විශේෂාංග

දෑවැද්දට බඩු ගොඩක් දෙනවද? භාෂා ගොඩක් දෙනවද?

අද මාතෘකාවට පූර්විකා කරගන්නේ කාලයක් මාත් එක්ක වැඩ කරපු කාන්තාවකගේ කතාවක්. ඇය අපේ කාර්යාලයට එකතුවුණේ කම්කරු සේවිකාවක් විදියට. රැකියා සම්බන්ධ අපේ මිනිස්සුන්ගේ ආකල්ප බොහොම පටුයිනේ. ඉතින් කම්කරු සේවිකාවක් විදියට ඇය නිතරම ඇනුම්බැනුම්, ගැරහුම්වලට ලක්වුණා.

ඒ කොහොම වෙතත් මේ කාන්තාවට ඉංග්‍රීසි ඉගෙනගන්න ලොකු උනන්දුවක් තිබුණා. වැඩ නැති වෙලාවලට වුණත් ඇය නිකන් හිටියේ නැහැ. අකුරු පාඩම් කරනවා, භාෂාවට ඇහුම්කන් දෙනවා, පොත් බලනවා. ඔය විදියට අවුරුදු පහක් ගතවුණා. මේ කාන්තාව මුහුණදුන්නු විභාගයකට ඇමරිකානු ශිෂ්‍යත්වයක් ලැබිලා පවුල එක්කම අමෙරිකාවේ පදිංචියට ගියා. අද ඇයට නින්දා කළ උදවියට වඩා හොඳ තැනක ඇය ඉන්නවා.

මම දන්න තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඔහු සාමාන්‍ය පෙළ අසමත්. පස්සේ පවුලේ ඇඳුනුම්කමක් මත නැවක අතුපතු ගාන වැඩට ගියා. එතැනදි ඔහු නැවේ යන එන විදේශිකයන් එක්ක කතාබහ කරලා භාෂා දහයක් විතර ඉගෙනගත්තා. දැන් ඔහු විවිධ භාෂා උගන්වන  ගුරුවරයෙක් විදියට යුරෝපීය රටක ජීවත්වෙනවා.

තමන්ගේ මව් භාෂාවට අමතරව වෙනත් භාෂාවක් ඉගෙනගත්තොත් ඒක කවදාවත් අපතේ යන්නේ නැහැ කියන එකයි ඒ කතා දෙකෙන් මට කියන්න ඕනේ. වෙනත් භාෂා ඉගෙනගන්න එකෙන් අපිට ලැබෙන පල ප්‍රයෝජන වගේම ඉක්මනින් වෙනත් භාෂාවක් ඉගෙනගන්න උදව් වෙන ක්‍රමවේද ටිකක් ගැනත් අද කතා කරමු. රටේ තියෙන ප්‍රශ්න නිසා මේ දවස්වල ගොඩක් අය රට යනවනේ. එහෙම යන්න භාෂා ඉගෙනගන්න උදවියටත් මේ ලිපිය වැදගත් වෙයි.

පුද්ගලයන් අතර සන්නිවේදනය සිද්ධවෙන්නේ භාෂාවලින්. ගල්යුගයේ මිනිස්සු අදහස් හුවමාරු කරගත්තේ සංඥාවලින්. සංඥා භාෂාවන් විකසන වෙලා පුද්ගල කාණ්ඩවලට අනන්‍ය භාෂා ගොඩනැගුණා. ලෝකයේ මුල්ම භාෂාව ආරම්භ වුණේ මීට අවුරුදු 150,000කට කලින්ලු.

හිපොකැම්පස්, මෙන්ටල්ලෙක්සිකෝන්, බ්‍රොකාස් ඒරියා වගේ මොළයේ කොටස් භාෂා කුසලතාවය එක්ක සම්බන්ධයි. අපි ඉගෙනගන්න වචන ගබඩා වෙන්නේ මෙන්ටල් ලෙක්සිකෝන් එකේ. ව්‍යාකරණ නීති තැම්පත් වෙන්නේ බ්‍රොකාස් ඒරියා එකේ. මේ කොටස්වලට හානිවුණොත් භාෂා හැකියාව සම්පූර්ණයෙන්ම වුණත් නැතිවෙන්න පුළුවන්.

ඇලෙක්සැන්ඩර් ආර්ගියුලස් කියන අමෙරිකානු විද්‍යාඥයා භාෂා පනහක් ඉගෙනගත් අයෙක්. ඉගෙනගන්න භාෂා ප්‍රමාණය වැඩිවෙන්න වෙන්න රුධිර ගමනාගමනය වැඩිවෙලා මොළයේ ක්‍රියාකාරීත්වයත් චින්තන සහ තර්කන බුද්ධියත් වැඩිවෙනවා කියලා ඔහු විද්‍යාත්මකව ඔප්පු කළා. භාෂා ඉගෙනගනිද්දි මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිවෙන නිසා ඩිමෙන්ශියාව වගේ සංකීර්ණ රෝගවලට භාෂා චිකිත්සාව යෝග්‍යද කියලා දැන් බටහිර වෛද්‍යවරු පරීක්ෂණ කරනවා.

