සාරියෙන් කලිසමට මාරු වී කාර්යාල බිමේ වගා කරන රාජ්‍ය සේවිකාව, ඉන්දිරා
කාර්යාල කාර්ය සහායිකාවක ලෙස පත්වීම් ලද ඉන්දිරා, 2014 වසරේ සේවය කරමින් සිටියේ කළුපහන කනිෂ්ඨ විද්‍යාලයේයි. ළමුන් තුන්සියයක් පමණ ඉගෙනුම ලැබූ එම පාසලේ කාර්යාලය පවිත්‍ර කිරීමත්, ලිපිගොනුවක් එහා මෙහා ගෙනයාමත් හැරුණුකොට ඉන්දිරාට ලොකු වැඩක් නොතිබුණි.
‘‘මට දවසේ වැඩි කාලයක් කරන්න වැඩක් තිබුණේ නැහැ. ඒක හරියට හිතට දැනුණා. ඒ වගේම කම්මැලියි. දවසක් මම පාසලේ කෙටි තාප්පයෙන් ඈත බලාගෙන ඉඳිද්දී, කැලෑවට ගිහින් තිබුණු ඉස්කෝලේ ඉඩම දැක්කා. ඒ ඉඩම අක්කර හයක් විතර ඇති. මට හිතුණා ඒ ඉඩම එළිකරලා වගාවක් දැම්මා නම්, ඒක හරි ප්‍රයෝජනවත් වෙයි කියලා.’’
ඒ සිතිවිල්ල දින කිහිපයක් හිතේ එහා මෙහා වෙමින් තියෙද්දී, ඇය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වූ විමල් ගුණරත්න මහතාගෙන් ටිකක් අමුතු ඉල්ලීමක් කළාය.
‘‘මම එතුමට කිව්වා මට සාරියක් ඇඳන් ඇවිත් ඉස්කෝලේ කරන්න ලොකු වැඩක් නැහැ. කලිසමකුයි, ටීෂර්ට් එකකුයි ඇඳන් එන්න ඔබතුමා අවසර දුන්නොත් මට ඉස්කෝලෙ වත්ත එළිපෙහෙළි කරලා වගාවක් කරන්න පුළුවන් කියලා.’’
ඉන්දිරාගේ එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබිණි. ඇය එම ඉඩම එළිපෙහෙළි කර, බෝග වගාවක් ඇරඹුවාය. එළවලු වර්ග, කොළ, පළා වර්ග බොහෝ අපූරුවට වැවෙනු දැකීමට ඇය මහත්සේ ඇලුම් කළාය.
‘‘කළුපහන ඉස්කෝලේ වගාව පටන් අරගෙන ටික දවසක් යද්දි, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමත් ආවා වගාව බලන්න. එතුමා එද්දි කාර්යාලය ඉස්සරහා ලබු වැලකුත් වවලා තිබුණේ. ඒකේ ගෙඩිත් හැදිලා. ඒ වගේම අනෙක් බෝගවලත් පලදාව ඒ වෙද්දි තිබුණා. හරිම හොඳ වැඩක් කරලා තියෙන්නේ කියලා එතුමා මට ප්‍රශංසා කළා.’’
ඉන්දිරා ලිලානි කාර්යාල කාර්ය සහායිකාවක ලෙස පළමු පත්වීම ලබන්නේ 2006 වසරේදීයි. ඒ මීවනපලාන, මාපුටුගල විද්‍යාලයටය. ඇය උසස් පෙළ සමත් වූයේද එම විදුහලිනි. කලක් එහි සේවය කළ ඇය ඊළඟට පත්වීම් ලබන්නේ, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවටය. මේ කොතැන සේවය කළත් ගන්නා වැටුපට, සාධාරණයක් ඉටු කළ යුතු යැයි හැඟීම මුල සිටම ඉන්දිරා තුළ තිබිණි.
