මම කඩෙන් ගන්නේ අලයි, පරිප්පුයි විතරයි
“කඩෙන් ගේන එළවලුවලට වඩා වත්තෙන් කඩාගන්න එළවලු රසයි කියලා මට හිතෙනවා. ඒ වගේම වස විස නැති ඒ එළවලු නැවුම් ඒවා. ඒ වගේම උදේ පාන්දරට පලදාව පිරුණු ගෙවත්තකට අඩිය තියනවා කියන්නේ දවසම සතුටින් ගෙවන්න පුළුවන් වෙන කාරණයක්. ඇත්තම කිව්වොත් මේ වගාවට මම දැන් ඇබ්බැහිවෙලා.”
ඒ තරූ කළුආරච්චියි. විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වූ ඇය කලක් හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවකද නියැළුණාය. විවාහයෙන් පසුව ඇය පදිංචි වී සිටින්නේ ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයේයි.
කලක් මල් වගාවට යොමුව එය ව්‍යාපාරයක් ලෙස කරගෙන ගියද මේ දිනවල ඇය වැඩි කාලයක් යොදවන්නේ ගෙදර පරිභෝජනයට ගන්නා එළවලු, කොළපළා වර්ග ටික ගෙවත්තේම සාදා ගන්නටය. ඒ වාගේම බීජ වර්ග හා පැළ අවශ්‍ය අයට ලබාදීමටද තරූ වෙහෙසෙන්නේ, ඇය වගේම වගාවට ආදරය කරන්නන්, තම ගෙවත්තටද ඒ අපූරු ආශ්චර්ය රැගෙන යනවාට කැමැත්තෙනි.
“මම එළවලු වගා කරන්න ගත්තේ මීට මාස හතකට විතර කලින්. පසුගිය කාලේ ආහාර අර්බුදයක් ගැන නිතර කියද්දී මට හිතුණා ඇයි අපට අපි කන එළවලු ටික වගා කරගන්න බැරි කියලා. ඇත්තටම මගේ මිදුලේ ඉඩ තිබුණත් මම කැමති වුණේ පෝච්චිවල වගා කරන්න. දැන් ඒ එළවලු අස්වැන්න ලබමින් තියෙනවා. දැන් අපි කඩෙන් ගන්නේ අලයි පරිප්පුයි විතරයි. ගෙදර කෑමට වඩා වැඩිපුර තියෙන එළවලු දන්න කියන අයට නිකන් දෙනවා. ඒ වගේම ඒ අය වගා කරලා තියෙන එළවලු, පලතුරු හුවමාරුවීමකුත් වෙනවා. ලස්සන පරිභෝජන රටාවකට අපි නොදැනුවත්වම හුරුවෙමින් ඉන්නවා.”
තරූට සතියකට පාරක් අස්වනු දෙන එළවලු වර්ග ගණනාවක් ඇගේ ගෙවත්තේ තිබේ. ඒ අතර වම්බටු වර්ග කිහිපයක්, මෑ, බෝංචි, දඹල, බණ්ඩක්කා, මාලුමිරිස්, අමුමිරිස්, කොච්චි වර්ග, තක්කාලි, ලීක්ස්, රතුලූනු, රාබු මෙන්ම විවිධ කොළපළා වර්ගද ඇත. ඇය ඒවාට සත්කාර කරන්නේ දරුවන් ආදරයෙන් රැකබලාගන්නා තරමටම පරිස්සමෙනි. එමෙන්ම ඇය ඊට ඉඩකඩ ලබාගත්තේද දරුවන් හතරදෙනෙකුගේ වැඩකටයුතු හා ඉගෙනුම් කටයුතු ගැනද සොයා බලමිනි.
“ඇත්තටම වගා කටයුත්තක් සතුටින් ආසාවෙන් කරනවා වගේම ඒක ආදායම් මාර්ගයක් කරගන්නත් කෙනෙකුට පුළුවන්. මේ කාලේ හැටියට ගෙදර පරිභෝජනයට වඩා එළවලු කොළපලා වර්ග තියෙනවානම් සාධාරණ මිලකට එය අලෙවි කරලා ආදායමක් ගන්න පුළුවන්. මම එළවලු බීජ වර්ග වගේම, තක්කාලි, මිරිස් වර්ග පැළ හදලා සාධාරණ මුදලකට අවශ්‍ය අයට ලබාදෙනවා. එළවලු නිකන් දුන්නට බීජ වර්ග නිකන් දෙන්නෙ නැත්තේ සමහරු හිටවනවා වෙනුවට ඒවා පැත්තකට දාන්න තියෙන ඉඩකඩ වැඩි නිසයි. බීජ සල්ලිවලට ගන්නේ හිටවන්න උවමනාව තියෙන කෙනෙක් විතරයි.”
ඇය මෙම බොහෝ බීජ වර්ග මුලදී සාදාගෙන ඇත්තේ වෙළඳපොළෙන් මිලදී ගත්, හොදින් පැසුණු ඉදුණු එළවලුවලිනි. දැන් තක්කාලි, වම්බටු ආදී බීජ නිපදවද්දී තම ගෙවත්තේ ගස් කිහිපයක අස්වනු ඒ වෙනුවෙන්ම වෙන්කර ඇතැයිද ඇය කීවාය.