භාෂාවක් ඉගෙනගන්න එකෙන් අපිට ලැබෙන මූලිකම දේ බුද්ධි වර්ධනය. ඒ නිසා පුංචි කාලේ ඉඳලම දරුවන්ව භාෂා කිහිපයක් ඉගෙනගන්න යොමු කරන්න පුළුවන් නම් හොඳයි.

අනික දැන් ඉස්සර වගේ නෙමෙයි මේ මුළු ලෝකයම ගෝලීය ගම්මානයක්. ඉතින් වෙනත් භාෂාවක් දන්නවා කියන්නේම ලෝකයට දොරටු ඇරගන්න පහසුයි කියන එක. උපාධි සහතික කිහිපයකට වඩා චතුර භාෂා හැකියාව වටින අවස්ථා තියෙනවා කියලා මම අර මුලින් කිව්ව කතාවලින් වුණත් පැහැදිලිනේ.

භාෂාවකින් මුදල් හොයන්න විදෙස්ගත වෙන්නම ඕනේ නෑ. ඉංග්‍රීසි, ජපන්, කොරියන්, චීන, ජර්මන් වගේ භාෂා උගන්වලත් සල්ලි හොයන්න පුළුවන්. අනික භාෂා චතුරතාවය ඇති අයට ජොබ් මාර්කට් එකේ තියෙන තැනත් වැඩියි.

භාෂාවක් ඉගෙනගත්තහම වෙනත් සංස්කෘතියක් එක්ක ගනුදෙනු කරන්න ලේසියි. දැන් බලන්න අපේ රටේ බහුතරයක් මුස්ලිම් සහ දමිළ අයට සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂා තුනම පුළුවන්. හැබැයි සිංහල උදවියට බැහැනේ. ඉතින් ඒ අයට අපි එක්ක වැඩ කරන්න පහසුයි. හැබැයි දමිළ පරිසරයකට අපේ කෙනෙක් ගියොත් කරකවලා අතඇරියා වගේ තියෙයි.

ලංකාවට විදේශීය ජාතිකයෝ ආවහම සමහරු ඒ අයට මුදල් වංචා කරනවා, හොඳ වචන කියලා කුණුහරප උගන්වනවා. හැබැයි මේවට අහු නොවන සිංහල දන්න විදේශිකයොත් ඉන්නවා. වෙනත් රටකට ගියාපුවහම ඒ රටේ භාෂාව තේරෙනවා නම් එතැනදි අපි රැවටිලිවලට අහුවෙන්න තියෙන ඉඩ අඩුයි.

ළමා කාලෙදි ඒ කියන්නේ මොළය වර්ධනය වෙන කාලෙදි වෙනත් භාෂාවන් ඉගෙනගන්න ලේසියි. ඒ කිව්වේ වැඩිහිටි කාලෙදි  භාෂා ඉගෙනගන්න බැහැ කියන එක නෙමේ, සාපේක්ෂව කුඩා කාලෙදි ඉගෙනගන්න ලේසියි කියන එක. ඉතින් ගෑනු ළමයින්ට දෑවැද්දට රත්තරං හදලා දෙන්න හිතනවා නම් දැන්මම ඒ අදහස අතෑරලා භාෂා කිහිපයක් උගන්වන්න.

වෙනත් භාෂාවක් ලේසියෙන්ම ඉගෙනගන්න ට්‍රික්ස් ටිකක් දැන් බලමු. මුල්ම දේ ආසාවෙන් ඉගෙනගන්න. මම ජර්මානු භාෂාව ඉගෙනගත්තා. ඒ කාලෙදි මම  හිතින් හිටියේ ජර්මනියේ. ඒ රටට ආදරේ කළා. සංස්කෘතිය ගැන හෙව්වා. ඒ අයගේ සිංදු, ටෙලිඩ්‍රාමා බැලුවා. ඉතින් හිතුවටත් වඩා අඩු කාලෙකින් මම  ජර්මානු භාෂාව ඉගෙනගත්තා.

මුලින්ම භාෂාවක් ඉගෙනගන්න මොළය සූදානම් කරන්න. අපි ඉන්නේ ඒ රටේ කියලා පුළුවන් නම් මොළේ රවට්ටගන්න බලන්න.

