ඉන්ධන පිරවූ භාජනය පිපිරීමෙන් ඇති වූ ගින්නෙන් සැමියා හා බිරිඳ මියයයි
හෝමාගම, මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක ඇති වූ ගින්නට හේතුව කාමරයේ තිබූ ඉන්ධන පිරවූ භාජනයකට ගිනි ඇවිළීම බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
අදාළ භාජනයේ තිබූ ඉන්ධන ක්‍රම ක්‍රමයෙන් වාෂ්ප වී නිවසේ කාමරය තුළ රැඳී තිබීමත් ඊට කුඩා ගිනි පුළිඟුවක් වැනි කාරකයක් මෙම ගින්නට හේතු වී ඇති බවත් පොලිසිය සැක කරනවා.
මෙම ගින්නෙන් එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනාම පිලිස්සුම් තුවාල ලබා ඇති අතර මේ වන විට මවත් පියාත් මරණයට පත්ව ඇතැයි කහතුඩුව පොලිසිය සඳහන් කළා.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ, හෝමාගම මාගම්මන පදිංචි ලසන්ත බුද්ධික රණසිංහ නමැති 42 හැවිරිදි සැමියා සහ 39 හැවිරිදි ඔහුගේ බිරිඳයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 19 හැවිරිදි දියණිය කොළඹ ජාතික රෝහලේත් 4 හැවිරිදි දියණිය රිජ්වේ ළමා රෝහලේත් ප්‍රතිකාර ලබනවා.
මියගිය පියා තම බිරිය දියණියන් දෙදෙනා සමග නිවසේ පහළ මාලයේ කාමරයක රැඳී සිටියදී (26) වනදා රාත්‍රී 8ට පමණ මෙම ගින්න ඇති වී තිබෙනවා.
ගින්න ඇති වීමට පෙර නිවෙසට යාබදව පදිංචි මියගිය පුද්ගලයාගේ මව සහ ඥාතීන් සමග වැඩිමහල් දියණිය රැඳී සිට ඇතත් ගින්න හට ගැනීමට පෙර ඇය මවුපියන් වෙසෙන කාමරයට කොණ්ඩය පීරා ගැනීම සඳහා පැමිණ සිටියදී ගින්න ඇවිළී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කහතුඩුව පොලිසිය සිදුකරනවා.