“දේශීය බීජ තමයි අපේ පොළොවට සුදුසු. ඒ වගේම බීජයක්, පැළයක් රෝපණය කරද්දී පස සකස් කරගැනීම වැදගත්. ඒ කොහුබත්, වැලි, මතුපිට පස් වගේම කාබනික පොහොර සමාන කොටස්වලින් අරගෙන. හොඳ අස්වැන්නක් ගන්න, සති දෙකෙන් දෙකට කාබනික පොහොර යොදන්න ඕන. සමහර අස්වනු වැඩිවෙන්න රසායනික පොහොරත් ඕන කරනවා. ඒ වගේම කාබනික දියර පොහොරක් සාදාගෙන එය වගාවට යොදනවා. ලාඩප්පා කොළයි, අමු ගොමයි බැරල් එකකට දාලා ඊට වතුර එක්කරලා සති තුනක් තියෙන්න හැරලා එය වගාවට යොදනවා.”
ඇය වගාවක් සාර්ථක කරගැනීමට අනුගමනය කළ හැකි විවිධ ක්‍රම ගැනද කතා කළාය.
“සමහරුන්ට බීජ සකස් කරගැනීම ගැන ගැටලු තියෙනවා. වට්ටක්කා, කැකිරි, කොමඩු, බටානා වගේ බීජ වර්ග ගෙදරට කන්න ගේන එකෙන් හදාගන්න පුළුවන්. මෙම බීජ සියයට අසූවක් විතරම පැළවෙනවා. වට්ටක්කා වගේ දෙයක් වැල බිම දිගේ හදලා වහලට යවන්න පුළුවන් නම් ඒ රස්නය එක්ක ඉක්මනින් මල් හටගෙන පලදාව එනවා. මාලුමිරිස්, තක්කාලි පැළ ගන්න බීජ හිටවද්දි පස් මිශ්‍රණය හලාගත යුතුයි. එහෙම කරන්නේ, ගල්කැට තිබුණොත් බීජය පැළවෙන්න එය බාධාවක් වෙනවා. ඒ වගේම පස සකසගෙන පෝච්චියකට එක්කරලා දබරගිල්ලේ මැද පුරුකේ බාගයක් වෙන්න වලවල් හදලා බීජ හිටවන්න ඕන. මෙම බීජවලටත් අඳුරයි, රස්නයයි ඕන කරනවා. ඊට කළු රෙදි කඩකින් එය වසා තැබිය හැකියි. වතුර දැමීම කළ යුත්තේත් එසේ වසා තිබියදීයි. සති දෙකකට පසු පැළ එනවා. තවත් සති දෙකකට පමණ පසුව මෙම පැළ සිටුවන්න සුදුසු තත්ත්වයට එනවා.”
ඒ වගේම මෑ වැල් ආදියට එන කුහුඹු වර්ග, කුඩා මකුණන් ආදියෙන් වගාව ආරක්ෂා කරගැනීමට දර ලිපෙහි අළු වැදගත් බවද ඇය කීවාය.
“මේ මකුණු විශේෂයේ බහිස්ශ්‍රාවීය ද්‍රව්‍යවල සීනි අඩංගු නිසා මෑ වැල් ආශ්‍රිතව කුහුඹුවන් දකින්න පුළුවන්. මේ ගැටලුවෙන් මිදෙන්න පැළ කාලේ ඉඳලා උදේ පින්න තියෙද්දි අළු යොදන්න පුළුවන්. එය ඒ උවදුරෙන් මිදෙන්න සාර්ථක ක්‍රමයක්.”
තරූ අවශ්‍ය අයට වගා උපදෙස්ද දෙන්නීය. ඒ ඇතැම් දේ අත්දැකීමෙන් උගත් දේ ය.
ඇයගේ වගා කටයුතුවලට සැමියාගෙන්, දරුවන්ගෙන් ලැබෙන සහයෝගය ගැනද අප විමසුවෙමු.
“මගේ පොඩි බබාට තවම අවුරුදු දෙකයි. දුවලා දෙන්නයි, පුතාලා දෙන්නයි මට ඉන්නේ. දෙන්නෙක් නම් දැනටමත් මම වැඩ කරනවා දැක්කම උදව් කරනවා. මහත්තයා වගාවට අවශ්‍ය කොම්පෝස්ට්, කොහුබත් ආදී දේවල් ගෙනැත් දෙනවා. එයා පැළ හිටවන්න නම් උනන්දුවක් නෑ. හැබැයි මම හිටවන පැළවල අස්වැන්න එද්දි නම් ඒ ඔක්කොම එයාගේ.”
තරූ කියන්නේ හිනැහෙමිනි. ඇඟලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක නියැලෙන ඔහුටද බිරිඳගේ උත්සාහය, උනන්දුව තුළ ලැබෙන වගාවේ අස්වැන්න මනසට සුවයක්, සතුටක්ම මිස අන් කවරක්ද?
“මට බෑ, මට නෑ කියනවට වඩා පෝච්චියක හරි එළවලු පැළයක් වගා කරන්න. ඒ සතුට කවදාවත් සල්ලිවලට ගන්න බැහැ.”
තරූ කියන්නා සේම අපට කියන්නටද ඇත්තේද අඳුරට සාප කරනවා වෙනුවට එක් පහන් සිලක් හෝ දල්වන්නට කියාය. ඔබ ඔබෙන් පටන්ගන්න. එවිට සියල්ල යහපත් වෙනු ඇත.
දීපා වසන්ති එදිරිසිංහ