මෙහෙම ගියොත් අසාධ්‍ය රෝගියෙක් ආවත් ප්‍රතිකාර කරනවා වෙනුවට අපිට වෙන්නේ බලන් ඉන්න
සුමින්දත්, තාරකත් අතර ඇතිවූ බහින්බස්වීම කෙළවර වන්නේ, තාරක කැපුම් තුවාල සහිතව රෝහල්ගත කිරීමෙනි.
“මේ තුවාලවලට මැහුම් හතක් අටක්වත් දාන්න වෙනවා. හැබැයි හොස්පිට්ල් එකේ ගෝස්, වෙලුම්පටි, නීඩ්ල් මේ මුකුත් නැහැ.”
වෛද්‍යවරයා කියද්දී තාරක පසුම්බිය අතට ගත්තේය. අද දවසටම හයර් එකක්වත් දුවන්නට බැරිවුණේ තෙල් පෝලිම් දෙක තුනකටම යාමට සිදුවූ හෙයිනි. එක පෝලිමක තෙල් ඉවර වූයේ තම ත්‍රීරෝද රථයට රථ දෙකක් ඉදිරිපසින් තිබියදීය. අනෙක් පෝලිමේදී තෙල් බවුසරය එන්නේ නැතැයි කීවේය. ඒ වනවිට ඉවසීමේ සීමාව පැනසිටි තාරක ඊළඟ පිරවුම්හලට ගියේ පෝලිම පැන හෝ ඉන්ධන ලබාගන්නටය. එහෙත් අවසානයේ ඉන්ධන වෙනුවට, ඒ මුදලින් ගන්නට සිදුවූයේ තුවාලයට මැහුම් දාන්නට ඕනෑ කරන අඩුම කුඩුම ටිකය.
මෙම ආර්ථික අර්බුදය හමුවේ රෝහල්වලටත් දැන් සිදුව ඇත්තේ අවශ්‍ය ඖෂධ ඇතුළු ශල්‍යකර්ම සඳහා භාවිතා කෙරෙන ශල්‍ය ද්‍රව්‍ය හිඟයටද මුහුණ දෙමින් සිටීමටය. එය සියලු ආකාරයේ සැත්කම් සඳහා බලපාන බවත්, මේ වනවිට රෝහල් පද්ධතිය තුළ එදිනෙදා සිදුවූ සැත්කම් නවතා, හදිසි අනතුරු, හදිසි රෝග තත්ත්ව, පිළිකා සැත්කම්වලට ප්‍රමුඛතාවය දෙන්නට තීරණය කර ඇති බව සඳහන්ය.
“මේ කාරණයේ බැරෑරුම් අවස්ථාවට අපි තවම මුහුණ දීලා නැහැ. එහෙත් අද වනවිට රටේ තියෙන වාතාවරණය අනුව අප වටා තියෙන අවධානම සුළුවෙන් තකන්න බැහැ. ඒ නිසාම ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය හැටියට අපට මහජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ දෛනිකව සිදුවන සියලුම ආකාරයේ බරපතළ, බරපතළ නොවන අනතුරු වළක්වාගෙන, තියෙන සම්පත් ප්‍රමාණයෙන් හදිසිම අවස්ථාවක කෙනෙකුට ප්‍රතිකාර ලබාදෙන්න තියෙන අවස්ථාව ආරක්ෂා කරගනිමු කියලයි. එහෙම නැත්නම් හදිසි අවස්ථාවකට මුහුණදීලා බරපතළ තත්ත්වයෙන් රෝගියෙක් රෝහලට ගෙනාවොත් ශල්‍ය වෛද්‍යවරුන්ට රෝගියාට ප්‍රතිකාර කරනවා වෙනුවට ඒ දිහා බලා හිඳන්න පමණක් සිදුවේවි.”
ඒ ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ගරු ලේකම්, විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය කවින්ද රාජපක්ෂ මහතායි.