‘‘අපේ ගෙදර ඉඩම ලොකුවට ඉඩකඩ තියෙන ඉඩමක් නෙවෙයි. ඒ කාලේ බටු පැළයක්, මිරිස් පැළයක් හිටෙව්වට වඩා සාර්ථකව පලදාවක් ගන්න පුළුවන් වගාවකට මොන වගේ කැපවීමක් කරන්න ඕනද කියලා මම දැනගෙන හිටියේ නැහැ. එය අවබෝධ වුණේ කළුපහන පාසලේ වගාබිම ආරම්භ කළාට පස්සේ. උදේට ඒ වගේ ගහක කොළක පලදාව දකිද්දී දැනෙන සතුට දවසෙම හිතේ තියෙනවා.’’
ඒ සතුට වාගේම ඉන්දිරාගේ උත්සාහයට ඇගයීමක්ද ලැබිණි. ඒ එවකට ක්‍රියාත්මක වූ තිරසර සංවර්ධන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ පළමු ස්ථානය කළුපහන කනිෂ්ඨ විද්‍යාලයේ වගාබිමට ලබාදෙමිනි. ලංකාවෙන් හයවැනි තැනද එවර එම වගාවට ලැබුණි.
එසේ කාලය ගෙවෙද්දී 2019 වසරේ ඇයට ස්ථාන මාරුවක් ලැබෙන්නේ හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයටයි. එහි ගිය මුල් කාලයේම වගාව ගැන අදහසක් තිබුණත් කොරෝනා සමඟ එම අදහස ක්‍රියාත්මක කරන්නට ඇයට කලක් බලා සිටින්නට සිදුවිය.
‘‘ඇත්තටම මේ භූමියේ ලොකුවට ඉඩකඩ නැහැ. හැබැයි ඉඩ තියෙන තැන, ගල් බොරලු අයින් කරලා පාත්ති හදාගන්න පුළුවන් ඉඩක් මම දැක්කා. ඒ වගේම ගෙදරට හාල් ගේන කවරවලට පස් පුරවලා වගා කරන්නත් පුළුවන්. ඉතින් මේකටත් අවසර ගන්න ඕන. මුලින්ම මං ඒ අදහස ගිණුම් අංශයේ කටයුතු කරන සම්පත් මල්ලිකාරත්න මහත්තයට කිව්වා. එළවලු වගාවක් පටන්ගන්න පුළුවන් නේද කියලා. ඔහු ඊට කැමැත්ත දුන්නා. ඊටපස්සේ මම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එල්.වී.කේ. ජාසිංහ මහතාගෙන් අවසර අරගෙන වගා කටයුතු මෙහි කිහිපදෙනෙකුගේ සහයෝගයෙන් පටන්ගත්තා. දැන් මේ වගාබිමට මාස තුනක්.’’
ඇය අවදිවන්නේ පාන්දර හතරටය. නිවැසියන් වෙනුවෙන් ආහාර පිස, උදේ හයට ඇය ගෙදරින් පිටත්වන්නේ කාර්යාල බිමේ ඇගේ සත්කාර ලබන්නට එළවලු ගස්, වැල්, කොළ, පළා ගස් වර්ග ආදරයෙන් බලා සිටිනා බව දන්නා නිසාය.
‘‘මම ගෙදරින් හයට ආවම හයයි තිහ වෙද්දි ඔෆිස් එකේ. පැය දෙකක් විතර මම වගාවට වතුර දානවා. සාත්තු කරනවා. අඩුපාඩු තැන් බලලා අලුත් පැළ හිටවනවා. හවසටත් එහෙමයි. ඕෆ් වෙලා පැය එකහමාරක් දෙකක් මම වගාබිමේ ඉන්නවා. හැමෝම ගියාට පස්සේ තමයි මම ගෙදර යන්නේ.’’
වැඩි කාලයක් කලාප කාර්යාල භූමියේ සිටියත්, ඇය අතිකාල දීමනාවක් හෝ වෙනත් දීමනාවක් ඒ වෙනුවෙන් ලබාගන්නේ නැත. තමා ගන්නා වැටුපට වැඩියෙන් සේවයක් කරන්නට ඇය නිතර සිතන්නීය.
