Latest News

ණය ලබා දෙන්න නම් ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍යයි

ණය මුදලක් ලබාදීම පිළිබඳව සාකච්ඡා මූලික අදියරේ පවතින බවත් අදාළ ණය මුදල ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය තිරසාර මාවතක් කරා යොමු කළ හැකි බවට “ප්‍රමාණවත් සහතිකයක්” අවශ්‍ය බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

ඒ රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින්.

කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා, ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික කණ්ඩායම සමග ණය ලබාදිය හැකි ආකාරය සහ කොන්දේසි පිළිබඳ ඊයේ (19) සාකච්ඡා කළ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී මසයිරෝ නොසාකි මහතා සඳහන් කළා.

මෙහිදී මසයිරෝ නොසාකි මහතා සඳහන් කලේ,ගෙවුම් ශේෂය හිඟය මග හරවා ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි තිරසාර මාවතකට හැකි ඉක්මනින් යොමුකිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගයෙන් වැඩසටහනක් අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දුප්පත් සහ අවදානමට ලක්විය හැකි පාර්ශව අත්විඳින දුෂ්කරතා පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැඩි අවධානයෙන් සිටින බව මසයිරෝ නොසාකි මහතා සඳහන් කළා.