අද වනවිට රිය අනතුරු ප්‍රමුඛ සියලු ආකාරයේ හදිසි අනතුරුවලට මුහුණ දී දෛනිකව රෝහල්ගත කරන පුද්ගලයින්ගේ ප්‍රතිශතය 40%ක පමණ අගයක් ගනී. මාර්ග අනතුරුවලින් පමණක් මියයන පුද්ගලයින් ගණන දිනකට අටදෙනෙක් පමණ බව දත්ත වාර්තා මගින් පෙනෙන්නට තිබේ. ඒ අතර බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කෙරෙන හා සැත්කම් සඳහා යොමු කරන පිරිස්, සතියක් මාසයක් රෝහල්ගතව සිටියහොත් රෝහලකට දරන්න වන පිරිවැයත් සුළුවෙන් තැකිය නොහැකිය. වාර්ෂිකව ලක්ෂ දොළහක් දහතුනක් පමණ අනතුරු හේතුවෙන් රෝහල්ගත වන අතර, වාර්ෂිකව එම අගයන් ඉහළ යමින් තිබීමත්, ඉන් බොහොමයක් අනතුරු වළක්වාගත හැකිව තිබූ අනතුරු වීමත් තුළ අපට කල්පනාකාරීව සිතා බලන්නට ඇති කාරණා රැසකි.
“විශේෂයෙන් පුංචි දරුවෝ ඉන්න නිවෙස්වල අනතුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. පිළිස්සුම් අනතුරු ඒ අතර ප්‍රධානයි. දරුවන් අතපොවන මානයේ උණු ජලය වැදීමත්, විදුලි උදුන් ආදිය, විදුලි ස්විචයන්ට (සොකට්ටුවට) ඇඟිලි දැමීම නිසා සිදුවන විදුලි අනතුරු වැඩිහිටියන්ගේ අවධානය තුළ වළක්වාගත හැකි කාරණායි. ඒ වගේම ගෙදර සුරතලයට ඇතිකරන බල්ලන්, බළලුන් වාගේම අයාලේ යන සතුන්ගේ සපාකෑම් නිසා සිදුවන අනතුරුද අවම කරගන්න අපට සිදුවෙනවා. ඒ එවැනි සතෙක් සපා කෑවිට ලබාදෙන ජලභීතිකා එන්නත් මේ මොහොතේ රට තුළ නොමැතිකම නිසයි. ඒ වගේම, කුඩා දරුවෝ වැටීම් නිසා, දොරවල්, ලාච්චුවලට ඇඟිලි සිරවීම නිසා කරගනු ලබන අනතුරු තිබෙනවා. මේ අනතුරේ ස්වභාවය කුමක් වුවත්, එය වළක්වා ගන්න දෙමාපියන් උත්සුක වීම අතිශයින් වැදගත් වෙනවා.”
වෛද්‍ය රාජපක්ෂ මහතා පෙන්වාදෙන කරුණු අතරේ තවත් වැදගත් කරුණු රැසක් තිබේ. මාර්ග අනතුරු ගනිද්දී, ඉන් බොහොමයකට හේතුව නොසැලකිලිමත් රිය ධාවනයයි. අධික වේගය නිසාම කරගන්නා අනතුරු බහුලය. යතුරුපැදිය සාමාන්‍ය වේගයෙන් යද්දි සිදුවන අනතුරට වඩා වේගයෙන් ධාවනය කරද්දී සිදුවන අනතුරු තුවාල බරපතළය. හිස් ආවරණද නොමැතිව ගමන් කළහොත් ඒ සිදුවිය හැකි හානිය ගැන අමුතුවෙන් කිව යුතුද නොවේ. පාපැදියක යන්නේ නම් ඊටද පැළඳිය හැකි ආරක්ෂිත හිස්වැසුම් තිබේ. එමෙන්ම පාර පුරා නොයා සැලකිල්ලෙන් එහි ගමන් බිමන් යා යුතුය.