‘‘මේ කලාප අධ්‍යාපන කාර්යාලයට කලාපයේ ගුරුවරු හාරදහසක් පමණ යනවා එනවා. දරුවෝ එක්ලක්ෂ ගාණක් එනවා යනවා. ඒ අය මේ වගාබිම දැක්කම අපිටත් එළවලු පැළයක්, මිරිස් පැළයක්, කොළ පළා ගහක් හිටවන්න පුළුවන් නේද කියලා අදහසක් ගන්නවා. අද කෑම අර්බුදය ගැන අපි නිතරම කතා කරනවා. ඉතින් මම කියන්නේ, ගෙදර තියෙන පුංචි ඉඩේ හරි මෙහෙම වගාවක් කරනවා නම් එළවලු ප්‍රශ්නය හරි විසඳගන්න පුළුවන්නේ.’’
ඕනෑම දෙයක් කරන්නට ඕනෑ කරන්නේ, ඕනෑකම පමණි. ඊටපසු එයට ඕනෑ කරන කාලය හදාගත හැකි බව ඉන්දිරා කියන්නීය.
‘‘මට ගෙදරත් පොඩි කොරටුවක් තියෙනවා. මගේ ගෙදර වත්තේ ඉඩ ගොඩක් නැහැ. ඒ වගේම මම පාරේ තුවාල වෙලා අතරමං වුණු බල්ලෝ හයදෙනෙක් ගෙදර හදනවා. ඒ නිසා කොළ පළා වර්ග වගා කරන්න මගේ ගෙවත්තේ බැහැ. මේ හින්දා මගේ සහෝදරියගේ ඉඩමේ කොටසක අපි කොරටුවක් කරනවා. මගේ මහත්තයා රැකියාවක් විදියට කරන්නේ ශාන්තිකර්ම කටයුතු. ඔහුත් නිවාඩු වෙලාවට මාත් එක්ක කොරටුවට යනවා. බණ්ඩක්කා, මෑ, දඹල අපේ කොරටුවේ තියෙනවා. කොළ පළා ටික තියෙනවා. ඒවා කඩාගෙන ඇවිත් උයලා පහුවදාට කාර්යාලයට ගිහින් කෑම එක දිගහරිද්දී දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ.’’
ඉන්දිරා කියන්නේ ඇයගේ කටයුතුවලට සැමියාගෙන් ලැබෙන සහයෝගය නිසා කාර්යාල බිමේ වගා කරන්නට වුව කාලය සාදාගත හැකිව ඇති බවයි. ඒ වාගේම ඇයට විසිහය හැවිරිදි පුතෙක් සිටිනා අතර, ඔහු පෞද්ගලික ආයතනයක රැකියාවක නියුතුය.
‘‘මම පැළයක් හිටවන්නේ ‘සබ්බ පාපස්ස අකරණං’ ගාථාව කියලා. ඒ වාගේම වියළි දණ්ඩක් හිටෙව්වත්, එය පැළවෙන අත්ගුණයක් මට තියෙනවා කියලා මම හිතනවා. වගා කටයුතු කරද්දී මට අනෙක් අයගේ සහයෝගය ලැබිලා තියෙනවා. හැබැයි, පැළයක් සිටුවද්දී මමම පස සැකසීමේ කාර්යය ඉඳන් කරන්න ලොකු ඕනෑකමක් තියෙනවා.’’
ඇය කියන්නේ සතුටිනි. බිරිඳක මවක ලෙස වාගේම, රජයේ තමා කරන රැකියාවට අසාධාරණයක් නොවන්නට ඇය තම කාලය කළමනාකරණය කරගනිමින් සෙසු අයටද ලබාදෙන ආදර්ශය වැදගත්ය.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එල්.වී.කේ.ජාසිංහ මහතා කියන්නේ මහජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්නා ඉන්දිරා වැනි සේවකයින් රටට ණය නැති බවත්, එවැනි රාජ්‍ය සේවකයින් ජාතියටද වාසනාවක් බවයි.
හොරණ කලාප අධ්‍යාපන භූමිය තුළ මේ වනවිට තක්කාලි, බණ්ඩක්කා, රතුලූනු, පතෝල, වැටකොළු, මිරිස්, කොළ පළා වර්ග වාගේම සලාද කොළ ද සොබාදහම හා හිනැහෙමින් තිබේ. ඒ හිනාව හැම ගෙමිදුලකම දකින්නට ලැබේ නම් එවන් සතුටක් තවත් නැති වග ඉන්දිරා කියන්නීය.
දීපා වසන්ති එදිරිසිංහ