අපි භාෂාවක වචන 250ක් දන්නවා නම් අපිට යාන්තමට ඒ භාෂාව කතා කරන්න පුළුවන්. වචන 1000ක් දන්නවා නම් සාමාන්‍ය ප්‍රමාණයට භාෂාව පුළුවන්. වචන 10000-20000ක් දන්නවා නම් මව් භාෂාව වගේ භාෂාව පුළුවන්. ඉතින් නිතරම වචන ඉගෙනගන්න. මුලින්ම බරසාර වචන එපා. මිනිස්සු එදිනෙදා පාවිච්චි කරන සාමාන්‍ය වචන ඉගෙනගන්න. අලුතින් හොයාගන්න වචන පොතක ලියලා ආයේ ආයෙත් බලන්න. ශබ්ද නගා කියවන්න. වචනයක් කියවන්න කියවන්න ඒක මතක හිටිනවා වැඩියි. අර ටීවි එකේ නිතරම යන සිංදු, ඇඩ්වර්ටීස්මන්ට් ඉබේටම වගේ මතක හිටින්නේ ඒකනේ.

ඒ භාෂාවට අදාළ නාට්‍ය, චිත්‍රපට බලන්න. මුලින්ම උපශීර්ෂ එක්ක නරඹලා ඊටපස්සේ උපශීර්ෂ නැතිව කීපපාරක් බලන්න.

ඔස්ට්‍රේලියානු ජාතික බෙන් මැක්මොහන් කියන තරුණයා එකපාරක් දරුණු රිය අනතුරකට මුහුණ දුන්නා. දවස් ගාණක් සිහි නැතිව හිටපු බෙන් සිහිය එනකොට ඔහුට තාවකාලිකව ඔහුගේ මව් භාෂාව වෙන ඉංග්‍රීසි අමතක වෙලා. ඒ වෙනුවට ඔහු කතා කළේ මැන්ඩරීන් භාෂාව. මැන්ඩරීන් පුළුවන් වුණාට කවදාවත් ඒ භාෂාව ඉගෙනගෙන නැහැයි කියලයි බෙන් කිව්වේ. හැබැයි බොහොම කෙටි කාලසීමාවක් චීනයේ ජීවත්වෙලා තියෙනවා. ඒ කාලෙදි ඇහුනු දේවල් අවිඥානිකව බෙන්ගේ මොළයේ තැම්පත් වෙලා කියලයි පරීක්ෂණවලින් කිව්වේ. ඉතින් නිතරම ඉගෙනගන්න අවශ්‍ය භාෂාවෙන් සිංදු අහන්න, රේඩියෝ අහන්න. එතකොට මොළය අවිඥානිකව යම් යම් වචන ආදිය මතක තියාගන්නවා.

පුළුවන් නම් ඒ භාෂාවෙන් හිතන්න පටන්ගන්න. පුංචි දේවල්. උදාහරණයක් විදියට ‘මම බත් කෑවා’ කියන එක ඉංග්‍රීසියෙන් හිතන්න. පිහිනන්න ඕනේ නම් වතුරට බහින්නම වෙනවා කියනවා වගේ වෙනත් භාෂාවක් ඉගෙනගන්න නම් ඒ භාෂාවෙන් කතා කරන්නම වෙනවා. පුළුවන් නම් භාෂාව දන්න යාළුවෝ හොයාගෙන කතා කරන්න. ෆෝන් එකෙන් කෑම ඕඩර් කරනවා නම් කස්ටමර් කෙයා එකකට කතා කරනවා නම් ඉංග්‍රීසි/දමිළ භාෂා තෝරගන්න. කියන දේ වැරදුණත් ඒ අයට ඔයාගේ මූණ පේන්නේ නෑනේ.

පුංචි කාලේ අපි උපුල් ඊළඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන් කියලා දිශා මතක තියාගත්තා මතකද? අන්න ඒ විදියට ලේසි ක්‍රම හදලා වචන මතක තියාගන්න. උදාහරණයක් විදියට ප්‍රංශ භාෂාවෙන් ගෝවා ගෙඩියට කියන්නේ ‘ශූ’ කියලා. එතකොට ඔයාට පුළුවන් ගෝවා ගෙඩියට ‘ශූ’ එකක් නැත්තම්  සපත්තුවක් මතක තියාගන්න. ඒ වගේම භාෂා ඉගෙනගන්න දැන් ඕනතරම් ඇප්ස් තියෙනවා, යූ ටියුබ් වීඩියෝ තියෙනවා. ඒවත් බලන්න.

මොළය තුවාලවුණු කෙනෙක්ට, උපතින්ම භාෂා අසක්‍යතාව (ඩිස්ලෙක්ෂියාව) වගේ ආබාධ තියෙන කෙනෙක්ට භාෂාවක් ඉගෙනගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ ඇර මොළය නිරෝගී ඕනම කෙනෙක්ට ඕනම භාෂාවක් ඉගෙනගන්න පුළුවන් කියන එකත් කියන්න ඕනේ.

ඉන්දිකා ප්‍රනාන්දු

මනෝ උපදේශිකා

සමාජ විද්‍යා ග්‍රන්ථ කතුවරී

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි