ලි තියෙන ඕනම කෙනෙක්ට නිෂ්පාදකවරයෙක් වෙන්න පුළුවන්ද?
“සල්ලි තියෙන පලියට කෙනෙක්ට නිෂ්පාදකවරයෙක් වෙන්න බැහැ. චිත්‍රපටි නිෂ්පාදනය කියන්නේ ෆිල්ම් එකක් හදන්න සල්ලි දාන එකට විතරයි කියලා හිතනවා නම් ඒක වැරදියි. සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් බාරවෙන්නේ නිෂ්පාදකවරයාට. ඉතින් එතැනදි ෆිල්ම් එකේ මූල්‍ය කළමණාකරණය, අලෙවිකරණය ඔය හැම වගකීමක්ම පැවරෙනවා. මේක ඉගෙනගෙන කරන්න ඕන ටිකක් සංකිර්ණ වැඩක්. ඒ ගැන දැනුම ගන්න මම මේ ක්ෂේත්‍රයේ අය කීපදෙනෙක්ම මුණගැහුණා. ‘ඔයාට වයස මදි, ගැහැනු කෙනෙක් නිසා අමාරු වෙයි’ වගේ කතා තමයි ගොඩක් අය කිව්වේ. නිෂ්පාදනය පැත්තෙන් කාන්තාවන්ට අතහිත ලැබෙනවා අඩුයි කියලා මට දැනුණා. ලංකාවේ නිෂ්පාදකවරියෝ අඩු ඒ නිසා වෙන්නත් පුළුවන්. පස්සේ මම කොරියාවට ගිහිල්ලා එහෙ බුසාන් ඒෂියන් පාසලෙන් චිත්‍රපටි නිෂ්පාදනය ගැන පාඨමාලාවක් කළා.”
ඉලංගෝට සහ හිරණ්‍යාට පුංචි දියණියකුත් ඉන්න නිසා පෞද්ගලික ජීවිතේ වැඩකටයුතු කළමනාකරණය කරගන්නේ කොහොමද කියලත් ඇගෙන් අහන්නම ඕනේ.
“නිෂ්පාදකවරියක් විදිහට විතරක් නෙමෙයි අම්මා කෙනෙක් විදිහටත් මම සාර්ථකයි. බබා එක්ක වැඩ ටික හරියට කරගන්නේ කොහොමද කියලා ගොඩක් අය මගෙන් අහනවා. දරුවෝ ලැබුණා කියලා ගෑනු කෙනෙක් හීනවලට යන එක නතර කරන්න ඕනේ නැහැ. දරුවොත් එක්කම ඒ හීනවලට යන්න ඕනේ. බබාට මාස හතරෙ ඉඳලා මම එයාව හැම ෂූටින් එකකටම එක්කරගෙන ගියා. හැබැයි මම කොරියාවේ ගිය වෙලේ ඉලංගොයි අපේ පවුල් දෙකේ අයයි තමයි ඇයව බලාගත්තේ. ඒ හැමෝගෙන්මත් මට ලොකු සහායක් ලැබෙනවා. ඉතින් මම කියන්නේ දරුවෙක්ට කවදාහරි මේ මගේ අම්මා, තාත්තා කියලා ආඩම්බර වෙන්න පුළුවන් විදියේ වැඩක් කරන්න. අනික අපි හීනවලට යන්නේ නැතිව කවද හරි ඒ අයට හීනවලට යන්න කියලා කටක් ඇරලා අපිට කියන්න බැහැනේ. ඒ නිසා අනිත් අයටත් මම නම් කියන්නේ හැමවෙලේම පොඩියට හරි මොකක්ම හරි දෙයක් පටන්ගන්න උත්සාහ කරන්න කියන එකයි.”
හිරණ්‍යා ඒ වචන කිව්වේ හදවතින්ම බව ඇගේ වචනවල ස්වරයෙන් අපිට දැනුණා. ඇගේ කතාව අවසානයේදී ඉලංගෝ එක්කත් වචනයක් දෙකක් කතා කරන්න අපිට පුළුවන් වුණා.
*මේ චිත්‍රපටයෙන් ඉලංගෝ සමාජයට දෙන්න උත්සාහ කරන පණිවිඩයක් තියෙනවද?
“එහෙම නැහැ. චිත්‍රපටයකින් මිනිස්සුන්ට ඇඟිල්ලෙන් ඇන ඇන පණිවිඩ දෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. මේ සමාජෙ තියෙන ප්‍රශ්න මොනවද? රටේ තියෙන ප්‍රශ්න මොනවද? අපිට වැරදුණේ කොතැනද? කියන එක තම තමන් විසින්ම තේරුම්ගන්න ඕනේ. සමාජයක හැඩය මිනිස්සුන්ට පෙන්නන එක තමයි මගේ අරමුණ. මොකද ෆිල්ම් එකක් හැදෙන්නේ සමාජයේ අහන දකින දේ වලින්. මට අනුව නම් හොඳ චිත්‍රපටයක් කියන්නේ සමාජයේම කොටසක්. එහෙම චිත්‍රපටයක් මිනිස්සු ආදරෙන් වැළඳගන්නවා නම් ඒක තමයි නිර්මාණකරුවෙක් ලබන ලොකුම සතුට.”
චිත්‍රපට නිෂ්පාදිකාවක් විදිහට ඉලංගෝට බිරිඳගෙන් ලැබුණු සහාය ගැන අහන්නත් අපි අමතක කළේ නැහැ.
“මේක ගොඩක් අමාරු කාලයක්නේ. ඉතින් අපිට මේක කරගන්න පුළුවන් වෙයිද කියන එක මම කීපවතාවක්ම ඇගෙන් ඇහුවා. ‘අපිට පුළුවන්. මම මේක ඔයාට කරලා පෙන්වන්නම්’ කියලා තමයි ඒ හැමවෙලේම හිරණ්‍යා කිව්වේ. රූගත කිරීම්වලදිත් විවිධ දුෂ්කරතා ඇතිවුණා. ඒ හැමවෙලාවකම ඇයට සැලසුම් කිහිපයක්ම තිබුණ. හිරණ්‍යා ප්ලෑන් ඒ එකක් විතරක් නෙමෙයි නිතරම ප්ලෑන් බී එකකුත් තියාගන්නවා.”
නිෂ්පාදිකාවක්, මවක්, බිරිඳක් ඔය කොයි අතින් ගත්තත් ඇය බොහොම සාර්ථකයි කියලයි ඉලංගෝ කිව්වේ.
“සමහර කාන්තාවන් වෘත්තියෙන් ඉස්සරහට යනකොට පෞද්ගලික ජීවිතේ අමතක වෙනවා. ඔය කාරණා සමබර කරගන්න එක තමයි දක්ෂකම. හැබැයි හිරණ්‍යා එතැනදිත් සාර්ථකයි. ඉතින් සැමියෙක් විදිහට ඇය වගේ බිරිඳක් ලබන්න මම වාසනාවන්තයි.”
සෙව්වන්දි හෙට්ටිආරච්චි
ඡායාරූප – ජගත් නානායක්කාර