තවද කාර්මික අනතුරු ගැනද අපට දෛනිකව අසන්නට ලැබේ. මුව වැසුම්, අත්වැසුම්, ආරක්ෂිත ඇඳුම් පැළඳ කළ යුතු රැකියා තිබේ. තවද පලංචි මත ඉදිකිරීම් කටයුතුවල නියැලෙන්නන්ද ඒ සිදුවිය හැකි අනතුරු පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම අවශ්‍යය. අත ලිස්සුවා, පය ලිස්සුවා කියනවාට වඩා, අනතුර වීමට ප්‍රථම සැලකිල්ල සියල්ලට වඩා වටින්නේය. බීමත්ව කලකෝලාහල කරගෙන, කපා කොටාගෙන රෝහල්ගත වීමෙන් හෝ දර ලිප, ගෑස් ලිප නිසා සිදුවන අනතුරු මෙන්ම නිවසේ අනාරක්ෂිතව තබා ඇති පෙට්‍රල් බූලිය නිසාද සිදුකරගන්නා අනතුරු වෙනුවෙන් රෝහලකට දරන්නට වන පිරිවැය මේ මොහොත තුළ ජාතික අපරාධයක් යැයි කීම වරදක් නොවේ.
ඒ වාගේම කලින් දින වෙන්කර තිබු සාමාන්‍ය සැත්කම්, මේ අර්බුදය තුළ කල් දමන්නට සිදුව තිබීම අදාළ රෝගීන්ට යම් පීඩනයක් ගෙන දුන්නද, ඒවා නිතැතින්ම කල් දමන්නට සිදුවේ.
“හදිසි ශල්‍යකර්මවලට පමණක් අවධානය යොමු කරන්න සිදුවන තත්ත්වය තුළ, හදිසි නෑ කියන සැත්කම් කල්දාන්න සිදුවෙනවා. ඊට හේතුව තමයි වෙලුම් වර්ග, සැත්කමට භාවිතා කරන ඉඳිකටු, සර්ජිකල් ස්ප්‍රිතු පවා අද වෙද්දි හිඟයි. ඒ අනුව උදාහරණ විදියට ගත්තොත් හර්නියා සැත්කම්, සමේ ඇතිවී ඇති ගෙඩි, නහර ගැටගැසීම් ආදී සැත්කම් කල්දාන්නම සිදුවෙනවා. ඒ ශල්‍යකර්ම සඳහා මූලිකව අවශ්‍ය ද්‍රව්‍ය ටික පවා හිඟවෙමින් පවතින තත්ත්වය තුළයි. ප්ලාස්ටික් සැත්කම්ද මේ කියන කල්දැමීමට සිදුවන ලැයිස්තුවටම ඇතුළත්. ඒ නිසා මේ සිදුවන හදිසි අනතුරු අවම කරගන්නට අපි කටයුතු නොකළොත්, ඒ වෙනුවෙන් දැනට කරගෙන යන ප්‍රතිකාර සේවාවන්ද අඩාල විය හැකියි. අප ඒ අවධානම තේරුම්ගත යුතුයි. දැනටත් හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගත වන පිරිස බහුලයි. ඒ තුළ හදිසිම සැත්කමකටවත් අවශ්‍ය අමුද්‍රව්‍ය ටික නොමැතිව, හදිසි රෝග අවස්ථාවකටවත් ප්‍රතිකාර කිරීමට නොහැකිව බලා සිටින්නට සිදුවුවහොත් එය වෛද්‍යවරුන් හැටියට අපටත්, රෝහල්ගත වන ඔබටත් කණගාටුදායක තත්ත්වයක් බව අකමැත්තෙන් වුවත් කියන්න සිදුවෙනවා.”
මේ නිසා හැකිතරම් ප්‍රවේසම්ව, ඉවසීම අවසන් වන තැනද තවදුරටත් ඉවසමින්, ගැටුම් කලකෝලාහලවලට නොයා තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් කටයුතු කිරීම වැදගත්ය.
දීපා වසන්ති එදිරිසිංහ